අකලට දවාලන වේදනා පහන් දැල්ල රොමාන්තිකව සිපගන්න අරුම ජීවිත වෙයි පළඟැටියෝ.
සංකීර්ණ ස්වාභාවික ක්‍රියාවලියක ඵලය ලෙස උපදින මම, ඔබ, අප සියලු දෙනාම පාහේ පළමු හුස්මේ සිටම අවසාන හුස්ම දක්වා විවිධ වූ රසායනික, මානසික හා ශාරිරික ක්රියාවලීන්වලට ලක්වේ. උසස් සත්ත්ව ප්‍රජාවක් ලෙස නම් දරා සිටින අප අයත් වන මිනිස් කුලකය ද හැඟීම් මත බොහෝ දුරට තීරණ ගැනීමට පෙළඹේ . මිනිස් ජීවිතයක වුව ද මලට ඇදෙන බඹරෙකු මෙන් වේදනාවන් පීඩාවන් සොයා යන කාල පරිච්ඡේද කළු අකුරින් බොහෝ අයෙකුගේ ජීවිත වල සටහන් වී පවතී. පරාජය, වේදනාව, හුස්ම වැටෙන ප්‍රාණියෙකුගේ හොඳම අභිප්‍රේරණය යැයි පැවැසුව ද එහි ඇත්ත ඇති සැටියෙන්ම දන්නේ පීඩාවට පත් වූ පුද්ගලයා පමණි.
ඔබ විශ්වාස කරනවා ද මේ ලොව පීඩාවන්, වේදනාවන්, විනාශයන් සොයායනවුන් ඇති බව? විශ්වාස කිරීමට අපහසු වුව ද ඔබ අතරම වේදනාවට දැන හෝ නොදැන ප්‍රිය කරන්නන් සිටිය හැක.
අන්ධකාරයේ අඳුරු කහ පැහැයෙන් දුරලන ඇසට ප්‍රිය ගත පුළුස්සා දමන ගිනි සිළුව කරා ආශාවෙන් ගොස් විනාශය තම දෑතින්ම සටහන් කරගන්නා පළඟැටියෝ සො හැසිරෙන මනුෂ්‍යයෝ ද මෙලොව ජීවත් වෙති. දිවියට හානි කර නොගත්තත් ඔවුන් බොහෝ දුරට මතක් කිරීමට පවා අකමැති පිළිකුල් සහගත දවස් ගෙවා දමන්නේ මේ පළඟැටියකු ලෙස දැවී යාමට ආශා කරන කාල පරාසය තුල දී ය.
අවුරුදු හැත්තෑවක සාමාන්‍ය මිනිස් ජීවිත කාලපරාසයක් තුල බොහෝමයක් අය මේ පළඟැටි කාලපරිච්ඡේදයක් පසු කර ඇත. විශේෂයෙන්ම තරුණ වයස, ඔළු උදුම්මවාගත් පුහු මෝඩ මිනිසුන් විසින් තම තමාගේම අනාගත ජීවිතම අඳුරට ඇද දමාගන්න කාල පරාසයකි.
පළඟැටියාට ගිනි දැල්ල ආශ්වාදයකි. එලෙසින්ම තරුණ අවදියේ ගංජා සුරුට්ටුවට, කටු කම්බි දමා පෙරූ කසිප්පු බෝතලේකට, ඒ වගේම මුදල් විශාල වශයෙන් කාබාසිනියා කරවන ඉහල පැලැන්තියේ කියාගන්න මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම ද, පරාජිත ප්‍රේමයේ අඳුරු සෙවනැල්ලේ අවුරුදු ගණන් මානසික රෝගියෙකු වී විනාශ වී යාම ද, සමාජයේම නින්දාවට පත්ව අනියම් ඇසුර සොයායන ආශාවන් පසුපසන ලුහුබඳින මිනිසුන් ද, එක් රාමුවකට කොටුව කාංසාව විශාදය සමග ආල වඩන්නවුන් ද, සමාජ මාධ්‍යය අහේතුක භාවිතයේ ගොදුරක්ව අධ්‍යාපනය සමඟ පෞරුෂත්වය ද බින්දුවට බැස ගත් තරුණ පරපුර ද මෙයට කදිම නිදසුන් ය.
තවද අනාචාර හැසිරීමේ රසය විදීමට උත්සාහ කරන ගැහැනුන් මෙන්ම පිරිමින් ද තමන්ගේ ජීවිතය තමා අතින්ම විනාශ කරගන්නෝ වෙති. එයින් නොනැවතී ඔවුන් තම සමීපතයින්ට ද උරුම කර දෙන්නෙ වේදනාබර මතකයන් ගොන්නකි.
මනුෂ්‍ය දිවි පෙවෙතක එක්වරක් හෝ පළඟැටි කාලපරිච්ඡේදයක් ගෙවා දමා පීඩාවේ රසය හොඳහැටි විඳ, මනසේ ජයග්රහණයෙන් යථා තත්ත්වයට පත් වූවන් නැවත ආසාවට හෝ දැනුවත්ව අගාධයට ඇද නොවැටෙනු ඇත.
පළඟැටියෙකු වූවාට කම් නැත; ෆීනික්ස් කුරුල්ලෙකු මෙන් දැවී ගිය අළු මතින් තටු ගසා පියාඹන්නට හැකි නම්…
නැති නම් උරුම අපායට වඩා අන්ත මනුලොව, නරකාදියක් පමණක්ම බව තරයේ සිහිතබා ගත යුතුය…
Leave a Comment