Colombo Beacon Uncategorized ආදරය දැනුම

ප්‍රාන්තයේ ඇති වේදනාවට අනන්තේ දුර යන්නේ මොකටද…

Written by Dunith Desitha

බුද්ධ දර්ශනය ලොව ඇති සොඳුරුතම දර්ශනය වන්නේම එය ස්වභාව ධර්මය සමඟ වෙනස් නොවී පැවතීමයි. නමුත් බොහොමයක් අය බුද්ධ දර්ශනය පිළිබඳ තවමත් හරිහැටි තේරුම් අරගෙන නොමැති බවයි ඇතැම්විට පසක් වේ.

චතුරාර්ය සත්‍යය ඔස්සේ දුක නැති කිරීමේ මාර්ගය සොයා ගත හැකි අතර එය ලෝ සත්වයෙකුට ලැබිය හැකි උතුම් ම සැනසීමයි. අපි ගොඩක් වෙලාවට විසඳුම් සොයන්න තෝරා ගන්නේ ගොඩක් දිගු මාර්ගය හා නිසි අරමුණක් නොමැති මං වේ.  

අද මගේ ප්‍රයත්නය ප්‍රාන්තයේ ඇති වේදනාවට අනන්තේ දුර යන්නේ මොකටදැයි විමසා බැලීමටයි.

“ලෝක සිතියම තට්ට තනියම පීරුවා මම ඇත්ත හොය හොය 
ලෝකේ කෙළවර දන්නේ නැතුවම පෙරලුනා ලෝකාන්තයකට”

” ලෝක සිතියම ” මම හිතන්නේ, මේ කියන්නේ නිර්වාණය යි. නිර්වාණ ඵලයේ ඇති ඇත්ත තනිවම ම හොයනවා. නමුත් නිර්වාණය යනු කුමක් දැයි කියා හරියට නොදන්නා නිසා බොහොමයක් අතරමං වූවන් ඇති බව රචකයා පැවසීමට උත්සාහ කරයි. ඉතිං සමාජයේ මිනිසුන් බොහොමයක් නිර්වාණය සොයනවා, නිර්වාණය ලැබේවා! කියලා ප්‍රාර්ථනා කරති. නමුත් එම ඵලය ලබා ගත හැකි මාර්ග සොයන්නේ ඉතාමත් අඩු ප්‍රමාණයකි. එනම් එය බුද්ධියෙන් විමසන්නේ ඉතා ම සුළු ප්‍රමාණයකි.

” වර්ගයා නසාගෙන,
ස්වර්ගයා හොයා යන 
මුර්ගයන් ඉන්න ලෝකෙක, 
සොයනවා අපි වසන්තය “

අපේ අයවම අපිට අහිමි කරගෙන අපි සතුට සොයන්නෙමු. මේ මෘගයින් වැනි මිනිසුන් ඇති ලෝකයේ අපි සොයන්නේ වසන්තය නම් සතුටුයි. අපේ ගෙදර සමීපතමයින්, යාලුවෝ පරයා යමින් සතුට හොයන්න අපි ගොඩක් වෙලාවට උත්සාහ කරන්නෙමු. 

“වේදනා දැකලා, හේතුවක් සොයලා,
වේදනා නැති ලෝකෙක මං සොයා යනවා”

වේදනා කියා පවසන්නේ දුක් ය. දුක හඳුනාගෙන, දුක සඳහා හේතුව හොයන්, ඒ දුක නැති කර ගැනීම පිණිස දුක නැති කර ගැනීමේ මාර්ගය සොයා ගෙන යන බව යි. දුක නැති කර ගැනීමෙන් නිර්වාණය යන උතුම් වූ ඵලය ලබා ගත හැකි අතර නිර්මාණයෙන් පෙන්වා දෙන දුක නැති කර ගැනීමේ මග නම් චතුරාර්ය සත්‍යය ම වේ.

“මල් නෙලාගෙන තුට්ටු දෙක තුන සොයනවා රෑ කෑම වේලට,
පහු කරන් යන වන්දනා නඩ සොයනවා සුව අධ්‍යාත්මික”

මිනිස්සු මල් පහන් රැගෙන පිං රැස් කර ගැනීමේ අරමුණින් පන්සල් යති. ඔවුන් එයින් බලාපොරොත්තු වන්නේ, එනම් සොයා යන්නේ නිරාමිස සතුටයි, සැනසීමයි. නමුත්, ගොඩක් මිනිස්සුන්ට පන්සලට යන්නේ නිසි අවබෝධයක් ඇතිව නොවේ. දහස් ගණන් මල් පූජා කළ ද තෘෂ්ණාවෙන් මිදීමට නොහැකි නම් එයින් ඇති ප්‍රයෝජනයක් නැත.

“ප්‍රාන්තේ ඇති වේදනාවට
අනන්තේ දුර යන්නේ මොකටද 
වසන්තේ අග මල් පිපෙනකන් නිරන්තරයේ දුක් විඳින්නද?”

ප්‍රාන්තයේ විසඳුම් තියෙද්දී අනන්තයේ දුර යන්නේ ඇයි? දුක නැති කර ගැනීමට ඇති මාර්ගය බුදු හිමි විසින් සොයා දී ඇති අතර එය අනුගමනය නොකර වෙනත් මාර්ගවලින් නිවන සොයා පියමං කිරීමම අවබෝධය නැතිකම හා අනවශ්‍ය ලෙස කාලය නාස්ති වීමක් ය.

දුක නැති කර ගැනීමට දුක් විඳීම නොව, නිවැරදි ක්‍රමය තෝරා ගත යුතුයි. ඉතින් ඒ සඳහා මනසින් දුක් විඳීම ඵලක් නැත. සතුට ලබා ගැනීම සඳහා නිරතුරුවම දුක් විඳීම අනවශ්‍ය කරුණකි.

“වේදනා දැකලා, හේතුවක් සොයලා, වේදනා නැති ලෝකෙක මං සොයා යනවා”

නැවත නැවතත් පවසන්නේ වේදනා ඇති ලෝකයෙන් ගැලවීමට මං සොයා යන බවයි. ඒ වගේම නිතරම මෙම නිර්මාණය තුළින් පෙන්නුම් කරන්නේ නිර්වාණය නොව සැනසීම ය. සැනසීම ලබා ගත හැක්කේ දුක නැති කිරීමෙන් බවත් නිර්වාණය එහි එක් ප්‍රතිඵලයක් බවත් ය.

” කරගහන් එන හේතු ඵල ටික, ගෙවනවා තව එකතු කරගෙන “

අවසානයේ දී පවසන්නේ අපි තවමත් සංසාරේ පුරාවටම එකතු කරගෙන ආ පිං පව්වල ඵල විපාක විඳිමින් ඉන්න බව හා තව තවත් ඒ ක්‍රමය ම අනුගමනය කරන බවත්, නිවැරදි මාර්ගය තවමත් ගමන් නොකරන බවත් ය.

මෙම ගී පද අපූරුවට ගළපන්නේ මෙතුන් කලාකරුවා සමත් වන අතර තනුව හා සංගීතය ද මෙතුන් හා ධනිත් ශ්‍රී විසින් ඒ වචනවලට ගැළපෙන නාද රටා ද මුසු කරමින් ස්වර හසුරවමින් කන් සුවපත් කරන ස්වරයෙන් මෙන්ම, මොළයට ද පණිවිඩයක් දීමට සමත් වන ඔවුන් දෙදෙනාගේ මියුරුතම කටහඬින් මෙම ගීතය ගායනාව ද සිදු කරයි. රූප රචනයේ ද ඇති ඉතා සරල බව ගැඹුරු අර්ථයක් ඉදිරිපත් කිරීමකි. ගී පදවල මෙන්ම රූප රචනයේ ද මතුපිටට පෙනෙන දේට වඩා නොපෙනෙන ගැඹුරු අර්ථයක් රසිකයාට මවා පෙන්වීමට නිර්මාණකරුවන් සියලු දෙනාම උත්සාහ දරා ඇත.

දුනිත් දේසිත අතුකෝරල
පළමු වසර
තාක්ෂණ පීඨය 

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

Dunith Desitha

තාක්ෂණ පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment