දැනුම

ප්‍රේමාන්විත ගීතයේ – ළයාන්විත ස්වර පෞරුෂය

සකළ කලාවන් අතුරින් සංගීත කලාවට හිමිවන්නේ ප්‍රමුඛතම ස්ථානයකි. ඒ මක් නිසා ද යත් මනුෂ්‍ය චිත්ත සන්තානයන් තුළ උපදිනා දහසකුත් වූ හැඟීම් රසභාවයන් උද්දීපනය වන පරිදි අනෙකාගේ හදවතේ ගැඹුරටම ආමන්ත්‍රණය කළ හැකි අපූර්ව වූ කලාවක් වන නිසාවෙනි.

මෙබඳු වූ අග්‍රගන්‍ය ක්ෂේත්‍රයක් තුළ, එක් රැයකින් පායා එසැණින්ම බැස යන තාරකාවන් දහස් ගණනක් බිහිවෙමින් පවතින යුගයක ආරම්භයේ සිට එක ලෙසම සුවහසක් රසික හදවත් තුළ අමරණීය හඬ පෞරුෂයක් වන්නට තරම් පින්වන්ත වූ ගායනවේදීන් පිරිස ඉතා අල්ප ය.

මෙලෙස ශ්‍රී ලාංකේය සිංහල ගීතාවලියේ එදා සිට අද දක්වා නොමැකෙනා මතකයන් රැන්දූ, ළයාන්විත ගීතයෙන් රසික හදවත් ස්පර්ශ කළ, සප්ත ස්වරයේ  වියපත් නොවූ කීර්ති සළකුණ පිළිබඳව තබන සෙනෙහෙබර සටහනයි මේ.

ඔහු නමින් පැස්කුවෙල් වසම් ආනන්ද කීර්තිරත්න නොහොත් කීර්ති පැස්කුවෙල් ය. මව වූ එස්. ඩබ් ලෙස්ලින් මැතිණියට හා පියා වූ පැස්කුවෙල් වසම් ගයානේරිස් මහතාට දාව වැඩිමහල් සහෝදර සහෝදරියන් හතර දෙනෙකුගෙන් යුතු පවුලක බාලයා වශයෙන් මහනුවර හන්තාන නගරයේ දී මෙතුමා උපත ලැබී ය.

මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ මෙතුමා පාසල් වියේ සිට ම ගායනයට, වාදනයට අතිදක්ෂයෙකි. ඔහුගේ මෙම සංගීත කුසලතාව වර්ධනයට පවුල් පසුබිම ද හේතුවක් විය.

ගිටාර් වාදනය මැනවින් පුහුණු වූ මෙතුමා මිතුරන් කිහිපදෙනෙකු හා එක්ව එකල කුඩා සංගීත කණ්ඩායමක් ආරම්භ කරන ලදි. ඒ ඔස්සේ ස්ටැන්ලි පීරිස් මහතාගේ නායකත්වයෙන් යුතු වූ GALAXIES නම් සංගීත කණ්ඩායමේ බේස් ගිටාර් වාදකයෙකු ලෙසත්, පැට්‍රික් දෙනිපිටිය මහතාගේ කොම්බෝ හා සම්බන්ධ වී ගායකයෙකු සහ බේස් ගිටාර් වාදකයෙකු වශයෙන්  කටයුතු කිරීමටත් ඔහුට ඇරයුම් ලැබුණි. එපමණක් නොව, එකල සිට ම රෝහණ වීරසිංහ, සරත් දසනායක ආදී ප්‍රවීණයන් හා එක්ව කටයුතු කිරීමට තරම් ද මොහු වාසනාවන්තයෙක් විය.

මෙතුමාගේ සංගීත දිවියේ අමතක නොවන පරිච්ඡේදයක ඇරඹුම සනිටුහන් වූයේ 1982 පමණ සිට 1985 වසර දක්වා කාලය තුළ නන්දා මාලිනී මහත්මියගේ සත්‍යයේ ගීතයේ ගායකයෙකු සහ බේස් ගිටාර් වාදකයෙකු ලෙස කටයුතු කිරීමට හැකි වීම යි. ඒ ඔස්සේ සංගීත ප්‍රසංග අතිවිශාල ප්‍රමාණයකට සහභාගී වීමට මෙතුමන්ට අවකාශය උදා වුණි. මීට අමතරව ලතා රාත්‍රිය, බේග් ගීතිකා, ජෝති රාත්‍රිය ආදී ප්‍රසංගවලට ද වාදනයෙන් දායක විය. එසේම ITN රූපවාහිනී මාධ්‍යයෙන් විකාශනය වූ මධුරසාංග වැඩසටහන සඳහා ද මෙතුමා වාදනයෙන් දායක වී ඇත.

1988 වසරේ දී ‘කීර්ති ගී සංකල්පනා’ යනුවෙන් මෙතුමාගේ මංගල ඒක පුද්ගල ගී ප්‍රසංගය පැවැත් විණි. 1989 දී පමණ මොහු රංජිත් පෙරේරාගේ නායකත්වයෙන් යුතු Super Fortunes හා සම්බන්ධ විය.

එදා සිට අද දක්වා ම අධික ලෙස ප්‍රේක්ෂක ජනප්‍රියත්වයට පත් වූ ‘කඳුළ ඉතින් සමාවෙයන්’ ගීතය මෙතුමන්ගේ සංගීත දිවියෙ හි දෙවැනි ඉනිම සනිටුහන් කළේ ය. මීට අමතරව සඳලතා පායලා, රන්තරු පායන, කවිකාරියේ, සිංහල රජ කාලේ, තව දවසක් හමු වී, නීල අහසේ සැඳෑ වලාවන් ආදී ගීත අදටත් ප්‍රේක්ෂක හදවත් ආදරයෙන් වැළඳ ගත් ජනප්‍රිය ගීත අතර වේ.

සංගීත ක්ෂේත්‍රයෙන් ඉහළම තලයකට ගමන් කළ මෙතුමා ඇමරිකාව, කැනඩාව, ජපානය, මැදපෙරදිග, එක්සත් රාජධානිය ආදී විදේශීය රටවල් රැසක ප්‍රසංග සඳහා ද වර්තමානය වන විටත් සහභාගී වෙයි.

ගායනයට, වාදනයට පමණක් ම නොවේ. මොහු කුඩා තිර නිර්මාණ කිහිපයකට ම රංගනයෙන් දායක වී ඇත. විජය ධර්මශ්‍රීගේචාරුලතා’ හි මෙතුමා රංජන් රාමනායක, සුසන්තා චන්ද්‍රමාලි, ආදී ශිල්පීන් සමඟ රංගනයේ නිරත විය. මීට අමතරව ගව්වෙන් ගව්ව, තාරු ආදි චිත්‍රපටවල ද සුමිත්‍රා රාහුබද්ධ මැතිණිය විසින් තිර රචනය කළ නිෂ්පාදනය කරන ලද ‘සාරා’ ආදි චිත්‍රපට කිහිපයකටම රංගනයෙන් දායක වී ඇත.

කලා ක්ෂේත්‍රය තුළත් ඉන් බාහිරවත් මානුෂීය ගුණාංගවලින්  පරිපූර්ණ සොඳුරු මිනිසෙකු වශයෙන් ඔහු සිදු කරනු ලබන නිහඬ සමාජ මෙහෙවර අප්‍රමාණ ය. අසරණ රෝගීන්ගේ කායික, මානසික නීරෝගී බව උදෙසා මොහු තරම් සිය හැකියාව සහ ශ්‍රමය නිර්ලෝභීව කැප කළ කලාකරුවෙකු නොමැති තරම් ය.

මොහු අනාථ නිවාසවල ළමුන්ගේ විනෝදාස්වාදය සඳහා ‘The Child’ නමින් ව්‍යාපෘතියක් ද දියත් කර ඇත. එසේම ‘ප්‍රාර්ථනා’ නම් වූ ව්‍යාපෘතිය හරහා ද අසරණ රෝගීන් හට සුවිශාල පිළිසරණක් විය. එසේම ජීවිතය හා මරණය අතර සටන් කළ බොහෝ අසරණ මිනිසුන් වෙත ගොස් ඔවුන්ගේ මානසික සුවපත් භාවය ඇති කිරීමට ද මෙතුමන් ක්‍රියා කළේ ය.

මොහු සංගීත ක්ෂේත්‍රයේ සිටින සියලුම ශිල්පීන්ගේ සම්බන්ධතා අංක ලැයිස්තුගත කර ඇති ඔහුගේ Sonic Diary අඛණ්ඩව ප්‍රකාශයට පත් කළේ ය. මෙම දිනපොත වර්තමානය වන විට ත් ක්ෂේත්‍රය තුළ සිටින සියලු දෙනාටම සිදු කරන සේවය අපමණ ය. මෙතුමා Pasquel Sound of Music හි නිර්මාතෘවරයා වූ අතර එය සංගීත ක්ෂේත්‍රයේ වෘත්තිකයන් වීමට අපේක්ෂා කරන අය සඳහා හඬ පුහුණුව ලබා දෙන පාසලක් විය.

ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ සභාපතිවරයා ලෙස  ක්ෂේත්‍රයේ සුබසාධනය උදෙසා කටයුතු කරන මෙතුමා Derana Dream Star හි විනිසුරුවරයෙකු ලෙස සම්බන්ධ වී 2008 වර්ෂයේ සිට අද දක්වා රියැලිටි වැඩසටහනක අඛණ්ඩව වසර 10 ක් පෙනී සිටි ශ්‍රී ලංකාවේ එකම විනිසුරුවරයා ලෙස වාර්තාව ද පිහිටුවයි.

විශිෂ්ට කලාකරුවෙකු වශයෙන් මෙතුමා සම්මාන රැසකටම පාත්‍ර විය. ඒ අතර ජපානයේ ලෝක විද්‍යා කවුන්සිලයේ ජාත්‍යන්තර සම්මානයකින් මෙතුමන් පිදුම් ලැබී ය. එසේම සංගීත ක්ෂේත්‍රය නියෝජනය කරමින් පොදු ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් සුවිශාල ජනතා මෙහෙවරක නියැලීම නිමිති කොටගෙන ශ්‍රී ලංකා මානව හිමිකම් සංවිධානයේ මානව හිමිකම් සන්නාමයකින් ද මෙතුමන් පිදුම් ලැබී ය.

දශක ගණනාවක් තිස්සේ ගායකයෙකු, වාදකයෙකු, රංගනවේදියෙකු වශයෙන් ද ප්‍රබල සමාජ සේවකයෙකු වශයෙන් ද කටයුතු කරමින් ප්‍රේක්ෂක හදවත් සෙනෙහසින් වැළඳගත් ළයාන්විත ස්වර පෞරුෂය, කීර්ති පැස්කුවෙල් නම් වූ සොඳුරු කලාකරුවාණෙනි, දිවි ගමනේ නැවුම් වියකට පා තබන අද දින ඔබතුමන් හට නිදුක් නීරෝගී බව සපිරි සුබ ම සුබ උපන් දිනකට ආසිරි එක් කරන්නෙමු.  චිරාත් කාලයක් අප සමඟ රැඳෙමින් මධුර ගායනයෙන් තව තවත් මනුෂ්‍ය හදවත් සුවපත් කිරීමට ඔබතුමන් හට හැකියාව ලැබේවා!. එසේම ඔබතුමන්ගේ සියලු අනාගත වැඩකටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා! යි Colombo Beacon අපි පැතුමන් එක් කරන්නෙමු.

Design by : Pramodya Madhushani

Images :

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

දිලිනි මධුශිකා

ශාස්ත්‍ර පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment