ක්‍රීඩා දැනුම

පාපන්දුවේ රිදී තරුව

‘’If you are first, you are first, If you are second you are nothing’’ 
-Pele-

“ඔබ පළමුවැන්නා වෙයි නම් ඔබ පළමුවැන්නාමය. නමුත් ඔබ දෙවැන්නා වේ නම් ඔබෙන් ඵලක් නැත”

වත්මන් සමාජයේ සිටින බොහෝ පාපන්දු ලෝලීන්ගේ ආදරය දිනා ගත් ජනප්‍රියම පාපන්දු තරුව වූයේ මොහුය. පිටිය පුරා දෙපා වලින් තම ආධිපත්‍ය ඉසිලූ යෝධයා මොහුය. අදටත් ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයා වන මොහු නමින් එඩිසන් අරන්ටෙස් ද නැසිටෙන්ටෝ ය. එනමින් පාපන්දු ක්‍රීඩකයෙකු ගැන මතකයට නොනැගෙන නමුත් පේලේ ලෙස සඳහන් කළ විට ඔහු පිළිබඳව නොදන්නා කෙනෙක්‍ නොමැති තරම් ය.

රංගන ශිල්පිනියක වූ සෙලෙස්ටි අරන්ටස් හා පාපන්දු ක්‍රීඩකයෙකු වන ජොනෝ රමෝස් ද නැසිමෙන්ටෝ යන යුවලට දාව ඔවුන්ගේ පළමු දරුවා ලෙස 1940 වසරේ ඔක්තෝම්බර් මස 23 වන දින එනම් අද වැනි දිනක බ්‍රසීලයේ දී උපත ලද හෙතෙම බ්‍රසීලියානු පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස ජනාදරයට පාත්‍ර වූයේ දහසක් කම්කටොළු මැද වීම විශේෂත්වයකි. කුඩා කළ දරිද්‍රතාවයෙන් පිඩා විඳි මෙම අසහාය ක්‍රීඩකයා පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධ වීමෙන් පසු ජාතිවාදයෙන් බැට කෑමට ලක් විය. බහ තෝරන කාලයේ පටන් පාපන්දුවට බෙහෙවින් ඇළුම් කළ ඔහුගේ ප්‍රියතම ක්‍රීඩකයා වූයේ “පිලේ” නමින් හැඳින්වූ ක්‍රීඩකයෙකි. එනමුදු ඔහුට එම නාමය නිසි අයුරින් උච්චාරණය කිරීමට නොහැකි විය. 

එහෙයින් ඔහුගේ මිතුරන් පේලේ ලෙසින් ඔහුට නමක් පටබඳින ලදි. පාපන්දුවක් ගැනීමට තරම් වත් වත්කමක් නොමැති වූ මොහු පාපන්දුව ලෙස පත්තර පිරවූ මේස් එකක් නැතහොත් සුද්ද කරන ලද ජම්බෝල ගෙඩියක් යොදා ගත්තේ ය. පාපන්දු ක්‍රීඩාවේ පළමු පාඩම තම පියාගෙන් ලබා ගැනීමට තරම් වාසනාවන්ත වූ හෙතෙම, තරුණ වියේදී නා නා විද කණ්ඩායම් සඳහා තම දායකත්වය ලබා දුන්නේ ය. ඔහු වෝල්ඩමෝර් ද බ්‍රිටෝගේ ගුරුහරුකම් යටතේ බෞරු මලල ක්‍රීඩා සමාජයේ කනිෂ්ඨ ක්‍රීඩකයෙකු ලෙස එක් විය. 1954 සිට 1956 තෙක් තම කණ්ඩායම අඛණ්ඩ ජයග්‍රහණ තුනක් කරා ගෙන යෑමට නායකත්වය ලබා දුන්නේ ය. පසුව පේලේගේ පුහුණුකරු ඔහුගේ දස්කම් ඔප්නැංවීමේ අරමුණෙන් යුතුව සැන්ටෝස් වෙත කැඳවාගෙන් ගිය අතර එහිදී ඔහු වෘත්තීය ක්‍රීඩා සමාජයක් වන සැන්ටෝස් එෆ් සී ක්‍රීඩා සමාජයට ඇතුළත් කළේය. 

ජුනි මාසයේ දී එම ක්‍රීඩා සමාජයත් සමඟ කොන්තරාත්තුවකට අත්සන් තැබූ පේලේ, සැප්තැම්බර් මාසයේ දී තම පළමු වෘත්තීමය තරගයට ක්‍රීඩා කළේ ය. එහි දී තම ප්‍රථම වෘත්තීය මට්ටමේ ගෝලය කොරියැන්තියන්ස් සන්ටෝ ඇන්ඩ්‍රේ පිළට එරෙහිව වාර්තා කළ අතර 1957 ආරම්භයත් සමඟම ඔහු කණ්ඩායමේ නිත්‍ය සාමජිකයෙක් වශයෙන් පත් වී ඉතා කෙටි කාලයකින් ලීගයේ වැඩිම ගෝල ලාභියා බවට පත් විය. ඔහුගේ කැපී පෙනෙන දස්කම් නිසාවෙන් ඔහු බ්‍රසීලයේ ජාතික කණ්ඩායම නියෝජනයට වරම් හිමි කර ගත්තේ ය. 

1957 ජූලි මාසයේ දී ඔහු සිය පළමු ජාත්‍යන්තර තරගය ආජෙන්ටිනාවට එරෙහිව ක්‍රීඩා කළේය. එහිදී බ්‍රසීලය, ගෝල 2-1 ක් ලෙස පරාජයට පත් වුව ද එහිදී, ඔහු සිය පළමු ජාත්‍යන්තර ගෝලය වාර්තා කළේ ය. 1958 යනු, පේලේ ගෝල 58 ක් සහිතව බ්‍රසීලයේ පැවති ප්‍රමුඛ පෙළේ වෘත්තීය පාපන්දු ලීගයක් වන කොම්පැනාටෝ පොලිස්ටා හි ජයග්‍රහණ රාශියකට උරුමකම් කියූ වර්ෂයකි. තවද, පේලේ 1958 ෆිෆා ලෝක කුසලානයේ දී තරග 4 ක දී ගෝල 6 ක් සමඟ විශාල දායකත්වයක් ලබා දුන්නේ ය. 18 වන වියැති තරුණයෙකු ලෙස ඔහු 1958 වර්ෂයේ ලෝක කුසලානයේ දී වාර්තා ගණනාවක් බිඳ දැමීය. 

1962 මෙන්ම, 1966 ලෝක කුසලානය සලකා බැලූ කල පේලේ හට එතරම් සුබදායී නොවීය. බ්‍රසීලය එහි ප්‍රථම තරගය බල්ගේරියාවට එරෙහිව ක්‍රිඩා කළේ ය. එම තරගයේ දී ප්‍රතිවාදී ආරක්ෂක ක්‍රීඩකයන් පේලේගේ පාදවලට පහර දෙන්නට වූ අතර ඔහුගේ ශරීරය අවහිර කරන්නටද විය. පේලේ මෙහිදී ආබාධ රැසක් සහිතව ක්‍රීඩා කළ ද, එම ලෝක කුසලානයෙන් බ්‍රසීලයට අවසන් වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වන්නට සිදු විය. 

පේලේ 25 වන වියට පා තැබීමත් සමඟ 1966 දී පෙබරවාරි 21 වන දින රෝස්මෙරිඩෝස් රයිස් වොල්බි සමඟ විවාහප්‍රාප්ත විය. ඔවුන් දියණියන් දෙදෙනෙකුගේ හා එක් පුතෙකුගේ සාඩම්බර දෙමාපියන් විය. 

1970 වර්ෂයේ පැවැත් වූ ලෝක කුසලාන තරගාවලිය පේලේ සහභාගී වූ අවසන් ලෝක කුසලානය විය. ඔහු සියලුම සුදුසුකම් ලැබීමේ තරගවලට සහභාගී වූ අතරම තරගාවලියේ දී බ්‍රසීලය වාර්ථා කරන ලද ගෝල 19 න් 14 ක ට ම දායක විය. එහි ප්‍රතිඵලයක් ලෙස බ්‍රසීලය ලෝක කුසලානය ජයග්‍රහණය කළ අතර පේලේගේ කැපී පෙනෙන දස්කම් හේතුවෙන් “තරගාවලියේ ක්‍රීඩකයා” ලෙස නම් කෙරිණි. පේලේගේ අවසන් ජාත්‍යන්තර තරගය වූයේ 1971 ජූලි 8 වන දින රියෝ ද ජැනයිරෝහී දී යුගෝස්ලාවියාවට එරෙහිව පැවති තරගයයි. ඔහු ක්‍රීඩා සමාජ නියෝජනය කරන ලද වර්ෂයන් ගත් කල 1974 ඔහුගේ 19 වන හා අවසාන තරග කාලය වූ අතර ඒ වන විට ඔහු සැන්ටෝස් නම් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළේය. 1976 වර්ෂයේ දී ඔහු නිව් යෝර්ක් කොස්මො ක්‍රීඩා සමාජය සමඟ ගිවිසුම් අත්සන් කොට අර්ධ විශ්‍රාමික දිවියකට එළඹුනේ ය.

පේලේ ඔහුගේ පාපන්දු ක්‍රීඩාවේ අවසන් කාල වකවාණුවේ දී තම කණ්ඩායම 1977 NASL ශූරතාවලියේ ජයග්‍රහණය කරා ගෙන ගියේ ය. නිල වශයෙන් ඔහුගේ අවසාන තරගය ලෙස සඳහන් වනුයේ 1977 ඔක්තෝම්බර් 1 වන දින කොස්මෝස් හා සැන්ටෝස් අතර පැවති උද්වේග කර ප්‍රදර්ශන තරගයයි. එහි දී ඔහු පළමු භාගය කොස්මෝස් සඳහා ද දෙවන භාගය සැන්ටෝස් සඳහාද ක්‍රීඩා කළේ ය. 

ඔහුගේ අවසාන නිල ගෝලය වූයේ තරගයේ පළමු භාගයේදී සැන්ටෝස් කණ්ඩායමට එරෙහිව ලබා ගත් ගෝලයයි. අවසානයේදී කොස්මෝස් පිළ 2-1 කින් සැන්ටෝස් පිල පරාජය කිරිමට සමත් විය. 

1981 වර්ෂයේ දී තමාගේ අනුග්‍රහයෙන් නිරූපිකාවක වූ සූසා සමඟ ආදර සම්බන්ධයක් ආරම්භ කිරීමට පෙළඹුණු අතර ඒ හේතුවෙන් පේලේ 1982 වර්ෂයේදී ඔහුගේ එතෙක් පැවති විවාහයට තිත තැබීය. 

පාපන්දුවට සමු දුන් නමුදු, පේලේ විවිධ තාන්න මාන්න වලින් පිදුම් ලැබීමට සමත් විය. 1992 දී පරිසර විද්‍යාව සඳහා වූ තානාපතිවරයා ලෙස පත් කරන ලදි. අප්‍රේල් මාසයේ දී මෙම අසහාය ක්‍රිඩා තරුව මනෝවෛද්‍යවරියක හා ගායන ශිල්පිණියක වන ඇසිරියා ලෙටෝස් සමඟ අතිනත ගත් අතර පසුව ඔවුහු දරුවන් දෙදෙනෙකුගේ දෙමාපියන් වූහ. 

1977 දී පාපන්දුවට සදහටම සමු දුන් පසු ලෝක සාමයේ සිට ජාත්‍යන්තර ළමා අයිතිවාසිකම් සහ දරිද්‍රතාවය තුරන් කිරීම දක්වා වූ තම විශ්වාසයන් සඳහා ඔහුගේ කීර්ති නාමය භාවිතයට පේලේ අවධානය යොමු කළේය. 

1994 දී ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කරමින් ලෝක සාමය හා ආරක්ෂාව සඳහා දායක වීමට ඇදහිය නොහැකි තරම් බලපෑම් කරන භූමිකාවන් වශයෙන් 1994 දී පේලේ UNESCO Goodwin Ambassador ලෙස පත් කරන ලදී. මෙවැනි තානාපති ධූර මෙන්ම, මොහු වරෙක බ්‍රසීලයේ ක්‍රීඩා අමාත්‍ය ධූරයද හෙබවීය. 

සම්මාන පිට සම්මානයන්ගෙන් පිදුම් ලද මොහු තරග 1363 ක දී ගෝල 1282 ක් තම නාමය ඉදිරියේ සටහන් කර ගැනීමට සමත් වූයේය. වෘතීමය ජීවිතය එසේ ගෙවී ගියද ඔහුගේ පෞද්ගලික ජීවිතය නම් එතරම් සාර්ථක නොවූයේ 2008 වසරේ දී ඔහු නැවතත් දික්කසාද වූ නිසාවෙනි. 

ලොව පුරා සිදු කළ සියලුම මානුශීය කටයුතු සඳහා UNESCO ව විසින් 2012 දී පේලේ හට “Children in Need” (අවශ්‍යතා ඇති දරුවන්) සම්මානය පිරිනැමීය. එම වර්ෂයේ දී ම ඔහුගේ ජීවිත කාලය තුළ සාර්ථකත්වයන් අගයමින් එඩිම්බරෝ විශ්ව විද්‍යාලයෙන් ගෞරව ආචාර්‍ය උපාධියක් පිරිනමන ලදි. 

කෙසේ වෙතන් ඔහු තම සමාජ සේවා කටයුතු අදටත් අති සාර්ථක කරමින් සුවහසක් ජනතාවගේ ආදරයටත් ගෞරවයටත් පාත්‍ර වෙයි. 2008 වසරේ දී පේලේ විසින් ඔහුගේ නමින් ගෝලීය උරුම පදනම ලෙස පදනමක් ඇරඹීම මෙයට කදිම නිදසුනකි. එම පදනම ලොව පුරා සංවිධානවලට ප්‍රතිලාභ සැලසෙන නව පුණ්‍ය ක්‍රියාවක් වන අතර විශේෂයෙන් දුප්පත්කම හා අධ්‍යාපනය වෙනුවෙන් කුඩා දරුවන් සවිබල ගැන්වීමට ඔවුන් ගත් උත්සාහයකි. 

වසර 12 ක අනභිභවනීය කාල පරිච්ඡේදය දෙස හැරී බැලූ විට, ලෝක කුසලාන තුනක් දිනා ගැනීමට දායක වූ එකම ක්‍රීඩකයා වූ පේලේ, 1958 දී තරුණ, ජනප්‍රිය තාරකාවේ සිට 1970 දී ජාතික වීරයෙක් දක්වා ගිය, බ්‍රසීල ඉතිහාසයේ රැඩිකල් නමුත් කැළඹිලි සහිත යුගයක් නිර්මාණයට දායක වූ හෙතෙම ලෝකයාට සහන සපයමින් තම ජීවිතයේ සැඳෑ සමය ගතකරයි. 

සිය පාද දෙකෙන්ම නිසි ඉලක්කයට පහර එල්ල කිරීමේ හැකියාවෙන් හෙබි මොහු, උපන්ගෙයි ගෝල රැස් කරන්නෙක් වන අතර පාපන්දුව හැසිරවීම ඉතාම පහසුවෙන් හා අලංකෘතව කළ හැකි ක්‍රීඩකයෙකි. පන්දුව සමඟින් ඔහු වේගවත්, එමෙන්ම ඔහු මීළඟට කිරීමට යන දෙය නිශ්චය කර ගැනීමට නොහැකි වන තරමටම ඔහු නිර්මාණශීලීය. පන්දුව නිදහසේ ගමන් කිරිමට ඉඩ දී තමාගේ හැඩ වැඩ පෙන්වීම මඟින් ප්‍රතිවාදීන් අන්දමන්ද කිරීමට ඔහු සතු වූ හැකියාව මෙන්ම ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කිරීමට තිබූ හැකියාව නිසාම පාපන්දු ලොවේ විශිෂ්ටතමයා ලෙස අදටත් නම් දරණ ක්‍රීඩකයාණෙනි, Colombo Beacon අපි ඔබට සුබ උපන්දිනයකට ආසිරි පතන්නෙමු.

Design by : Shanaka Vishwantha

References :

Images :

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

සුදසි සිරිවර්ධන

විද්‍යා පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment