වෙලාව මධ්යම රාත්රී දොළහත් පහු වෙලා. නින්ද නම් අහලකටවත් එන්නෙ නැති පාටයි. මාත් කම්මැලිකමේ ඔහේ හිටියෙ කරන්න කියලා දෙයක් නැති නිසා මත් නෙවේ. වැඩක් කරන්න තියෙන කම්මැලිකම නිසා.
ඔන්න ඉතිං හීනියට බඩගින්නකුත් එනවා. පොඩි බඩගින්නක් වුනාට මේ වෙලේ කන්න කියලා ගත්තොත් ඉතිං වේල් හත අටක් පිරි මහන්න පුළුවන්. මං දන්නෝනෙ මගෙ බණ්ඩියෙ තරම. ඉන්නම දෙන් නැති පාටයි. අත්තම්මා හවස ගෙනාපු පැණි වළලු වගේකුත් තිබ්බා වගේ මතකෙකුත් තියෙනවා. ඔන්න ඉතිං ඒ ගමන තවත් එකක් මතක් වුනා. දැන්නම් ඉතිං ඉන්නම බෑ වගේ. බණ්ඩියත් එක්ක තර්ක කරලා අන්තිමේ සුපුරුදු පරිදිම පැරදිලා මට යන්නම වුණා පහලට. කොහෙද ඉතිං අත්තම්මත් ගෙනාවනෙ අද හවසම පැණි වළලු ටිකක්. මගෙ බණ්ඩිය නෙවේ; අත්තම්මා තමා වැරැද්ද කළේ, මේ අවේලාවේ පැණි වළලු ගෙනත්.
හෙමීහිට ඇඳෙන් බැස්සෙ පොළොවටත් නොදැනෙන්න වගේ. හොරාට ඇහැ දාලා බැලුවෙ නංගි නිදිද කියලා. කොහෙද ඉතිං මෙයා නිදා ගත්තා කියලත් හොයන්න පුළුවන් කියලා එකක්යැ. නිදා ගන්නෙ ඇස් දෙක බාගෙට ඇරන්නේ. හීනෙන් බය වෙලා නැගිට්ටොත් බය වෙලාම මැරෙනවා. නොදන්න කෙනෙක් දැක්කොත් නූල් බඳින්නයි වෙන්නෙ.
නිදි වගේ තේරුණත් සත පහකට විශ්වාසෙ තියන්න බැරි නිසාම මන් පොඩ්ඩක් අතත් හොලවලා බැලුවෙ නිදි ද කියලා හරියටම දැන ගන්න. අත ඇදලා අරන් අනිත් පැත්ත හැරුන විදිහට නම් නිදිම තමා. නූලෙන් බේරුණේ අත ඇදපු පාරට. තව දශමයක් හරි ආනතිය වැඩි වුනා නම් මං එයාගෙ ඇඟ උඩ. එහෙනම් ඉතිං පැණි වළල්ලෙන් අරික්කාලයි මට කියලා කන්න වෙන්නේ.
වීරයා වගේ ඇඳෙන් නැගිට්ටට මොකෝ. මුලු ගෙදරම ලයිට් නිවලනෙ. කට්ට කරුවලේ තනියම යන එක තරම් එපා කරපු වෙන කිසිම දෙයක් නැතිව ඇති. මේ වෙලාවට තමා ඉතිං කියවපු කතා පොත්වල හිටපු හැම භූතයම මතු වෙන්නේ. පැණි වළලු පැත්තකින් තියලා ආපහු හැරුණෙ කකුල් දෙක මැඩ්ලින් ගහපු නිසා.
අයියෝ මෙන්න ඒ ගමන කෑ ගහන්නත් පටන් ගත්තා. දැන් නම් ඉතිං මක් කරලවත් ඉන්න බෑ. ඔක්කොටම වඩා ලොකුයිනෙ මගෙ බඩජාරිකම. ඕන එකක් වෙද්දෙන් කියලා ඇඳෙන් බැස්සා පොඩි ෆෝන් එකත් අතේ තියන්. හෙමීට හෙමීට අඩිය තියලා ෆෝන් එකේ ටෝච් එළියෙන් පඩිපෙළත් බැහැලා ආවා කුස්සියටම. වට්ටිය යට වතුර කප් එකක් උඩ තිබ්බා වගේ තමා මතක.
හීනියට පොද වැස්සකුත් වහිනවා එළියේ. හරියට නිකම් මිෂන් එකේ පසුබිම් සංගීතයක් වගේ. මටත් හිතෙන ඒවා. ආවා නම් කාලා යන්නෙ නැතිව තව තිර පිටපතුත් ලියනවා.
අම්මත් නරකම නෑ. දෝණිගෙ හැටි දන්නෝනෙ. පුංචි මොළෙන් වැඩ අරන් වගේ.
තිබ්බ තැන නෑ කියන්නකො ඉතිං. හැම තැනම බැලුවත් හොයා ගන්නම බෑනෙ. තවත් ඉන්නත් බයයි වගේ. වැස්සත් එන්න එන්නම තද කරනවා. මං හිමීට ආපහු මගෙ සිරියහන් ගැබට ආවා කාටවත් සද්දයක් ඇහෙන්නෙ නැති වෙන්න.
අනෙ අම්බෝ. මැරෙන් නැතිව බේරුණේ පිනකට. ගොරෝ ගොරෝ නිදන් හිටපු කෙනා නැගිට්ටෙ නැතෑ එක පාරටම. තව ඩිංගෙන් හදවතක් බද්ධ කරන්න වෙනවා මට.
“කොහෙද අක්කෙ ගියේ?”
“කොහෙවත් නෑ අනේ. මේ වතුර තිබහක් ආවා.”
“ඈ? වතුර තියෙන්නෙ වට්ටියෙන් වහල ද?”
මල හත්තිලව්වයි. මෙයා මගෙ පස්සෙන් ඇවිත්නෙ.
“නෑ මං මේ බැලුවෙ වට්ටිය යටින් සද්දයක් ආවා. පූසවත් රිංගලා ද කියලා.”
අහිංසක බළල් තඩියා. මුකුත් දන් නැතුව කොහෙට හරි වෙලා නිදි ඇති. කමක් නෑ ඉතිං දවසම පුරු පුරු ගගා කකා බිබී සැපට ඉන්න එකේ ඔයාගෙන් මෙහෙමවත් ප්රයෝජනයක් ගන්න එපැයි.
“පූසා නෑ අක්කෙ ගෙදර. චූටි අයියත් එක්ක හවස සෙල්ලම් කර කර ඉඳලා එයා එක්කම ගියා හවස.”
ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ. ඉඳලා ඉඳලා කිව්ව බොරුව අතටම අහු වුනා. එහෙම කියලා ඉතිං නංගිට පරදින්න පුළුවනියැ. මං අක්කනෙ.
“මං දන්නවද අනේ ඔහොම එකක්. මං හිතුවෙ පූසා ඉන්නවා කියලා. මං දන් නෑනෙ පූසා නෑ කියලා. සද්දයක් ඇහුන නිසා බලන්න ගියේ. ඔයා මොනාද මේ මහ රෑ ඇහැරිලා කරන්නේ? ආහ්?? ”
“නෑ… මේ…. මං…. මටත් මේ සද්දයක් ඇහුන හින්දා බලන්න ආවෙ. ඒ එද්දි ඔයා කුස්සියෙ හිටියා. ඔයාද එතකොට ඒ සද්ද කලේ??”
“අනේ මේ නංගි. ආවාද මට බොරු කියන්න? ආහ්?? මං දන්නෝ ඔයා ඇයි කුස්සියට ආවෙ කියලා. අත්තම්මා ගෙනාපු පැණි වළලු කන්න නේද? ඉන්නකො මං අප්පච්චිට කියන්න රෑට හොරෙන් පැණි රස කාලා දත් සවුත්තු කර ගන්න හදනවා කියලා. ලෑස්ති වෙලා ඉන්න අප්පච්චිගෙන් බැනුම් අහන්න උදේට.”
ඒක අහලා තත්පර දෙකයි ගියේ. පොළොවට වඩා අඩි දෙක තුනක් උඩින් ගිය කෙනා දැන් යන්නෙ භූගත බංකර් තුලින්. වැඩේ හරි. මෙයත් ඇවිත් තියෙන්නෙ පැණි වළලු කන්නම තමා. කළුවරේ ආපු නිසා දැකලා නෑ මං ඇඳේ නෑ කියලා. කුස්සියට ආවම දැක්ක පාර හැංගිලා ඔත්තු බලලා.
“අනේ අක්කෙ. අප්පච්චිට නම් කියන්න එපා. මට බැනුම් අහන්න වෙයි.”
කොහොමද බය. ඔය කිව්වට ඉතිං මාත් ඔහොම තමා. අප්පච්චි වචන දෙකයි කියන්න ඕන. භූගතයි.
“හරි හරි මං කියන් නෑ. හැබැයි ඉතිං ඔයත් කට හොල්ලන්න බෑ හරිද?? දන්නෝනෙ. මොනා හරි කියලා තිබුණොත්නෙ.”
“නෑ නෑ අනේ මං කියන් නෑ. සත්තයි.”
වැඩේ හරි. දැන් ඉතිං මෙයා කියන්නෙ නෑ. වෙලාවට ඔහොම බේරුණේ. අවුරුදු විසි තුනක් වෙලා රෑ හොරෙන් පැණි වළලු කන්න ගිහින් අහු වුනා කියලා දැන ගත්තොත් මට කාමරෙන් එළියට බහින්න බැරි වෙන වැඩක්. අපේ නංගි කට ඇරියොත් ඉතිං පත්තරේ දාලා කැලෑ පත්තරත් ගැහුවා වගේ තමා. මාස ගානකට ඇති. මුලු හත්මුතු පරම්පරාවම දැන ගන්නවා. යන යන තැන ඉවරයි මං. වෙලාවට ඔහොම විසඳුනේ. අනේ… මගෙ ටිකිරි මොලේ… ඕනිම වෙලාවට මාත් එක්ක…
“අක්කේ, ඇත්තටම ඇයි ඔයා පහලට ගියේ”
ආයි පටන් ගන්න වගේ යන්නෙ.
“කට පියා ගෙන නිදා ගන්නයි කිව්වේ. ආයි කොහෙදි හරි ඔය ගැන කිව්වොත් මං අප්පච්චිට කියනෝ ඔන්න ඔයා රෑට හොරෙන් පැණි රස…”
“අයියෝ නෑ නෑ. මං කියන් නෑ. මට නිදි මතයි. මං නිදා ගන්නවා. මං දන්නෙත් නෑ. මං දැක්කෙත් නෑ.”
“අන්න හොඳ යි. හොඳ ළමයා.”
ටික වෙලාවකින් මා ද නින්දට වැටුණු අතර පසුදා අවදි වූ පසු නැගණිය පැණි වළල්ලක් හීනෙකින්වත් නොදුටු, පෙරදා රාත්රියේ සිදු වූ කිසිවක් මතකයේ නොවූ අයෙකු මෙන් විය. මා අපහසුවෙන් නමුත් සිනා නොවී සිටියෙමි. පෙරදා රාත්රියේ අතුරුදන් වූ පැණි වළලු පාර්සලය නම් උදෑසන තේ මේසය මත හරි අපූරුවට තිබුණි.
ඔයාලටත් ඕනද??
කාපු අය රස ද කියන්නකො???
Leave a Comment