සාමාන්‍ය

පැන්සල

අද පන්තියේ ළමයි හැමෝම සඳලි වටකරගෙන.ඇයි ඉතින් එයලගෙ තාත්තා රට ඉඳන් ඇවිත්නෙ.අද එයා තාත්තා ගෙනපු පෑන් පැන්සල් විතරක් නෙමෙයි ටොපි චොකලටුත් ගෙනැල්ලා.ළමයි අහන විස්තරවලට සඳලි හරිම උජාරුවෙන් උත්තර දෙනවා.සඳලි ඉගෙනගන්න දක්ෂ වුණාට හරිම ආඩම්බරයි.ඒ එයලට සල්ලි තියෙන නිසාද කොහෙද.සඳලි මටත් ටොපි දෙකක් දුන්න.මට පිටිපස්සෙ වාසනා වඩිවෙලා හිටියා.එයා මට ටොපි දීලා ආපහු හැරෙන්න හදනකොටම මං කතා කළා.

“සඳලි, මෙතැන වාසනත් ඉන්නවා.”
“ ආ ඇත්තමයිනේ..මට එයව අමතක වුණා.ආ මෙන්න.”

එයා ටොපි දෙකක් වාසනාගෙ මේසෙ උඩට දැම්මෙ ඕනවට එපාවට වගේ.”තෑන්ක් යූ සඳලි” වාසනා හිනාවෙලා කිව්වට එයගෙ මූණේ තිබුණේ දුකක්.පව්!

වාසනාට ඉන්නෙ අම්මයි මල්ලිලා දෙන්නයි විතරයි.එයාගෙ අම්මා වලව්වේ වැඩ කරන්නෙ හරිම අඩු පඩියකට කියල අපේ අම්ම කිව්වා.අඟහිඟකම් නිසා ඉස්කෝල ගමන නවත්තන්න කියල වාසනාට අම්මා කීප වතාවක් කියා තිබුණත් එයා ඒකට කැමති නෑ.වාසනා සඳලිටත් වඩා දක්ෂයි.ඒ නිසා ටීචර්ස්ලා එයාට නවතින්න දෙන්නෙත් නෑ.එයාට උදව් එහෙමත් කරනවා.ඒත් වාසනා ටීචර්ස්ලට කරදර කරන්න අකැමැති නිසා එයගේ ප්‍රශ්න කියන්න යන්නෙත් නෑ.

සඳලි ආපහු මේසෙ ළඟට ගිහින් එයාගෙ අලුත් පැන්සල් පෙට්ටිය ඇරියා.ඒක ඇතුළෙ තුඩ මාරු කරන පැන්සල්, පාට පාට එක එක ජාතියෙ පැන්සල් පිරිලා.එයා වෙනම ගෙනත් තිබුණු පැන්සල් දෙකක් එයාගෙ හොඳම යාලුවටත් දුන්නා.වාසනත් මේ සේරම බලගෙන හිටියා.

ඉන්ටවල් එකේදි ඔක්කෝම ළමයි පන්තියෙන් එළියට ගියා.සඳලි තවම පැන්සල් පෙට්ටිය අස් කරනවා.මමත් හිටියෙ පන්තියෙමයි.වාසනා හිමීට නැගිටල සඳලි ළඟට ගියා.

“සඳලි, ඔයගේ ළඟ වැඩිපුර පරණ පැන්සලක් තියෙනවනම් ඒක මට දෙනව ද?මගේ පැන්සල හොඳටම ගෙවිලා පුංචි වෙලා. ඒකෙන් හෙට විභාගයට ලිය….” වාසනාට ඒක කියල ඉවර කරන්න හම්බුණේ නෑ. සඳලි එයාගෙ ඇඟට කඩන් පැන්නා.

“මොකක්? මගේ තාත්තා පැන්සල් ගෙනාවෙ මට.ඔයා මොකද මගෙන් ඉල්ලන්නෙ? ගොඩේ ළමයින්ට මොන රට පැන්සල් ද?” සඳලි එහෙම කියල කේන්තියෙන්ම පන්තියෙන් එළියට ගියා.හොඳ වෙලාවට ඒ වෙලාවෙ පන්තියෙ හිටියෙ අපි තුන් දෙනා විතරයි.වාසනාගෙ මූණ බිය,ලැජ්ජාව මුසු දුකකින් වැහිල ගියා.එයා කඳුළු පුරෝගෙන මේසෙ ළඟට ගිහින් ඔළුව තියාගෙන අඬන්න ගත්තා.

මම එයා ළඟට ගියේ මගේ ළඟ තිබුණ අලුත්ම පැන්සලත් අරන්.

“වාසනා, ඔයා අඬන්න එපා,ආ මෙන්න ඔයාට අලුත් පැන්සලක්.කොහොමහරි මේ පාරත් පන්තියෙ පළවෙනියා වෙන්න” මම එයගෙ අතට පැන්සල දුන්නා.වාසනාගෙ මූණෙ කඳුළු අතරින් ලස්සන මල් හිනාවක් නැගුණා.මට හරිම සතුටුයි.
“ඔයාට ගොඩක් ස්තූතියි නෙත්මි.ඔයාට පැන්සලක් තියෙනවද?” වාසනා වචන ඇමිණුවෙ හිතේ ලොකු දුකකින්.මම ඔළුව වනල හිනාවුණා.”හෙට විභාගයට එනව නේද ?”
“ඔව් නෙත්මි, ඔය ගොඩක් හොඳයි.”

ඊට පස්සෙ මං මගේ කෑම එකත් වාසනා එක්කම බෙදාගෙන කෑවා.
ඔන්න ඊළඟ දවසෙ අපි හිටියෙ විභාග ශාලාවෙ.ප්‍රශ්න පත්තරේ බෙදන්න තව විනඩි කීපයක් තියෙනවා.ළමයි හැමෝම ලහි ලහියේ පොත් බලනවා.මට ඉස්සරහින් වාඩිවෙලා හිටියෙ සඳලි. එයාට එහා පැත්තෙ වාසනා.හදිසියේම සඳලි නැගිටල එයාගෙ බෑග් එක ඇද ඇද මොනවදෝ හෙව්වා.ටික වෙලාවකින් එයාගෙ මූණ අඳුරු වුණා.

“ඇයි සඳලි ? ඔයා මොනවද හෙව්වේ ? “ මම ඇහුවා.
“අනේ නෙත්මි, බලන්නකෝ,මම පැන්සල් පෙට්ටිය ගෙදර දාලා ඇවිත්.දැන් මං කොහොමද විභාගයට ලියන්නෙ?” සඳලිගෙ ඇස්වල කඳුළු පිරුණා.හරි වැඩේ,මං ගාවත් තියෙන්නෙ එක පැන්සලයි.වැඩිපුර තිබුණ එක ඊයෙ වාසනාට දුන්නනේ.තව එකක ගන්නත් මට අමතක වුණා.වැඩිපුර එකක් තිබුණ නම් සඳලිට දෙන්න තිබුණ කියල මට හිතුණා.
“දැන් මොකද කරන්නේ? මං ගාවත් වැඩිපුර එකක් නෑනෙ සඳලි.” මම කියනකොට එයාගෙ මූණ තවත් අඳුරු වුණා.මුළු පන්තියම දැන් නිශ්ශබ්දයි.ඊයෙ එයා ගාව වටවෙලා හිටිය යාළුවො කවුරුවත් ළඟටවත් ආවෙ නෑ.ඒත් එක්ක්ම ‘ටකස්’ ගාලා ශබ්දයක් ඇහුණා.ඊට පස්සෙ වාසනා සඳලි ගාවට ආවා.
“ආ… මෙන්න ඔයාට, මේ පැන්සල අරගෙන විභාගෙ ලියන්න.” වාසනා හිමීට කිව්වා.
පන්තියෙ හැමෝටම හරි පුදුමයි.වාසනා එයාට මං ඊයෙ දීපු අලුත්ම පැන්සල දෙකට කඩලා.වාසනාගෙ අතේ තිබුණ පැන්සල් කෑලි දෙක දැකල සඳලිට හොඳටම ඇඬුණා.
“අඬන්න එපා සඳලි.මේක අරගෙන කලබල නැතුව විභාගෙට ලියන්න.”වාසනා ආයෙම කිව්වා.
“ඔයා මාත් එක්ක තරහ නැද්ද ?” සඳලි මේ අහන්නෙ ඊයෙ සිදුවීම ගැන කියල වාසනාට තේරුණේ සඳලි අමාරුවෙන් වචන ගලපද්දි.
“අනේ නෑ සඳලි, ඒකට කමක් නෑ.නෙත්මි මට පැන්සලක් දුන්නා.” සඳලි හොරැහින් මගේ දිහා බැලුවා.මටත් එයා ගැන දුක හිතුණා.
“ගන්න සඳලි , පේපර්ස් බෙදන්න ළඟයි.ඕක ගන්න,දැන් දෙන්නටම පැන්සල් තියෙනවනෙ”මං එහෙම කිව්වෙ එයාගෙ හිත හදන්න.
“තෑන්ක් යූ වාසනා” සඳලි කඳුළු අතරින් යන්තම් හිනාවුණා. “ඊයෙ, ඔයාගෙ හිත රිදුණනම් සමාවෙන්න.මං හෙට ඔයාට අපේ තාත්තා ගෙනාපු අලුත් පැන්සලුයි පොතුයි ගෙනත් දෙන්නම්.ඔයා ගොඩක් හොඳ යාළුවෙක්.මීට පස්සෙ ඔයා තමා මගෙ හොඳම යාළුවා.” සඳලි එහෙම කියනකොට වාසනාගෙ ඇස්වලින් කඩා හැලුණු කඳුලක් පැන්සල මතට වැටුණා…..

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

සළුනි චනීෂා මධුපංචනී

විද්‍යා පීඨය - උපාධිධාරි
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment