අපේ එවුන් හැමෝම එකතු කරගන්නනම් ඉතින් ඡන්ද නිවාඩුවට වඩා හොඳ දවසක් තවත් නෑ. පෝයක් තිබ්බත් එක දවසේ නිවාඩුවට ගොඩක් අය ගෙදර එන්නේ නෑ, සතිඅන්‍ත නිවාඩුවට රුහුණේ, යාපනේ, ඔලුවිල් ඉන්න අය එන්නේ නෑ, අපිට වැකේශන් තියෙද්දී ජපුරට විභාගේ, පේරේ අය ෆ්‍රී වෙද්දී රුහුණට මිඩ් එක, බැරිවෙලාවත් කැම්පස් අය ස්ට්‍රයික් එකක් වගේ තිබිලා ගෙදර ආවත් ජොබ් කරන අයට නිවාඩු තියෙන්න අපේ අය අනධ්‍යයන සේවකයෝ නෙවෙයිනේ.
ඉතින් මාස ගානක ඉදලා ඡන්දෙට කලින් දවසේ හම්බවෙන්න කතා කරගෙන හිටියේ ඒ දවසට තියෙන ඕන ෆිල්ම් එකක් බලලා බඩ පැලෙන්න කාලා බීලා ගෙදර යන්න.ඒ උනාට ඉතින් මේ නිවාඩුවටත් හැමදාම වගේ හැමෝම සෙට් කරගන්න උනේ නෑ. එක්කෙනෙක්ට ඩෙංගු අනිත් එක්කෙනාට වයිරස් එක. මේ නිවාඩුවටත් වෙන වෙන වැඩ කියන හැමෝම දාලා යන්න මුලදිම ලෙඩ්ඩු දෙන්නත් ඇතුළුව හැමෝම එකඟ වෙලා හිටියට එහෙම වෙලාවට උන් දෙන්නාව දාලා ගිහින් අපිට සතුටු වෙන්න බෑ. ඉතින් අවසාන තීරණය උනේ උදේ 8 වෙද්දී ටවුන් එකට ඇවිත් ලෙඩ්ඩු දෙන්නටයි අපිටයි කන්න බොන්න අරන් ඒ ගෙවල් වලට ගිහින් හොද හොල්මන් ෆිල්ම් දෙකක් බලලා කාලා බීලා එන එක.කෙල්ලොනේ…….
ඉතින් අපේ අයගේ උදේ 8 කියන්නේ උදේ 9 කියලා දැන දැනත් මට හරියටම 8.05 වෙද්දී ටවුන් එකට එන්න පුළුවන් උනේ අපේ අම්මා මල්ලිගේ දඩුමොණරෙට මාව පටවපු නිසා.මල්ලී අපේ එකෙක් එනකන් විනාඩි පහක් විතර හිටියත් මන් හිතන්නේ ඒ වෙලාවට තමා අපේ අය දත් මැද මැද ඉන්න ඇත්තේ.ඊට පස්සේ මාව පොළ ගාවින් හලාගෙන ‘වට්ටි අම්මලා ටික එනකන් මෙතනම ඉන්නවා.මම යනවා’ කියලා මාව එතන දාලා ගියේ ඒ වෙලාව වෙනකොටත් එතන සෑහෙන සෙනගක් හිටිය නිසා වෙන්න ඇති.හැබැයි මල්ලී මටයි අපේ සෙට් එකටයි මුළු ලෝකෙම කෙල්ලොන්ටයි බැන බැන ගියේ එයා උදේ 7 ට ටවුන් එකේදී හම්බෙනවා කිව්ව යාළුවෝ ටික හොයාගෙන.කොල්ලොනේ….
පොඩි දවස් වල හැමදාම පොළ ගැන කොයිතරන් රචනා ලිව්වත් මෙහෙම උදේක පොළක ඉන්න එක මට අලුත් අත්දැකීමක්.ඉතින් ‘මන් පොළ ගාව ඉන්නේ ‘ කියලා ගෘප් එකේ මැසේජ් එකකුත් දාලා ෆෝන් එක සාක්කුවට දාගත්තේ මේ වගේ වෙලාවට එෆ්.බී ගිහින් වෝල් එකේ උඩ පහළ යනවට වඩා මේ අලුත් අත්දැකීම විදින එක වටිනවා කියලා යටි හිත කෑ ගහන්න ගත්ත නිසා.ඉතින් මල්ලී කිව්වා කියලා එතනම ඉන්න ඕනී නෑනේ .ඒ හින්දා ටිකක් ඇවිදලා බැලුවා.
කෙළවරකට වෙන්න තිබ්බ නිල් පාට ඩීමෝ බට්ටෙක්ගෙන් නැන්දා කෙනෙකුයි මාමා කෙනෙකුයි ඒ වෙලාවෙත් එක එක ජාතියේ පැළ බානවා.ඉතින් ලොකුවට මල් ගැන ආසාවක් නැතත් මන් ඒ පැත්තට ඇදුනේ අම්මත් ඉන්න තිබ්බේ කියලා හිත හිත .ඉතින් ඒ ළගටම යන්නත් කලින් මම දැක්කේ මල් පැළ අරන් එන අම්මා කෙනෙකුයි අපේ මල්ලි විතර වයස පුතෙකුයී.හෙල්මට් එකක් ඔලුවෙම දාගෙන තව එකක් අතින් අරගෙන අනිත් අතින් සුදු පාට ලොකු රෝස මල් දෙකකුත් තියෙන ලොකු රෝස පැළයකුත් අරන් ‘ආයනම් මේ කඩේ යන වැඩ වලට අක්කව එක්කන් යන්න.මන් නම් එන්නේ නෑ.අපේ එකෙක් මෙහෙම රෝස උස්සන් යනවා දැක්කොත් මට මෙතනම වැලලෙන්න වෙන්නේ .ලැජ්ජාවේ බෑ.’ කියලා අම්මට නෝක්කාඩු කිය කිය ඒත් අම්මව වාහන එන්නේ නැති පාරේ අයිනට කරගෙන කරටත් අත දාගෙන යන කොල්ලාව දැකලා මට නිකන්ම හිනාවක් ගියේ මල්ලිව මතක් වෙලා.
ඩීමෝ බට්ටා ගාවට යන්න කලින්ම තවත් මල් කඩයක් හම්බ උනා.අර තරන් ලොකුවට මල් ගොඩක් නැතත් ලස්සනට පිළිවෙලට තියලා තිබ්බා මල් ටික, තව පොඩි පළතුරු පැළ ටිකකුත් තිබ්බා .අත්තම්මා කෙනෙක් පොඩි බංකුවක් තියාගෙන ඉදගෙන හිටියේ කරබගෙන.කෑ ගහන්න අමාරු ඇති මට හිතුනේ එහෙමයි.එතනත් අම්මා කෙනෙක් එක්ක දුවෙක් මල් බලනවා. දුව අතේ ලස්සන බෝගන්විලා පැළයක් තියාගෙන අම්මා මල් නැති රෝස පැළයක් අතේ තියාගෙන. ඒ අම්මා අත්තම්මා දිහාට හැරිලා ‘මේ මොන පාට රෝසද අම්මා?’ කියලා අහන ගමන් දුව දිහාට හැරිලා කිව්වේ ‘ඕක තියන්න දුව .මෙහෙට හැමදාම චුරු චුරු වැස්ස.අව්ව ඕනී ඕක ලස්සනට හැදෙන්න.ඕක හරියන්නේ නැතිවෙයි’ කියලා. දුව මල් පැළේ බිමින් තියනවත් එක්කම අත්තම්මා ‘ තද රතු ,රෝස, ලා රෝස, කහ’ කියලා පාට ගොඩක් කියාගෙන ගියේ බිම තියෙන මල් පැළ ටිකත් පෝළිමට පෙන්නලා. ‘අනේ අම්මේ සුදු පාට ඒවා නැද්ද? මන් ආවේ පුතෙක් අරන් ගිය සුදු පාට රෝස පැළේ දැකලා’ එතකොට ඒ අත්තම්මා ලස්සනට හිනාවෙලා ‘ආන් අර කෙළවරේ තියෙන ලොරියෙන් ගන්න නෝනා .එතන තියෙනව ඇති සුදු පාට’ මන් හිතුවේ ඒ අම්මා මල් පැළේ තියලා යයි කියලා. ‘ මොන පාට උනත් මල්නේ අම්මේ , ලා රෝස එකකුයි කහ පාට එකකුයි දෙන්න .ආ තව බෝගන්විලා පැළයකුත් දෙන්න අම්මේ.’ කියලා ඒ අම්මා කියද්දී මටත් ලාවට හිනාවක් ගියා මේ ලෝකේ මිනිස්සු හරි පුදුමයි කියලා හිතලා. චුරු චුරු වැස්සක් නෙවෙයි මොරසූරන වැසි වැස්සත් ඒ බෝගන්විලා පැළේනම් ලස්සනට හැදෙයි කියලා මට හිතුනේ ඒ වෙලාවේ ඒ අත්තම්මගේ දිලිසුන ඇස් දෙක දැකලා.
එතකොටමයි එතන තිබ්බ කපුරු පැළ බල බල හිටපු නැන්දා කෙනෙක් ඒකේ ගාන ඇහුවේ. ‘ අසූවයි නෝනා’ අත්තම්මා කිව්වේ හිනාවෙලා.තරුණ කාලේ ලස්සනට ඉන්න ඇති.ඒ දැක්කම බලන් ඉන්න හිතෙන හිනාව දැක්කම මට හිතුනේ එහෙමයි. ගාන අහපු නැන්දා මල් පැළේ බිම තියලා ටිකක් එහාට යද්දී ‘එහෙනම් හැත්තෑවක් දෙන්න නෝනා’ කියලා අත්තම්මා බැරි බැරි ගානේ කෑ ගහද්දී මට ඒ නැන්දා ගැන තරහවක් ආවේ උදේම ඇවිත් මේ වයසක මනුස්සයාට දුකක් දුන්න නිසා.ඔව් මන් වැරදියි. පොළවල් නෙවෙයි හැම රස්සාවකම හැටි ඔහොම තමයි. ‘අපිට හැමෝවම සතුටු කරන්න බෑ’ කැම්පස් එකේ යාළුවෙක් හැම වෙලේම කියන කතාව මට මතක් උනේ ඒ වෙලාවේ.’ඒ උනාට ඒ අත්තම්මා පව්’ ඔන්න ආයෙත් මගෙ හිත ඒ මල් ගන්නේ නැතිව ගිය නැන්දට දොස් කියනවා.ටිකකින් බලද්දී එතනින් ඇවිත් කාර් එකක් නැවත්තුවේ මගේ ෆෝන් එකත් කෑගහන්න ගද්දී.
‘කොහෙද යකෝ ඉන්නේ ? හැමෝම ඇවිත් ඉන්නේ පොළ ගාවට උඹ විතරයි අඩු’ හෙලෝ කියන්නත් කලින් ටිකිරිගේ ටකරන් වොයිස් එක ඇහුනේ මට හයියෙන් හිනාවක් යද්දී.මන් ඉන්න තැනත් කියලා කෝල් එකත් කට් කරලා අත්තම්මාගේ කඩේ පැත්ත බලද්දී මට මන් ගැනම ලැජ්ජාවක් දැනුනේ හොයන්නේ බලන්නේ නැතිව මිනිස්සුන්ට චරිත සහතික දෙන එක ගැන. අර නැන්දා එතන නවත්තපු කාර් එකට අත්ත්ම්මගේ කඩේ තිබ්බ කපුරු පැළ ටික දානවා. ‘ අලුතින් ගේ හැදුවේ අම්මා.ගේ වටේටම කපුරු වවනවා මම.සුවදට තියෙයි . ‘ ඒ නැන්දා කිව්වේ හිනාවෙවී. අත්තම්මත් ‘අනේ දළදා සමිදු පිහිටයි ‘ කියලා ආශිර්වාද කරේ ඒ නැන්දගේ ඔළුවත් අතගාලා. අන්තිමට අත්තම්මා එපා කියද්දී ඒ නැන්දා අසූව ගානෙම පැළ දහයක් විතර අරන් ගියේ අත්තම්මාගේ කඩේ බාගයක්ම හිස් කරලා.
එක පාරම හිතට ආපු දෙයක් නිසා අත්තම්මගේ පැළ කඩේ ගාවට යන්න යද්දිම කොහෙදෝ ඉදලා ආව පබා මාව කරකවලා අරන් බදාගත්තේ අනිත් හතර දෙනත් හයියෙන්ම හිනා වෙවී බලන් ඉද්දී.ඇයි ඉතින් කොච්චර කාලෙකට පස්සෙද හැමෝම හම්බුනේ. ‘හරි හරි උඹලා දෙන්නා ලව් කරලා ඉවරනම් දැන්වත් යන්’ කියලා තඩී කෑ ගැහුවේ මගේ කන් දෙකත් ලැජ්ජාවට රතු වෙද්දී. කට්ටියම හැරිලා යන්න ලෑස්ති උනේ ෆුඩ් සිටි එකට මන් හිතන්නේ .ඇයි ඉතින් කලින් කතා වෙලා හිටියේ කන්න බොන්න අරන් යන්නනේ. එතකොටම මන් ‘ඒ බන් අපි වෙන මොනවා හරි අරන් යන්’ කියලා කියද්දී කට්ටිය මන් දිහා බලන් හිටියේ පිටසක්වළයෙක් දිහා බලනවා වගේ.ඇයි ඉතින් කන්න අරන් යන් කියලා මුලින්ම අයිඩියා එක දැම්මෙත් මමනේ.
‘එහෙනම් මොනවද අරන් යන්නේ?’ හැමදාම වගේ වැඩි කතා බහක් නැති තඩී මුලින්ම ඇහුවේ අපේ උන් මට කෑ ගහන්න පටන් ගන්න කලින්. ‘අපි පළතුරු පැළ අරන් යන්ද?’ ලෙඩෙක් බලන්න පැළ අරන් යන සිරිතක් නැති උනත් මම ඇහුවේ අර අත්තම්මගේ කඩේ දිහාට අත දික් කරන ගමන්. ටිකක් වෙලා මන් දිහා කන්න වගේ බලන් හිටපු අපේ උන් ‘ යමන් එහෙනම්’ කියලා මටත් කලින් ඉස්සර වෙලා කඩේ දිහාට ගියේ කියව කියව.ඒ උනාට එයාලටත් මොනවා හරි හිතුනා කියලනම් මට විශ්වාසයී. ‘අපි කන්න අරන් ගියේ නැති උනාට මාලනී ඇන්ටි කවද්ද අපිව බඩගින්නේ එවුවේ? ‘ , ‘ අපි අරන් ගියාට අපිම කාලා එන එකනේ.මේ වැඩේ හොදයී ඊට වඩා ‘ අපේ අයගේ ඒ කතා මම අහන් හිටියේ සතුටින්.
එතනට ගිය අපේ අය තිබ්බ පළතුරු පැළ ටිකත් සේරම ගත්තේ අත්තම්මගේ කඩේට තව රෝස පැළ තුනක් විතරක් ඉතුරු කරලා. අත්තම්මත් එක්කත් ටික වෙලාවක් කියව කියව හිටපු අපි යන්න ලෑස්ති වෙද්දී අත්ත්ම්මා කිව්වේ ‘යාළුවෝ දෙන්නට ඉක්මනට සනීප වෙයි බය වෙන්න එපා ‘ කියලා. ‘ඔව් බයක් නෑ ‘ ඒ අත්තම්මගේ විශ්වාසේ පිරුණ ඇස් දැක්කම මට කියවුණා.අපිත් හිනාවෙලා යන්න පිටත් උනත් ටික දුරක් ඇවිල්ලා මම ආයෙම පාරක් ඒ කඩේ දිහා බැලුවේ නිකමට.තවත් මාමා කෙනෙක් පැළයක් අරන් ගියා.මට සතුටුයී.මන් හිනාවෙවීම ඉස්සරහා බලද්දි මන් දිහා බලන් හිටපු තඩී මගේ පිටටත් තට්ටුවක් දාලා කිව්වේ ‘ඒ අත්තම්මාට අද දවල්ට කන්නත් ගෙදර යන්න පුළුවන් බන් ‘ කියලා.
ඉතින් අපි කරන චූටීම දෙයක් උනත් තවත් මනුස්සයෙක්ට ලොකු සතුටක් ගේනවනම් තවත් හිත හිත ඉන්නේ මොකටද?
Leave a Comment