“නිම්නා…නිම්නා…
නැගිටින්නකො මං උයලත් ඉවරයි. උඹ තාම ඇඳ බදාගෙන. අද කැම්පස් යන් නැද්ද?”
“මොකද බං බෙරිහන් දෙන්නෙ? මගෙ කන් දෙක ඇහෙනවා. මං මේ නැගිටලා හිටියෙ.”
“අනේ ඔව් ඔව් නැගිටල හිටියෙ! නැගිටල හිටිය නම් මොකද අද කුස්සියට ආවේ නැත්තෙ. වෙනදට උඹ නැගිට්ට ගමන් මගෙ මිනිහා වගේ පියවි පැටියෝ ගාගෙන දුවන් එන්නෙ.”
“නෑ බං ඇත්තටම මං මේ කල්පනා කළේ මගෙ සත්‍ය ප්‍රේම බෘංගරාජයා දැන් මොනවා කරනවා ඇද්ද කියලා!”
“මොනවා කරන්නද ඌත් එක්කො උඹ වගේ ඇඳ බදන් බුදි ඇති නැත්තන් ඌ මෙලහට කැම්පස් එකේ ද දන්නෑ උගෙ අර වොයිස් කචල් ඇග හුරතල් කෑල්ල බලන්න ඇවිත්.”
“අනේ බං මේ සුන්දර උදෑසන අර වගේ මල ඉලව්වක් මතක් කරල දවසම චාටර් කරන්න එපා බං. ඒකි උට මැච් වෙන්නෙත් නෑ. රෙද්ද!”
ඉතින්, මේ උදේ පාන්දරම කොල්ලෙක් ගැන හීන මව මව ඒ කොල්ලාගෙම කෙල්ලට බැන බැන නිදි ගැට කඩන්නෙ මගේ ජීවිතයට හම්බුන මගේ ම සහෝදරියක් වගේ ඉන්න යෙහෙළිය, නිම්නාදි; නිම්නාදි කස්තුරිආරච්චි. එයත් එක්ක මේ බෝඩිම බෙදන් ඉන්න මම පියවි භාග්‍යා කරුණාරත්න. ඔව්! අපි මේ ඉන්නෙ බෝඩිමක. කැම්පස් ආපු දවසෙ ඉඳලා මේ බෝඩිම වගේම මං ජීවිතය බෙදා ගත්තේ නිම්නාදි එක්ක.
මගේ උපන් ගම රත්නපුර. අම්මා තාත්තා එක්ක හැදුන මං පවුලෙ එකම කෙල්ල. අම්මා තාත්තා මම, අපි හිටියෙ ගහට පොත්ත වගේ. සතුටින් සමගියෙන් එකට. අගහිඟකම් නොතිබුනා නෙවෙයි. ඒත් තාත්තා ගොවිතැන් කරලා මහන්සි වෙලා මාවයි අම්මවයි බලාගත්තෙ එයාගෙ ඇස් දෙක වගේ පුළුවන් හැම දේම අපි දෙන්නට දීලා. අම්මත් එයාට පුළුවන් හැම විදියකින්ම තාත්තට උදව් කළේ හරිම සතුටින්. මං සාමාන්‍ය පෙළ ලිව්වේ ගමේ ඉස්කෝලෙ. පොඩි කාලෙ ඉදන්ම ඉගෙනීමට දක්ෂයි කියලයි ගුරුවරු වගේම මගේ යහළු යෙහෙළියොත් කිව්වෙ. සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් වෙලා මං ආවේ නගරෙ පාසලට වාණිජ අංශයෙන් උසස් පෙළ කරන්න. දැනුම් තේරුම් ඇති කාලෙක ඉඳලා මගේ ඔලුවෙ තිබ්බෙ හොඳට ඉගෙනගෙන කැම්පස් ගිහින් හොඳ රස්සාවක් කරලා මං වෙනුවෙන් මහන්සි වෙන අම්මාවයි තාත්තාවයි දුකක් කරදරයක් නොදී බලාගන්න එක. ඒත්… මගෙ උසස් පෙළ දෙවනි වසර වෙද්දි මගේ අම්මා ඔත්පල වුනේ අපේ ගෙදර සතුටත් නැති කරගෙන. එදා ඉදල තාත්තා තනියෙන් නොවිඳපු දුකක් නෑ. මගේ අධ්‍යාපන කටයුතුත් එක්ක අම්මට බෙහෙත් කරන්න යන වියදමත් එක්ක අපිට අගහිඟකම් නම් ලොකුවටම නොදැනුනා නෙවෙයි. ඒත් කොහොමහරි විභාගය පාස්වීම මගෙ හිතේ තව තවත් පැළපදියම් වුනේ කොහොමහරි අම්මව සනීප කරගන්න තියෙන උවමනාවටමයි. අවුරුදු දෙක අවසන් වෙලා උසස් පෙළ ප්‍රතිඵල ආවේ මගේ හිතේ වගේම අම්මගෙයි තාත්තාගෙයි හිතේ සතුට දෙගුණ තෙගුණ කරලා. මම උසස් පෙළ ඉතාම ඉහළින් සමත් වෙලා කොළඹ විශ්ව විද්‍යාලයට ආවේ මීට අවුරුද්දකට කලින්. හිතේ දුකකට තිබ්බෙ අම්මාගෙන් තාත්තාගෙන් ඈත් වෙලා මෙහෙම ඉන්න වෙන එකට. අම්මාට සාත්තු කරන කාර්යයත් තාත්තාගෙ කර පිටටම වැටුන එකට මගේ හිතේ තියෙන්නෙ පුදුම අසරණකමක්. ඒත් වචනෙකින්වත් වෙනසක් නොකර තාත්තා අද වෙනතුරුත් අම්මාව ගොඩක් හොඳින් බලාගන්න එක මගේ හිතට සහනයක්.
“පියවි… පියවි…
කොයි ලෝකෙද බං ඉන්නෙ. මං මෙච්චර වෙලා කතා කළා. ඇහුන් නැද්ද?”
“අනේ සොරි කෙල්ල. මට ගෙදර මතක් වුනා.” හිතෙන් ගිය දුරක්. නිම්නා කැම්පස් යන්න ලෑස්තිත් වෙලා. මාත් ඉක්මනට බාත්රූම් එකට රිංග ගත්තේ ඇහැට උනපු කදුළු බිංදුවත් නිම්නාගෙන් හංගගෙන.
“මොනාද බං අර චිකන් වගේ උයල තිබ්බෙ? මං බත් බෙදද්දි කාල බැලුවේ. පට්ට රසයි පියවි. උඹ නම් මගෙ වෙලාවටම දෙයියො දුන්න රූමියෙක්. නැත්තන් මං කොහොමද මේ වගේ කටට රසට රස රස කෑම කන්නෙ. ”
නිම්නා හැමදාම කියන කතාව. ඇත්ත… මට ගොඩක් රහට කෑම හදන්න පුළුවන් කියල ගෙදර ඉන්න කාලෙ අම්මයි තාත්තායිත් කියනවා. මං හිතන්නෙ ඒක මට ලැබුණෙ අම්මාගෙන්. අම්මට ඕනම කෑමක් ගොඩක් රසට හදන්න පුළුවන්. ඒක මං විතරක් නෙවෙයි ගමේ ගොඩක් අය කියන කතාවක්.
“හරි හරි වර්ණනාව නවත්ත ගනින් උඹෙ. මං උඹට හැමදාම කියනවනෙ උයද්දි මට උදව් කරන්න එන්න කියලා. එතකොට පුරුදු වෙනවා. උඹෙ ඉතින් කම්මැලිකමනෙ. මාත් ඉස්සර අම්මා උයද්දි එයාට උදව් කරලා තමා ටික ටික පුරුදු වුනේ.”
“උඹ දන්වනෙ බං මට ඔය උයන සීන් එක හරියට ඔලුවට යන්නෙම නෑනේ. බැද්දොත් කර වෙනවා. හොදි හැදුවොත් වතුර වගේ. එක්කො ලුණු වැඩී. එක්කො ලුණු නෑ. ඊට වඩා හොඳයි දන්න උඹම උයන එක. මං ඉතින් සයිඩ් සපෝට් එක දෙනවනෙ උඹට. අනික බං මං මගේ සත්‍ය ප්‍රේම බෘංග රාජයා බැන්දම…”
“අපෝ ඇති බං නවත්තගනින්. හැමදාම දාන රෙකෝඩ් එකනෙ. ඔක්කොටම කලින් කියපන් ඌ උඹව බඳිනවා තියා ඌ උඹෙ නමවත් දන්නවද කියලා. ඌ දන්නෙත් නෑ. මේකි බැඳලත් ඉවරයි.”
“හරි හරි බං ඉතින්. ඌ මගෙන් අහන්න එපැයි. මට පැනගෙන උගෙන් අහන්න ලැජ්ජයි යකෝ. මං ලැජ්ජා බයට හැදිච්ච කෙල්ලෙක්”
“හා!. මමනෙ දන්නෙ මෙයාගේ ලැජ්ජාව.”
කතාවෙන් කතාව අපි දෙන්නම කැම්පස් එක ඇතුලෙ. කැම්පස් එක ළඟම බෝඩිම තියෙන නිසා අපි දෙන්නා එන්නෙ පයින්. දැන් ඉතින් හවස් වෙනකම්ම ලෙක්චර්ස් ලෙක්චර්ස්!
🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇
ලෙක්චර්ස් ඉවර වෙලා අපි දෙන්නා ආවේ අපේ සුපුරුදු පාර දිගේ. ඈත තියාම මං දැක්කා එයාව බස් හෝල්ට් එකේ යාළුවො ටිකත් වටේට තියන් හිනා වෙවී ඉන්නවා. හිනාව දිහා බලන් හිටපු මාව එක පාරට ගැස්සුනේ නිම්නා වැලමිටෙන් ඇන්න පාරට. රවලා බැලුවේ ඒකි දිහා. ඉන්නවා නෝන්ඩියට හිනා වෙවී. දැන් ඉතින් හරි.
“අන්න ඉන්නවා උඹෙ රොමෑන්ටික් කුරුල්ලා සිරික්කිය දාන්. ෂුවර් එකටම උඹ එනකන් ඉන්න ඇත්තේ.” හරි හිතුව විදියටම නිම්නා මාව බයිට් එකට ගත්තා.
“අනේ පිං සිද්ධ වෙයි නිම්නා. කට පියාගනින්. උඹ දන්නවනෙ මට ඔය කොල්ලො එක්ක ලව් කරනවට වඩා වැඩ තියෙනවා කරන්න. උඹ ඕවා උන්ගෙ කනට ඇහෙන්න එහෙම කියන්න එපා. කට පියන් වරෙන්.”
බස් හෝල්ට් එකට ටික ටික ළං වෙද්දී මං බිම බලාගත්තෙ දැක්කෙ නෑ වගේ යන්න.
“පියවි!” කකුල් දෙක නැවතුනේ ඉබේටම. ඒත් බිම බලන්ම හිටියෙ ඒ මූණ දිහා බලන්න බැරි කමට.
“දැන්ද යන්නේ? අද හවස් වෙනකම් ලෙක්චර්ස් තිබ්බද? මාව දැකල බිම බලාගත්තෙ මොකද බයද මට! ඕකේ ඕකේ. හැමදාම මම විතරනෙ කතා කරන්නේ. එහෙනම් යන්න දැන් පරිස්සමින් යාළුවාත් එක්ක.”
මුකුත් නොකියා අහන් හිටියා හැම වචනයක්ම. වෙනද වගේම. සිහිය එළවගත්ත මුල් තප්පරේම නිම්නාවත් අල්ලගෙන මං දුවගෙන වගේ ආවා.
“මොකද බං මේ මහසෝනා දැකලා වගේ දුවන්නේ. පොඩ්ඩක් ඉඳපන්කො. හිමින් යං. ”
“ඇයි පියවි උඹ සීනියර්ට කැමති නැත්තේ. බලපන් උගෙ කියන්න වරදක් තියෙනවද කියල. ඌ අනික අනිත් උන් වගේ දකින දකින චීත්ත පස්සෙ යන්නෙත් නෑ. උගෙ ලස්සනෙත් අඩුවක් නෑනේ බං. බලපන් මට නම් උඹල දෙන්නා නියම මැචින් කපල් එක👌”
“අනේ නිම්නා ප්ලීස්. මං කැමති නෑ. ”
“උඹ කැමති නෑ නෙවේ උඹ කැමති නෑ වගේ රඟපානවා. ඇත්ත කියපන්. උඹට පොඩි හරි කැමැත්තක් නැද්ද කියපන් විහඟ අයියා ගැන”
“නෑ.” හිතේ කොනක පොඩි ලෙන්ගතුකමක් තිබ්බත් ඒක ආදරයක් නෙවේ කියල මං දන්නවා. ඒත් විහඟ නම්…
දැන් මාස ගානක ඉදන් ඔහොම සැරින් සැරේ කතාවට එන්න හදන්නෙ. දන්නවා; එන්නෙ මොකටද කියල තේරුම් ගන්න බැරි බබෙක් නෙවෙයි මං.
“නෑ කියල මොකද උඹ කල්පනා කරන්නෙ. බලමුකො නංගී මාත් ඉන්නෙ උඹ එක්කනෙ. මුලදී බැරි ඒවා පස්සෙ පුළුවන් වෙනවලු😂”
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කැම්පස් එකේ වැඩත් එක්ක කාලය ඉගිලිලා ගියේ හිතන්නවත් බැරි වේගෙන්. අසයිමන්ට්ස්, ප්‍රැක්ටිකල්, ලෙක්චර්ස් අස්සේ හිර වෙච්ච අපි විවේකයක් ලැබුන ගමන් පොඩි රස්තියාදුවක් දාන්නත් අමතක කලේ නැහැ. යාළුවොත් එක්ක එහෙ මෙහෙ ගිහින් හිත නිදහස් කරගෙන ආයෙ අපි එන්නෙ බෝඩිමට. ඔය අතරේ විහඟ මං යන යන තැන ඇවිත් මොනවාහරි කියල යන්නේ එයාව මට අමතක වෙයි කියලා බයට වගේ. ඒත් දැන් මං එයාට දුටු තැන හිනාවකින් සංග්‍රහ කරන්න පුරුදු වෙලා හිටියෙ විහඟ කියන්නෙ හොඳ කොල්ලෙක් කියල මටත් තේරුම් ගිය නිසා. දැක්ක තැන මාව නතර කරන් එක දිගට කියවන එයාට ගොඩක් වෙලාවට මං උත්තර දුන්නෙ වචනයෙන් දෙකෙන්. ඒකත් බිම බලාගෙන. ඒ දුඹුරු ඇස් දිහා කෙලින් බලන්න බැරි කමට.
ඔය ඔක්කොම වැඩ අතරේ ගෙදරට කෝල් කරල අම්මගෙයි තාත්තගෙයි දුක සැප අහන්න මං අමතක කරන් නෑ. හැමදාම පොඩි හරි වෙලාවක් කෝල් කරන්නේ එයාලත් මගේ කෝල් එක එනකම් බලන් ඉන්න නිසා. පව්! තව අවුරුදු දෙකයිනෙ මෙහෙම. ඊට පස්සෙ මට ආයිත් එයාලා එක්කම ඉන්න පුළුවන්. අම්මාව කොහොමහරි හොඳ කරගන්න බලන්න ඕන. දැනට සිංහල බෙහෙත් කරන්නේ. ටික ටික සුවයක් දැනෙනවා කියල අම්මා කිව්වත් මට ඕන ආය අම්මා පරණ විදියටම ඉන්නව දකින්න.
“පියවි පැටියෝ…” නිම්නා නැගිටලා.
” යාන්තම් අද කලින් නැගිටල එක්කෙනෙක්”
“අද ඉතින් එක්සෑම් ලාස්ට් ඩේ එකනෙ. ඊට පස්සෙ සෙකන්ඩ් ඉයර් එකත් ඩන් ඇන්ඩ් ඩස්ටඩ්!”
“ඩන් ඇන්ඩ් ඩස්ටඩ් වෙන්නෙ පාස් උනොත්නෙ. නැත්තං ආයි රිපීට්😂”
“උඹ නම් ඉතින් ආය රිපීට් වෙන් නෑනේ.උඹ රිපීට් උනොත් අපිට දෙයියන්ගෙම පිහිට තමා🙄!”
“කට පියන් ලෑස්ති වෙයන් බං. මං උයල ඉවරයි. උඹ වොෂ් කරන් එනවද මං යන්නද?”
“ආහ් උඹ පලයන්. මං ඇඳුම් අයන් කරල බත් එක බඳින්නම්. ”
“හෙලෝ විහඟ අයියා”
“……………………”
“ඔව් අයියා අද ලාස්ට් ඩේ”
“…………………..”
“අහ් හරි මං කොහොමහරි එක්කන් එන්නම්”
“…………………..”
“බායි”
👦👦👦👦👦👦👦👦👦👦👦👦👦👦👦👦👦👦
“කවුද කතා කළේ”
“අහ් පියවි චතුරි කෝල් කළේ. උඹ අදම ගමේ යන් නෑනේ නේද. අද සෙට් එකම ගෝල් ෆේස් යන්ලු එක්සෑම් ඉවර වෙලා. මං හා කිව්වා. උඹ එනවනෙ”
“යමන් යමන් උඹව තනියෙන් ඇරලා මොනවාහරි උනොත් ආන්ටි හොයන් එයි මාව!” මං හිනාවෙලා කිව්වෙ නිම්නව පොඩ්ඩක් අවුසන්නත් එක්ක.
“මට මොනව වෙන්න ද? මට බය උඹ මේක අස්සේ තනියෙන් ඉඳලා විහඟ අයියා එහෙම ඇවිත්… නෑ මං කිව්වෙ එනවට නෙවේ ආවොත් එහෙම… ගින්දරයි පුළුනුයි ළං කරාම ඇවිලෙනවලුනෙ!😂”
“මං උඹට කිව්ව කියලා හිතාගනින්😑”
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
සෙකන්ඩ් ඉයර් එන්ඩ් එකත් ඉවරයි. අදින් පස්සෙ වැකේෂන්. අම්මයි තාත්තයි දැන් මග බලන් ඉන්නෙ මං එනකන්. උදෙත් කෝල් කරලා විභාගය හොඳට ලියන්න කියලා අනිත් පැත්තට තාත්තා ඇහුවෙ ගෙදර එන්නෙ කවද්ද කියලා.
“යමු” නිම්නා ආවේ එහෙම කියාගෙන. කොල්ලො කෙල්ලො සෙට් එකත් එක්ක බස් එකට නැග්ගේ ගෝල් ෆේස් යන්න.
හවස් වරුව නිසා බැහැගෙන යන ඉර එළිය වැටිලා හරි ලස්සනට අහස පේනවා. ඈත ක්ෂිතිජයේ කහ පාටට ඉර ගිලෙන්න ඔන්න මෙන්න. වඩේ කරත්ත, කඩල කරත්ත, බැලුම් විකුණන අය, සරුංගල් විකුණන අය තව එකී මෙකී නොකී දෑ විකුණන අය ගෝල් ෆේස් පිට්ටනියේ මේ වෙලාවට සුලබ දර්ශනයක්. කට්ටියත් එක්ක ඇවිත් බිමින්ම ඉඳගත්තේ අහිංසක කපල් වලට ඉඳගන්න තියෙන බෙන්ච්වල අපි ඉඳගෙන වදයක් වෙන එක හොඳ නැති නිසා. පැතුමුයි අවිශ්කයි ආපු පයින්ම ගියේ ඉස්සො වඩේ ගේන්න. ගෝල් ෆේස් ඇවිත් ඉස්සො වඩේ කෑම සම්ප්‍රදායක්ලුනෙ. අපිත් ඉතින් ඒ සම්ප්‍රදාය ඒ විදියටම ඉෂ්ට කරන්න නම් පොඩ්ඩක්වත් කම්මැලි නැත්තේ අපේ උන්ට ‘කැ’ කිව්වත් ඇති නිසා. හිතෙන්ම හැම දෙයක්ම හිත හිත වට පිට බල බල හිටපු මගේ මූණේ හිනාවක් ඇඳෙන්න ඇති.
“මොකද බං පියවි තනියෙන් හිනා වෙන්නෙ” ඒ අශාන්.
“අහ් පියවි වටෙ ඉන්න කපල් ටික දැක්කම උඹට සීනියර් මතක් වුනාද” ඒ සිතුමි.
මං රවල බැලුවේ නිම්නා දිහා. මුකුත් දන්නෑ වගේ වඩේ කනවා. මේකි වටේටම පතුරලා.
“අනේ මේ මං බලපු කපල් එකක් නෑ. අනික මට මතක් වෙච්ච සීනියර් කෙනෙකුත් නෑ. මන් මේ කල්පනා කළේ උඹලටත් ‘කැ’ කිව්වත් ඇති කට ඇරන් ඉන්නෙ. බලපන් ඉඳගත්තා විතරයි බලද්දි වඩේ කරත්තෙ ගාව. ”
“එහෙම තමා සිස් සල්ලි තිබ්බා නම් අපි වඩේ කරත්ත පිටිපස්සෙ දුවන් නෑ. කෙලින්ම එහා පැත්තේ හොටෙල් එකක් අල්ලන්නෙ!”
සංජනගේ කතාවට හැමෝම හිනාවෙවී බැලුවේ පොඩි උන් ටිකක් සරුංගල් අරින දිහා.
කොල්ලො ටිකත් පොඩි වුන්ට එකතු වුනේ කෙල්ලො ටිකත් ඇදගෙන. මායි නිම්නායි ඉතුරු වුනේ වෙන මොකටවත් නෙවේ ඉතුරු වුන වඩේ ටික කන්න!
“පියවි” නිම්නා කතා කළේ වෙනදා වගේ නෙවේ. සීරියස් දෙයක් කියන්නයි ලෑස්තිය. බිම තිබ්බ මගේ අත උඩින් අතත් තියල බැලුවේ මං දිහා.
“විහඟ අයියා ඇවිත් ඉන්නෙ. උඹව අද මෙහෙට එක්කන් එන්න කිව්වෙත් එයා. ඌ උඹට ආදරෙයි බං. උගෙ හිත රිද්දන්න එපා. ඌ උඹට පණ ඇරලා. නැත්තන් මේ මාස ගානක් උඹෙ පස්සෙ වැටීගෙන ඉන්නෙ නෑනේ. එයත් එක්ක කතා කරපන්. හැමදාම මග ඇරල හරියන් නෑ. ”
එහෙම කියල නිම්නා කෝල් එකක් ගත්තේ විහඟට. පාර කිට්ටුව ඉඳලා අතත් වනාගෙන එනව දැක්කා මං. නැගිටල දුවන්නද? දැන් යන්න තැනක් නෑ. අද කතා කරන්නම වෙනවා. නිම්නා නැගිටලා ගියේ අපේ සෙට් එක ගාවට.
මං ඔහේ මුහුද දිහා බලන් හිටියා. කන ළඟින්ම ඇහුනා ආදරණීය කටහඬක්.
“පියවි…” කවුද කියල දන්නවා මං. තවමත් මට ඒ මූණ දිහා බලන්න බැහැ. හිරිවට්ටන දුඹුරු ඇස් අද වෙනදටත් වඩා ළඟින්. හුළඟට යන කෙස් රොදක් කන පිටිපස්සෙ සඟවමින් මං තවමත් හිටියෙ ඈත මුහුද දිහා බලන්.
“පියවි කතා කරන්නකො.”
හැමදාම කියන දේ. මං හැමදාම නොකරනම දේ. ඒකයි මට හිනා ගියේ ලාවට.
“හිනා වෙද්දී ලස්සනයි” ඒ පාර නම් බැලුවා නෙවේ බැලුනා මට. එයත් මූණෙ හිනාවක් තියන් බලන් ඉන්නවා.
“ඇස් ලොකු කරන් බලන්න එපා හලෝ. මං නරක දෙයක් ද කිව්වෙ!”
මං මුකුත් නොකියා ඉස්සරහ බලාගත්තා.
“පියවි මං ආදරෙයි. ” මගේ අත උඩින් අත තියලා එහෙම කියද්දී නම් මට ආයෙත් නොබල ඉන්න බැරි වුනා ඒ මූණ දිහා. හිතුවෙ නැහැ ඒ වගේ දෙයක් එක පාරටම කියයි කියලා. ඒකයි බය වෙලා වගේ බැලුවේ.
“ඔහොම බලන්න එපා හලෝ. ” ආයෙත් හිනා වෙවී එයාම කියනවා. ඇත්තට ඒ හිනාවට එයාගේ මූණම එළිය වෙලා. ඇස් දෙකත් හීනි කරන් මං දිහා බලන් හිනා වෙනවා. ඇත්තටම ඒ ඇස් දෙකත් ලස්සනයිනෙ. දුඹුරු පාට ඇස් දෙක එයාට ගෙනල්ලා තියෙන්නෙ අමුතු ලුක් එකක්. ගානට කපපු රැවුලත් කොන්ඩෙත් ඇත්තටම විහඟට ගෙනාවේ අමුතු ලස්සනක්. මට මොකද මේ වෙලා තියෙන්නෙ. මෙච්චර දවසක් මට මේකාගෙ ඇහෙයි කටෙයි රැවුලෙයි ලස්සනක් පෙනුන් නෑනේ. පේන්න ඉතින් බලන්න එපැයි!
“හේයි මැඩම්” විහඟ කතා කළේ මූණ ළඟටම ඇවිත්.
“මොකද මාව කන්න වගේ බලන්නේ” විහඟ අහන්නෙ ලාවට මගේ නහයත් මිරිකලා.
මේ යකා මොනාද මේ කරන්නේ. මට ඉබේටම බැලුනෙ අපේ සෙට් එක දිහා. හරි! හරියටම හරි! උන්ට මෙතන ටිකට් නැතුව ෆ්රී ෂෝ. දැන් ඉතින් මං ඉවරයි. ඉවරෙටම ඉවරයි. නිම්නා මෙලහට මගේ ළමයිනුත් නළවනවා ඇති හිතින්.
“අහක බලාගනින්කො බං පව් නොදී. නිදහසේ ලව් කරන්නවත් නෑ” විහඟ කෑගහලා කිව්වෙ අපේ සෙට් එකට. මං නැගිට්ටේ යන්න. තවත් එතන ඉන්න බෑ වගේ.
“කොහෙද දුවන්නේ. මං තාම කතා කරල ඉවර නෑ.” අතින් ඇද්ද පාර ආය බිමටම ඉන්දවුනා.
“මං ආදරෙයි කිව්වට මට ආදරෙයි කිව්වෙ නෑනේ නෙහ්. ඕකේ ඕකේ ඔයා මට කැමතිද නැද්ද කියල මුලින් කියන්නකො. පස්සෙ බැරියැ ආදරේ කරන්න.” මගේ මූණ දිහාම බලන් ඉන්නවා.
“ම…ම… මට යන්න ඕනෙ.”
“හරි හරි යන්න දෙනවා ප්‍රශ්නෙට උත්තරයක් දුන්නොත්. නැත්තන් අද රෑ වෙනකම් මෙහෙම තමා” එහෙම කියලා මගේ අත බලෙන්ම වගේ අල්ලගත්තා.
“මං හිතල කියන්නම්. දැන් මං යන්න ඕන. ” බයෙන් වගේ කිව්වෙ මං.
“ඕකේ ඕකේ එහෙනම් ඔන්න හිතලා කියන්නකො. වැකේෂන් ඉවර වෙද්දී මට මං ආස විදියෙ උත්තරයක් හම්බෙයි කියල හිතනව. ”
සද්දයක් නෑ. මං බැලුවේ දැන්වත් මට යන්න පුළුවන් ද කියලා.
“පියවි… මං තමුසෙට ආදරෙයි හලෝ. ලස්සනට කියන්න තේරෙන්නෙ නෑ. ඒත් මං ගොඩක් ආදරෙයි. ප්‍රශ්නයක් තියෙනව නම් කියන්න. ඔයා මට උත්තරයක් දෙන් නැත්තේ හිතේ මොකක් හරි ප්‍රශ්නයක් නම් කියන්න මට. විසඳගන්න මාත් උදව් කරන්නම්. වැකේෂන් ඉවර වෙද්දී දුක හිතෙන උත්තරයක් ගේන්න නම් එපා මට ප්ලීස්.”
අත ලිහිල් වුන තත්පරෙන් මං දිව්වේ නිම්නා ගාවට.
🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊🌊
“මිස්… වසන්තා බේකරියේ උදේ ෂෝටීස් ටික හරි. ලොරිය යවන්න ද?” අතීත මතකයන්ගෙන් මිදුනෙ එක පාරට ඇහුන නාදන්ගෙ කට හඬට.
“හරි නාදන්.”
එදා විහඟව දකින අන්තිම දවස වගේම මං කැම්පස් ගිය අන්තිම දවසත් එදා කියල හීනෙකින්වත් හිතපු දෙයක් නෙවේ. එදා ගෝල් ෆේස් ගිහින් ඇවිත් පහුවදා ගමේ යන්න ලෑස්ති වුනේ හිතේ පුදුමාකාර සතුටකින්. අම්මා තාත්තා මතක් වෙද්දී සතුටුයි. ඒ වගේම විහඟගේ ආදර යෝජනාවත් අම්මට කියන්න බලාගෙනයි එදා මං ගමට ආවේ. හරි හමන් උත්තරයක් හිතා ගන්න බැරි වුනත් විහඟ මගේ හිතේ ඉන්නවා කියලා මට තේරුනා. අම්මාටයි තාත්තාටයි කියලා විහඟට උත්තරයක් දෙන්නයි මං හිතාගෙන හිටියෙ. නිම්නා ගාල්ලට යන්න හයි වේ බස් එකට නගින්න මහරගමින් බැස්සට පස්සෙ මං රත්නපුරයට වෙනකම් තනියෙන් එන්නෙ. එදා ගෙදර ඇවිත් අම්මලා එක්ක හිතේ නිදහසින් හිටියෙ පහුවදාට විහඟ ගැන කියන්නයි.
ඒත්…
එදා රෑ මහතුන් මාමා ගෙදරට දුවන් ආවේ මගේ ජීවිතය කනපිට පෙරළන පණිවිඩයක් අරන් කියල මං කීයටවත් හිතුවෙ නැහැ.
” පාලිත අයියට නයා ගහල!” තාත්තා හේනට ගියවෙලේ තාත්තාට නයෙක් දශ්ඨ කරලා. අම්මා ඇඳේ ඉඳන් මහ හයියෙන් කෑ ගැහුවා. මං කෙලින්ම දිව්වේ පාරට. සිරිදාස මාමයි විශ්ව අයියයි තාත්තාව ත්‍රී වීල් එකට දාගත්තා. මං කෑ ගහගෙන ගියේ තාත්තා මෙහෙම ඉන්නව මට උහුලන්න බැරි තැන.
“ටිකක් කලින් ගෙනාවා නම්…
ගෙනෙද්දීම විස උඩු දුවලා. ”
ඒක ඇහුන විතරයි මට මුළු වටපිටාව ම නිලංකාර වුනා මතකයි.
තාත්තා එදා අපිව දාලා ගියා සදහටම. පොඩි කාලෙ ඉදන් ම පුළුවන් හැමදේම මට දීලා ගමේ ඉස්කෝලෙන් ටවුන් එකේ බාලිකාවට දැම්මේ උඹ හොඳට ඉගෙනගන්න ඕනෙ කියලා. කැම්පස් යැව්වේ ලොකු නෝනා කෙනෙක් වෙයන් කියලා. ඒත් තාත්තා නැති අපට කවුද හව්හරණක් වෙන්නේ. කවුද අම්මව බලාගන්නේ. ඒකයි මං ඔක්කොම හීන අමතක කරලා කැම්පස් ජීවිතයට සමු දුන්නේ. දැන් අම්මා විතරයි ඉන්නෙ මට. එයාව තනි කරන්න බැහැ. මළගෙදර යාළුවො කාටවත් කිව්වෙ නැහැ මං. නිම්නා… මගේ සහෝදරිය… එයාට විතරයි දැන්නුවෙ මළගෙදර. කැම්පස් යන එක නතර කරනව කිව්වම වැඩියෙන් දුක් වුනේ එයා. අවුරුදු දෙකක් ජීවිතය බෙදා ගත්ත ආදරණීය යෙහෙළිය. ඒත් ගන්න වෙන හොඳ විසඳුමක් මට තිබ්බෙ නැහැ. ඒකයි හිත හයිය කරන් මේ තීරණය ගත්තේ.
විහඟ…
ඔව් මං විහඟට ආදරය කලා. ඒත් ඒක කියාගන්න බැරි වුනා. නිම්නාට නොවඳිනා වැඳුම් වැන්දේ විහඟට මේ දේවල් නොකියන්න. එයා දැන් උපාධිධාරියෙක්. මං වගේ උපාධිය අතරමග නතර වුනු හෙටක් නැති කෙල්ලක් එයාගේ ජීවන සහකාරිය විය යුතු නැහැ. ඒකයි ඒ වගේ තීරණයක් ගත්තේ මං. තාත්තාගේ මරණයත් එක්ක සුව අතට හැරෙමින් හිටිය අම්මා අයෙත් ලෙඩ වුනා. අම්මට මුකුත් කරකියාගන්න බැරුව හීල්ලුවෙ අඬන්න කඳුළුත් නැතිම කොට.
ජීවිතයට මුහුණ දෙන්න ඕන. හිතාගත්තා මොනවමහරි කරන්න ඕන මගේ දෙයක් කියලා. ඒකයි මුලින් පොඩියට අම්මගෙ උපදෙස් අරන් කඩයප්පන් ටිකක් හදල විකුණුවේ. ටවුමෙ කඩවලටත් ටික ටික දාල හුරු කරගත්තා. මන් කෑම හැදුවෙ අලුත්ම රෙසිපි වලට; පිරිසිදුවට; පිළිවෙළට. ඕනම කෑමක් හදන්න පුළුවන් දැනුම අම්මාට තිබ්බ නිසා විවිධ ආහාර කඩවලට දාලා අපිටම කියලා ගනුදෙනුකරුවන් පිරිසක් ඉතා ඉක්මනින් හොයාගන්න අමාරු වුනේ නැහැ. ඉල්ලුම ටික ටික වැඩි වෙද්දී මං එකතු කර ගත්ත සුළු මුදලින් කඩ කාමරයක් කුලියට ගත්තේ අම්මගෙ හිතේ නැවතත් සතුට දළුලාද්දි. ටවුමෙම කඩ කාමරයක් කුලියට ගත්ත මං තවත් සේවිකාවන් දෙදෙනෙක් උදව්වට ගත්තේ දැන් දැන් ව්‍යාපාරය පෙරට වඩා පුළුල් නිසා. ව්‍යාපාරයක් කරගෙන යාම පිළිබඳ මට යම්තාක් දැනුමක් තිබුන නිසා හිතුවට වඩා ඉක්මනින් මට සාර්ථක වෙන්න පුළුවන් වුනා. ඒ අතරතුරේ ටවුමට නුදුරින් ඉඩම් කෑල්ලක් ගත්ත මං පියවි කේටරින් සර්විස් සහ රෙස්ටුරන්ට් නමින් ව්‍යාපාරය වැඩි දියුණු කළේ අම්මාගෙ වගේම තාත්තාගෙත් ආදරණීය ආශිර්වාදයත් එක්ක කියලයි මං හිතන්නෙ. අම්මටත් දිගින් දිගටම බෙහෙත් කරමින් සාත්තු කිරීම නොවරවා කළ නිසා අම්මා දැන් දැන් නැවත වැඩ කරන්න පටන් අරන්. වැඩ නොකලත් ඇය එහෙම ඉන්න එකත් මට පුදුමාකාර නිවනක්; සතුටක්. ඉතින් අද වන විට කේටරින් සර්විස් සඳහා වෙනම කාර්යය මඩුල්ලකුත් ආපන ශාලාව සඳහා වෙනම කාර්යය මඩුල්ලකුත් සිටිම මගේ දියුණුව ගැන මටම මතක් කරනවා.
වෙල්යාය අයිනට වෙන්නට තියෙන ටේබල් එකේ ඉදගෙන මං මතක් කළේ මෙතෙක් ආපු ගමන් මග. දුකට කළකිරීමට තනි වීමට ජීවිතය කඩා වැටීමට අභියෝග කරමින් මං මේ අවුරුදු තුනට ජීවිතය මේ තරමින් හරි ජය ගත්ත එකට මට තියෙන්නෙ අහිංසක සතුටක්.
“මිතුරෙකු වාගේ ආදරේ…
තවකෙකු දේ දෝ සංසාරේ…
ළං වෙලා… හිත් හදනා…”
“හෙලෝ නිම්නා”
ඔව්… නිම්නා
අදටත් මගේ හොඳම යෙහෙළිය. දැන් බැංකු කළමණාකාරිනියක්. පිස්සු කෝලම.
“හරි හරි බං මං එනවා. මං නැතුව කොහෙද උඹ වෙඩින් ගන්නෙ. සැරින් සැරේ අහන්න එපා බං මට අමතක නෑ. මායි අම්මයි දෙන්නම එනවා.”
“………………….”
“හරි හරි කලින් දවසේ එන්නම්. උඹේ හනිමූන් ඇඳුම් ටික පැක් කරන්නත් එපැයි😂”
“හරි බායි පැටියෝ”
ඔව්…
එයාගේ වෙඩින් එක.
සත්‍ය ප්‍රේම බෘංග රාජයා එක්ක.😂
මන් නැති අවුරුදු දෙකේ මේකි හැට හතර මායම් ඔක්කොම දාලා කොල්ලව අල්ලගෙන! පව් අහිංසකයා😂.
💍💍💍💍💍💍💍💍💍💍💍💍💍💍💍💍💍💍
“අම්මා… අම්මා…
මං අදම යනවා නිම්නාගෙ ගෙදර. අම්මා හෙට උදේ එකොළහ වෙද්දී හොටෙල් එකට එන්න. මං සිරිල් අන්කල්ට කිව්වා අම්මා එක්ක කා එකේ එන්න කියලා. මං බස් එකේ යන්නම්. ”
“ඉතින් පුතේ ඔයා යන්න වාහනේ. මං බස් එකේ එන්නම්.”
“අනේ අම්මා මේ පිස්සු ද? අම්මාට සනීපත් නෑ තාම හරියට. අනික වෙඩින් එකට ලෑස්ති වෙලා බස්වල එන්න පුළුවන් ද අම්මා. අනික හුඟ දවසකින් බස් එකේ ගියෙත් නෑනේ . බස් එකේ යන්නේ මං ආස නිසා. මං යනවා අම්මා. ”
අම්මටත් වැඳල එළියට ආවේ ගාල්ලේ යන්න. හෙට නිම්නාගෙ වෙඩින් එක.
💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃💃
භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ බුද්ධානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ ධම්මානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ සංඝානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
අෂ්ඨක කියපු මාමා අන්තිමට දෙන්නටම ආශිර්වාද කළේ භවතු සබ්බ මංගලන් ගාථාවත් කියලා. පෝරුවේ වැඩ කටයුතු අවසන් වෙලා ජෝඩුව සෙටි බැක් එකට ගියේ ඇවිදින් හිටිය සියලු දෙනාමත් සතුටු සාමීචියේ යෙදෙන අතරෙමයි. මාත් අම්මා එක්ක අයිනේ මේසෙකින් ඉඳගත්තේ නිම්නාගෙ සුන්දරත්වය හදවතින් මම විඳගනිමින්. කොහොම හිටපු පිස්සු කෝච්චියක් ද? අද ලස්සනට හැඩ වෙලා සුපුන් අයියගෙ අතේ එල්ලිලා ඉන්නෙ පොඩි එකෙක් ගානට. මාව ගැස්සුනෙ එක පාරට අතට සීතල ස්පර්ශයක් දැනුන නිසා. අම්මා මං දිහා කදුළු පුරවන් බලන් ඉන්නවා.
“අම්මා ඇයි මේ…” මං ආපිට ඇහුවෙ භය වෙලා. ආයෙමත් අසනීප වෙලා ද කියලා.
“දුව… ඔයාත් කැම්පස් ගියා නම් අද උපාධියත් අරන් අර ළමයාව කසාද බැඳලා. අපේ පව්කාරකමට උඹටයි පුතේ වන්දි ගෙවන්න වුනේ. ඔයාගේ හීන අපිමයි බිඳලා දැම්මේ.”
අම්මා ඇස් දෙකේ කදුළු පුරවන් කිව්වෙ ඒක.
“අම්මා… පිස්සු ද අම්මා. කවුද පව්කාර? අම්මායි තාත්තායි තමා මට වටිනම දෙන්නා. උපාධියට වඩා මට ඔය දෙන්නා වටිනවා අම්මා. තාත්තා අපි එක්ක නැති වුනත් එයා තාම මං ළඟ ඉන්නවා අම්මා. මගේ හිතේ ඉන්නවා. අනික මං හීන නැති කරගත්තෙ නෑනේ. මං මහන්සි වෙලා මගේම බිස්නස් එකක් පටන් ගත්තානෙ. මං තව මහන්සි වෙලා ඒක දියුණු කර ගන්නවා අම්මා. ඉතින් මට ඩිග්රිය නැති වුනාට හීන නැති වුනේ නෑ හොඳ ද? දැන් හිනා වෙලා ඉන්න. මෙතන අඬන තැනක් නෙමෙයිනෙ.”
මං හිනාවෙලා අම්මට කිව්වෙ එයාගෙ අතත් අල්ලගෙන.
තාමත් සෙනඟ ටික ටික එනවා. පෝරුවේ චාරිත්‍ර වල දී නෑදෑයො තමා ගොඩක් හිටියෙ. දැන් තමා කැම්පස් එකේ යාළුවොත් එකා දෙන්නා එන්නෙ. එක පාරට මේන් ඩෝ එක පැත්තට ඇහැ ගියේ නොදැනුවත්ව. ෆුල් බ්ලැක් සූට් එකක් ඇඳල රැවුල ගානට කපලා කොන්ඩෙ ලස්සනට හදලා ආවෙ වෙන කවුරුත් නෙවේ. විහඟ…
ඔව් මං බලන් හිටියා විනාඩි කීපයක්… අවුරුදු තුනකට පස්සෙ. තවත් ලස්සන වෙලා. ඉස්සර තිබ්බ කඩවසම් බවට දැන් වැදගත්කමක් එකතු වෙලා. ඉස්සර තිබ්බ කෙළිලොල් ගතිය නෙවෙයි දැන් තියෙන්නෙ. එහෙම්පිටින්ම බිස්නස්මන් කෙනෙක්. ඇඩ්වර්ටයිසින් ෆර්ම් එකක ඕනර් කෙනෙක් දැන්. ඒ වැදගත්කම මුසු වුන සංවරකම විහඟට ගැළපෙනවා. කෙළින්ම ගියේ නිම්නලා දිහාවට. කතාබහ කරලා හැරුනෙ ඉදගන්න තැනක් හොයන්න වෙන්න ඇති. අම්මා නිම්නාගෙ අම්මා එක්ක ගියේ මොකක්ද වැඩක් තියෙනවා කියලා. මං විතරයි ටේබල් එකේ. මාත් හෝල් එක වටේ ඇස් යැව්වේ වෙන මේසයක් නැද්ද බලන්න. නැහැ. මේකට තමා එන්නෙ. ඒකයි මං නැගිටල දුවගෙන වගේ එළියට ආවේ කවුරුත් දකින්න කලින්. මුහුදු වෙරළ අයිනෙ තියෙන ලස්සන හොටෙල් එකක්. මං ටිකක් මුහුද පැත්තට ඇවිදින් ගියේ හිත ටිකක් සන්සුන් කර ගන්න. අවුරුදු තුනකට පස්සෙ ඒ රූපෙ දැක්කෙ. ඒකයි මෙච්චර කලබල. හොටෙල් එක මායිමේම තිබ්බ බෙන්ච් එකෙන් ඉඳගත්තෙ මුහුද දිහා බලාගෙනමයි. විහඟව හම්බ වුන අන්තිම දවස මතක් වුනා නිකමට.
“තව කොච්චර හැංගි හැංගි දුවන්නද කල්පනාව”
අතීත මතකයන්ගෙන් මිදුනේ ඒ ආදරණීය කටහඬට.
ඔව්..
අදටත් අඳුර ගන්න අපහසු නෑ.
මං හැරිලා බැලුවා. අත් දෙකත් පපුවට බැඳගෙන බලන් ඉන්නවා මගේ දිහා. නැගිටුනේ ඉබේටම මට.
ඒ සැනෙකෙන් එයා ඇවිත් බෙන්ච් එකෙ වාඩි වෙලා අතින් සන් කළේ මට ඉඳගන්න. නෑ. මට ඉදගන්න තරම් සිහියක් නෑ. ඔහේ බලන් හිටියා.
“ඇස් ලොකු කරන් ඔහොම බලන්න එපා හලෝ. ඉඳගන්නවකො. ” ඒ පාර නම් මට හිනාවකුත් ගියේ එයා ඉස්සර ඉඳන්ම කියන කතාවට.
“ඇස් ලොකු කරන් බලන්න එපා හලෝ! ”
ඇත්ත. ඉස්සරත් එයා කතා කරද්දී මං කලබල වෙනවා. එතකොට මගේ ඇස් දෙක ලොකු වෙනවා ඇති. ඒකට ඉතින් මං මොකක් කරන්න ද!
“හැමදේම මට නිම්නා කිව්වා පියවි. හැබැයි පස්සෙ. ඔයා කැම්පස් එන්නැද්ද කියලා ඇහුවත් නිම්න කිව්වෙ දන්නෙ නෑ කියලා. මං ගෙයක් දොරක් දන්නෙත් නෑ රත්නපුරේ කිව්වාට. නිම්නගෙන් කොච්චර ඇහුවත් කිව්වෙ නෑ. මට පිස්සු හැදුන් නැති එක විතරයි. මං නිම්නාට සමහර දාට බැනලත් තියෙනවා. ඒත් කිව්වෙ නෑනේ”
අහන් හිටියා. කියපු ඔක්කොම.
“තමුසෙව මතක් වෙද්දී වෙන කෙල්ලො දිහා බැලෙන්නෙත් නෑ. බිව්වා වැටෙනකන් තමුසෙව මතක් වෙන මතක් වෙන සැරේට. ඒ පාර සුපුනා මට පොරොන්දු වුනා නිම්නාගෙන් අහලා ඔයාව මට කොහොමහරි මීට් කරවනවා කියලා. ඊටපස්සෙයි පාඩම් කළේ මං ෆයිනල් එකට. අද මං ආවේ ඔයාව බලන්නමයි පියවි. කතා කරන්නකො. ”
හිනා ගියා මට අදත් ලාවට. එදා වගේමයි. එයා හැමදාම කියන දේ. මං නොකරනම දේ.
මුහුද දිහා බලන් හිටපු මං එක පාරට ගැස්සිලා බැලුවේ ඒ සීතල අතේ ස්පර්ශය මගේ අතට දැනුන නිසා.
“ඉතින්”
“වැකේෂන් ඉවර වෙලා දෙනව කිව්ව උත්තරය අද අවුරුදු තුනකට පස්සෙත් මං අහනව පියවි. ”
“මට ආදරෙයි නේද?”
“ඕකේ ඕකේ ආදරය නම් පස්සෙ කරන්න බැරියැ. මට කැමතිද කියනවකො.”
හිනාවකින් මූණත් පුරවාගෙන එදා වගේම අදත් අහනවා.
මගෙ කඳුළු උනපු දෑසින් මං බැලුවේ විහඟගෙ ඇස් දෙක දිහා. ආදරය නමින් හැඟීම් ගොන්නක් පිරුණු ඒ දුඹුරු ඇස් දෙක එදා වගේම අදටත් මාව හිරිවට්ටනවා.
“ආදරෙයි විහඟ…මහ හුඟක්” ඔව්… මං කිව්වා. ඒ විසල් පපුතුරෙ සැගවෙමින්. ❤
෴සමාප්තයි෴
Leave a Comment