මතකයි පුතේ පණ හා සම නුඹෙ අම්මා
නුඹ පොඩි වයසෙදිම සුරලොව සොයා ගියා
වාවාගත නොහැකි ශෝකය නැත නිම්මා
නුඹ හා තනි වීය මේ ලොව අසරණ මා
කිරි ඉල්ලලා හැඬුවා නුඹ හැමදාක
මා සිත එවිට පිරිලා ඉතිරිණි ශෝක
පියෙකුට මවක් වන්නට බැහැ කිසිදාක
එබැවින් පුතේ මා විය කරදර ගොඩක
දිනයෙන් දිනය නුඹ වෙනුවෙන් වෙහෙසීලා
අත දී නුඹට නිසි ලෙස පාසල් යවලා
මගෙ කෙස් පැහෙන විට කාලය ගතවීලා
නුඹ උස් මහත් වී අද උගතෙකු වීලා
නුඹ යන විටදි ටයි පටියක් ගෙල රන්දා
නුඹ ගැන තුටු කඳුළු මා නෙත් අග රන්දා
නොකියමි පුතේ මා විඳි දුක් නුඹ හන්දා
මට එය සැනසුමකි නුඹ මා පුතු හින්දා
පැතුවේ පුතේ සැමදා නුඹ ළඟ ඉන්න
දෛවය වෙනස් විය බැහැ මට අදහන්න
නෑලු වෙලාවක් මා සමඟම ඉන්න
දැනුණා මට වගක් නුඹ මා මඟ හරින
දවසක් උදෑසන නුඹ මා ඇමතූවා
වැඩිදුර ඉගෙනුමට රට යන බව කීවා
ඒ වෙනුවෙන් මුදල් ඕනෑ බව දන්වා
විකුණමු ගෙය අප්පච්චි නුඹ මාගෙන් ඇසුවා
පැතුවේ පුතේ සැමදා නුඹගේ සතුට
එබැවින් අවසරය දුන්නෙමි පුත නුඹට
එනමුදු පුතේ පැනයක් නැගුණා සිතට
නුඹ ගිය පසුව මා යා යුත්තේ කොහෙට
මා දන්නා තැනකි එය වැඩිහිටියන්ට
වෙන්වූ නිවසක්ය මා බැලුවා ඔබට
ඔබ වැනි තවත් අය එහි ඇත පාළුවට
කෙලෙසද එලෙස කීවේ මා ඉදිරිපිට
මහමෙර තරම් දැනුණේ දරු සෙනෙහෙ නිසා
විකුණුව නිවස මා නුඹගේ කීම අසා
නුඹ රට යන්න පෙර මා ගෙනවිත් මෙලෙසා
තනිකර ගියා මේ තුළ වැඩිහිටි නිවෙසා
මතකද පුතේ යන්නට පෙර වැඳ වැටිලා
සත් වසරකින් එන බව කීවා පෙරලා
ඉන්පසු යළිත් මා සමඟින් එක් වීලා
නිවසක් තනමු කීවා කඳුලැල් සලලා
දස වසරකුත් ගත වී ඇත කල් ගෙවිලා
නෙත් රිදෙනවා නුඹ එනතුරු මඟ බලලා
කවදද පුතේ නුඹ ඉගෙනුම නිම කරලා
එන්නේ මාව ගෙනයන්නට යළි දුවලා
නුඹ මැණිකක් ය මට මා දිවි එළිය කළේ
නුඹෙ අප්පච්චි නුඹ වෙනුවෙන්මයි නොමළේ
මම පිළිනොගමි මා රැවටීමක්ද කළේ
අදහාගත නොහැක නුඹ බොරුවක්ද කළේ
තවමත් මගේ සිත නුඹ ගැන විමසනවා
සිහිනෙන් යළි යළිත් මට නුඹ සිහිවෙනවා
මා අබියසට එක් වරකට පැමිණේවා
කෙදිනක හෝ නුඹට යළි මා සිහි වේවා
Leave a Comment