පාපන්දු ක්‍රීඩාව ලොව ජනප්‍රියම ක්‍රීඩාව බවට පත් කිරීමෙහිලා මූලික අඩිතාලමක් බවට පත් වූ, පාපන්දු ලොව පුරාවෘත්තයක් වන “පේලේ” බ්‍රසීලයේ සාඕ පාවුලෝහි ඇල්බට් අයින්ස්ටයින් රෝහලේ දී පසුගියදා අභාවප්‍රාප්ත විය. ඒ බිලියන 3.5 ක ට අධික වූ පාපන්දු රසිකයන්ගේ සිත් තුළ කිසිදා නොමැකෙන මතක සටහන් ගොන්නක් ඉතිරි කරමිනි. වසරකට අධික කාලයක් මහා අන්ත්‍රයේ පිළිකාවක් සමඟ සටන් කළ පේලේ අභාවප්‍රාප්ත වන විට 82 වන වියේ පසු විය.
වර්ෂ 1940 ඔක්තෝබර් 23 වන දින බ්‍රසීලයේ මිනාස් ගෙරයිස් හි දී උපත ලැබූ එඩ්සන් නසිමෙන්ටෝ කුඩා කල සිටම පාපන්දු ක්‍රීඩා වටපිටාවක් සමඟ හැදී වැඩුනේ තම පියා එකල කුඩා පාපන්දු ක්‍රීඩා සමාජයක ක්‍රීඩා කළ නිසා ය. එඩ්මන් නසිමෙන්ටෝ, පේලේ බවට පත් වූ ආකාරය පසුපස ඇත්තේ සුන්දර කතාවකි.
කුඩා කල සිටම පාපන්දු ක්‍රීඩාවට දැඩි ඇල්මක් දැක්වූ පුංචි නසිමෙන්ටෝගේ ප්‍රියතම ක්‍රීඩකයා වුයේ බීලේ ය. නමුත් කුඩා කාලයේ දී ඔහුට එම නම නිසියාකාරව උච්චාරණය කර ගත නොහැකි විය. ඔහු එය උච්චාරණය කළ ආකාරය අනුව ඔහුගේ මිතුරෝ ඔහුට “පේලේ” නාමය පටබැඳුහ.
වයස අවුරුදු 15 දී බ්‍රසීලයේ සැන්ටෝස් පාපන්දු කණ්ඩායම සමඟ එක්වෙමින් තම පාපන්දු දිවිය නිල වශයෙන් ඇරඹූ පේලේ අඛණ්ඩව වසර නවයක් සාඕ පාවුලෝ පාපන්දු ලීගයේ වැඩිම ගෝල ලාභියා බවට පත්විය. 1958 දී තමාගේ මෙන්ම තම පියාගේත් එකම සිහිනය සැබෑවක් බවට පත් කරමින් එම වසරේදී පැවැති පාපන්දු ලෝක කුසලානයට සහභාගී වූ බ්‍රසීල ජාතික කණ්ඩායමේ ස්ථානයක් වෙන් කරගැනීමට පේලේ තරුණයා සමත් විය. ඒ, එවකට පාපන්දු ලෝක කුසලානයකට සහභාගී වූ ලාබාලතම ක්‍රීඩකයා ලෙසින් වාර්තා පොත් අතරටද එක්වෙමිනි.
තම කුළුඳුල් ලෝක කුසලානයේ පහස විදීමේ බලාපොරොත්තුව සමඟ බ්‍රසීලය අවසාන මහා තරගයට පිවිසුනේ සත්කාරක ස්වීඩන කණ්ඩායමට එරෙහිවයි. එම තරගයේ දී ගෝල ද්විත්වයක් රැස් කරමින් බ්‍රසීලය පළමු වරට පාපන්දු ලොවේ කිරුළු පැලැන්දවීමට මේ 17 හැවිරිදි තරුණයා සමත් වූයේ පේලේ නාමය ලොවට හඳුන්වාදෙමිනි. 1962 වසරේදීත් බ්‍රසීලය පාපන්දු ලෝක ශූරයන් බවට පත් වූව ද තරගාවලිය අතරතුර දී ඇති වූ ආබාධ තත්වයක් හේතුවෙන් පේලේට තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.
1966 ලෝක කුසලාන තරගාවලිය අවසානයේදී පේලේ පවසා සිටියේ දිගින් දිගටම ඇති වූ ආබාධ තත්වයන් සැලකිල්ලට ගනිමින් තමා පාපන්දු ක්‍රීඩාවට සමු දීමට තීරණය කළ බවයි. කෙසේ නමුත් 1969 දී බ්‍රසීල කණ්ඩායමෙන් ලැබුණු ආරාධනය සලකා බලමින් 1970 වසරේ දී ඔහු මෙක්සිකෝවේදී පැවති ලෝක කුසලාන තරගාවලියේදී නැවතත් බ්‍රසීල කණ්ඩායම සමග එක් විය. එහිදී අවසන් මහා තරගයේදී ප්‍රබල ඉතාලි කණ්ඩායමට එරෙහිව තරගයේ පළමු ගෝලය වාර්තා කරමින් බ්‍රසීල ලෝක කුසලාන ඉතිහාසයේ 100 වන ගෝලයේ වාර්තාව තම නාමය ඉදිරියේ සනිටුවහන් කරගැනීමට පේලේ සමත් විය.
පේලේ නාමය කෙතරම් ප්‍රබලද යන්න තහවුරු කරන අපූරු සිදුවීමක් 1967 වසරේදී සිදුවිය. ප්‍රදර්ශනාත්මක පාපන්දු තරගයකට සහභාගී වීම සඳහා පේලේ නයිජීරියාව බලා පිටත් වූයේ එවකට නයිජීරියාවේ පැවැති සිවිල් යුද්ධය අතරතුරදී ය. පේලේ සහභාගී වූ මෙම තරගය නැරඹීම සඳහා යුද්ධය පැය 48 ක ට නතර කර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට දෙපාර්ශවයම එකඟ විය.
1970 දී තම අවසන් ලෝක කුසලානයත් ජයග්‍රහණයකින් නිමා කළ පේලේ වාර්තා පොත් අතරට එක් වූයේ පාපන්දු ලෝක කුසලාන ත්‍රිත්වයක් තම මව්බිමට දිනා දුන් ලොව ප්‍රථම සහ එකම ක්‍රීඩකයා බවට පත්වෙමිනි. පාද දෙකෙන්ම එකසේ පන්දුව හැසිරවීමටත්, නිසි ඉලක්කය වෙත පහර දීමටත් මනා හැකියාවක් පෙන් වූ පේලේ 1977 වසරේදී පාපන්දුවට සමු දුන්නේ ලොව වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයා ලෙස ගිනස් වාර්තා අතරට එක්වෙමිනි. පාපන්දු තරග 1363 ක ට සහභාගී වූ පේලේ ගෝල 1279 ක් රැස් කිරීමට සමත් විය.
පාපන්දු ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් අනතුරුව ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික අරමුදලේ තානාපතිවරයෙක් ලෙස පත් කෙරුණු අතර පාපන්දු ක්‍රීඩාවට කළ සේවය අගයමින් 1997 වසරේදී නයිට් පදවියකින්ද පිදුම් ලැබීය. ක්‍රීඩකයෙක්ට තම දිවියේ ලැබිය හැකි උසස්ම ගෞරව නාමයන්ගෙන් පිදුම් ලද පේලේ 1999 දී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ශතවර්ෂයේ ක්‍රීඩකයා ලෙසින්ද නම් කෙරුණි. කුඩා කලදී පාපන්දුවක් මිලදී ගැනීමටවත් වත්කමක් නොමැතිව මේස් කකුළකට පත්තර කොළ පුරවා සෙල්ලම් කළ මේ හුරුබුහුටි කළු කොල්ලා තම දිවිය නිමා කළේ සුප්‍රකට “ටයිම්ස්” සඟරාව විසින් නම් කළ ශතවර්ෂයේ වටිනාම පුද්ගලයන් සියදෙනා අතරට එක් වෙමිනි.
පාපන්දු ක්‍රීඩාවේ රජුනි, ඔබට සුභ ගමන්…!
සනූජ් රුවනාර නාගහවත්ත
පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලීය පරිගණක අධ්‍යනායතනය
Leave a Comment