“පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ
රන්කෙඳි සේම රන්වන් ඉරිඟු ඉඹිනවද
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිඳ
රන් කඳ තාම පැල් රකිනවදෝ නිදි නැතිව”
ඉතාමත් සුමදුර වූ අලංකාර පද සමූහයකින් යුක්ත වූ අතිශය අලංකාර ගීතයක්, ඒ හා සමානවම කර්ණරසායනයෙන් යුක්ත අත්‍යන්තයෙන්ම මධුර වූ ස්වර සංකලනයෙන් හැඩ වූ තනුවක් හා එකතුව ශ්‍රී ලාංකීය සංගීත ලෝකය තුළ දිගුවක් සටහන් කර ඇති බැව් පෙනේ…
අතීත ජන කවියක සිරිය මවන, එවන් අපූරු පද පෙළකින් සමන්විත මේ අලංකාර ගීතයේ පද රචකයා වන්නේ, ප්‍රවීණ ගේයපද රචක රත්න ශ්‍රී විජේසිංහයන් ය.
ඒ පද හා මුසුව, යන ගැමි ශබ්ද රසය ඇසුරින් නිම වූ තනුව සහ සංගීතය, ඔස්ටින් මුණසිංහයන් ට උරුමය. පදත්, සංගීතයත් එකතු වූ තැන, තමාටම අනන්‍ය වූ සිය සුවිශේෂී හඬ මාධූර්යය යොදා ගනිමින් ගීතයට පණ පොවන්නේ විශාරද නිරෝෂා විරාජිනියයි…
මෙම ගීතය තුළ ගැබ් වී ඇති, අලංකාර, ව්‍යංගාර්ථ, උපමා උපමේය, සංකේත ආදිය බෙහෙවින් අපූරුය. රත්න ශ්‍රී විජේසිංහයන් තම සහජ කුසලතාවය මෙහි මොනවට පෙන්වා ඇත. අතීත නිධාන කතාව පිළිබඳ සොයා බලන කල්හි, එය සිය රාජකාරී දිවියේ දුශ්කර සේවයේ යෙදුණු කාලයේ තමාට අත්විඳීමට සිදු වූ, සිදුවීමක මතකය බව රත්න ශ්‍රී විජේසිංහයන් පවසයි.
සමස්තයක් ලෙස, සම්පූර්ණ ගීතය තුළම ව්‍යංගාර්ථයෙන් දක්වා ඇති දෑ විශාලය. අලුත විවාපත් වූ ගැමි ලඳකගේ සිතුවිලි ලෙස, පද පෙළ ගලා යන බැව් පෙනේ.
පළමු පැදි පෙළේ පටන් ගැන්මෙන්ම දනවන්නේ සරාගයයි. “පුන්සඳ” නැමැති සරාගයෙන් රාත්‍රිය තුළ පවතින ඝණදුර පහව යන බව කවියා පවසයි. ඊළඟ පැදි පෙළේ එන,
“රන්කෙඳි සේම රන්වන් ඉරිඟු ඉඹිනවද” තුළ සෘජුව දැක්වීමට නොහැකි වූ කාරණාවක් ඉතා සංයමයකින් ඉදිරිපත් කර ඇත. “තුන් යම හීන දැක දැක මොටදැයි ගෙදර හිඳ”, මේ පද පේළිය තුළ රාත්‍රියේ නොනිදා දකින සිහින ගැනත්, ඒවා සිහිනම නොවී ඉටු කර ගත යුතු නොවේදැයි ඇය අසයි. අවසානයේ ගැමි කතක් තුළ පවතින ගැමි භක්තිය මේ යයි පවසමින් ‘රන්කඳ’ ලෙස තම ස්වාමියා අමතනු පෙනේ.
ඊළඟ කවි පද කිහිපය තුළ, එයිනුත්,
“නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට” කොටස තුළ සෘජු භාෂණයක් දක්නට ලැබෙන නමුත්,
අවසන
“මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට”
පැදි පේළි දෙක තුළ ඇය තමන් තුළ හැකියාවක් තිබුණද, තමන්ට තවමත් දරු සම්පතක් උරුම නැති බැව් පවසයි. මෙහි ‘ගිරවුන්’ ලෙසට ආමන්ත්‍රණය කර ඇත්තේ, පර පුරුෂයන් වෙතටද, නැති නම් සිය නෑදෑ සනුහරයටද යන්න සිතා බැලිය යුතුව ඇත…
තෙවැනි පැදි පේළිය තුළ එන,
“රන් කඳ සේම පින්සර මාගේ ඇතු නිදන
රන් මල් යාන හීනෙන් දකින පින පමණ” තුළින් ඇගේ අසරණ භාවය බොහෝ දුක්බර ආකාරයට පවසා ඇත. ඇය පවසන්නේ ඇයට උරුම වන්නේ සිහින දැකීම පමණක් බවයි. එසේම ඇය සිය ආත්ම කථනය මෙසේ සිදු කරයි.
“තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන
රන් කැටි පුතුට ඉඩ මදි වාද මගෙ යහන” ඇය නිරන්තරයෙන් දරු සම්පතක් බලාපොරොත්තු වන බව පෙනේ… ඇය තම යහන ඊට ඉඩ නැතුවද යන්න තමාගෙන්ම ප්‍රශ්න කර සිටී…
මෙම පැදි පෙළ අතිශයින්ම සංවේදීය. ඉතාමත්ම මිහිරි වූත් දෑසට කඳුළු ඉනීමට තරමට, යොදාගත් සංගීතය ඉඩ දී නැත. අතීත ගැමි ලඳකගේ සිතුම් පැතුම් සහ භාවයන් මෙම ගීතය තුළ මනාව දක්වා ඇති බැව් මෙසේ පෙන්වා දිය හැකිය.
අවසාන වශයෙන්, අතිශයින්ම මිහිරි පද වැලක්, එවන් වූ සුමධුර සංගීතයක් හා මුසුව, නිරෝෂා විරාජිනියගේ ආත්මීය සොඳුරු කටහඬ හා එකතුව මෙවන් වූ වටිනා ගීතයක් ශ්‍රී ලාංකීය සංගීත ලෝකය තුළ නොමැකෙන නාමයක් තබා ඇති බැව් ප්‍රකාශ කර හැකිය.
Design By Ravindu Sandeep
Leave a Comment