දැනුම

“පුරාවෘත්තයක් හිමි – කිරුළක් අහිමි රජෙක්”

කළු ගං මිටියාවතේ ඉපිද, ලොවක් වසඟයට ගත්  ඔහු ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවෙක්, විටෙක පිටිය සිසාරා සිව්කොණ බැඳි පවුරක්වන් පන්දු රකින්නෙක්, තවත් අවස්ථාවක පිට පා දඟ පන්දු යවන්නෙක්, කඩුලු රකින්නෙක්, තුන් ඉරියව්වට, සිව් ඉරියව්වකින්ම පිළිවදන් දුන් ලොව එකම ක්‍රීඩකයාය. තමන්ගේ නමින් ක්‍රිකට් ලොව පිතිකරණයේ පහරකට හිමිකම් කියන ලොව එකම ක්‍රීඩකයාද මොහුයි. ඔහු නමින් තිලකරත්න ඩිල්ෂාන්. නැතිනම් ක්‍රිකට් ලොව ක්‍රීඩා ලෝලීන්ගේ ආදරණීය  “ඩිලා”.  

මේ ඩිලාගේ කතාවේ ඔබ දන්නා නොදන්නා ඉසව්වන් සොයා යන ගමන් මගයි.

වර්ෂ 1976 ඔක්තෝබර් මස 14 වන දින නන්දනී ප්‍රියලතා සහ තුවාන් මොහොමඩ් ජුනයිඩීන් නම් මව්පිය දෙපලට දාව මෙලොව එළිය දුටු ඩිල්ශාන්ගේ මුල් නම තුවාන් මොහොමඩ් ඩිල්ෂාන් වේ. පසුව වයස අවුරුදු 16 දී පමණ බුදුදහම වැළඳ ගැනීමත්  සමඟ ඔහුගේ නම තිලකරත්න මුදියන්සේලාගේ ඩිල්ශාන් ලෙස වෙනස් විය. 

දරුවන් පස්දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා වූ ඩිල්ශාන් පෙරපාසල් අධ්‍යාපනය කළුතර හෝලිකොස්ට් පෙරපාසලෙන් ලබාගත් අත‍ර, පොලිස් නිලධාරියෙකු වූ පියාට ලැබෙන ස්ථාන මාරුවක් අනුව යාපනය ප්‍රදේශයට යන කුඩා ඩිල්ශාන්  පාසල් අධ්‍යාපනයට අත්පොත් තබන්නේ යාපනය සිංහල මහා විද්‍යාලයෙන් වීමද විශේෂත්වයකි.

ඒ අතර කුඩා ඩිල්ශාන් පාසල අවසන් වී  දුම්රියෙන් යාපනයේ සිට චුන්නාකම් දක්වා ඒම සාමාන්‍ය පුරුද්දක් බවට පත්විය.  මේ අතර දිනක් නිවසට එන අතරතුර,  යාපනයේ දුම්රිය ස්ථානයේ බංකුවක් මත ඩිල්ශාන්ට නින්ද යාම නිසා  යාල්දේවී දුම්රිය මගහැරුණු අවස්ථාව ජීවිතේ අමතක නොවන සිදුවීමක් බව ද ඔහු විසින්  මාධ්‍යට ප්‍රාකාශ කර තිබුණි.

 පසුව මොරටුව මහා විද්‍යාලයෙන් සහ කළුතර මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන කුඩා ඩිල්ශාන් පාපන්දු ක්‍රීඩාවට දක්ෂතාවයන් පෙන්වීමට සමත් විය. එයට පියාගෙන් ලද ආභාසයන් පිටුවහලක් වූ බව නොඅනුමානය. එවකට ඔහුගේ පියා පොලිස් පාපන්දු කණ්ඩායමේ ක්‍රියාශීලි ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කර ඇත.  කළුතර මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ඩිල්ශාන් පාසල අවසානයේ වැඩිහිටි සිසුන් ක්‍රිකට් ක්‍රීඩා කරන ආකාරය නැරඹීමට යොමු විය. එලෙස ආරම්භ වුණ ක්‍රිකට් උන්මාදය, ඔහුව ක්‍රිකට් ලොව පතාක යෝධයෙකු බවට පත්කරන බව එදා සිහිනෙකින්වත් නොසිතන්නට ඇත.

මෙලෙස ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවන ඩිල්ශාන් එවකට ඔහුගේ පාසල වූ කළුතර මහා විද්‍යාලයේ  වයස අවුරුදු 13 පහළ කණ්ඩායම නියෝජනයට සමත්විය.

එලෙස ඇරඹි ගමන් මග ඔහුට මල් මාවතක් නොව,  කටු ඉපල් පිරි මාවතක් විය. පාසලේ ක්‍රිකට් පුහුණුවීම් වලට සෑම දිනකම කිලෝමීටර 3 ක් 4 ක් පමණ දුර ක්‍රීඩා ආම්පන්න සහිත බෑගයත් ඔසවාගෙන ගමන් කිරීමට මේ යෞවනයාට සිදුවිය. ඒ වගේම සෑම තරගයක් අවසානයේ රාත්‍රි කාලයේදී  පයින්ම නිවසට යාමටත් සිදුවිය.

වරක් 1998/1999 වර්ෂයේ පැවති අන්තර් සමාජීය ක්‍රිකට් තරගාවලියේදී ‘සෙබස්ටිනයිට්’ කණ්ඩායමට ක්‍රීඩා කළ ඩිල්ශාන්ට පිතිකරණය සඳහා සුදුසු පිත්තක් නොමැතිවීම නිසා එවකට එම කණ්ඩායමේ පුහුණුකරු වූ රංජන් පරණවිතාන මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රභල පිතිකරුවෙකු වූ අරවින්ද සිල්වා මහතාගෙන් ඩිල්ශාන් වෙනුවෙන් පිත්තක් ඉල්ලාගෙන ඇත. එම පිත්තෙන්ම දස්කම් දැක්වූ ඩිල්ශාන් ශ්‍රී ලංකා A කණ්ඩායමට සහ ජාතික කණ්ඩායමට එක්වීමට වරම් උදා කර ගැනීමට සමත් විය. කිසිම බාධකයක් හමුවේ නොසැලුනු  මේ කෝඩුකාර යෞවනයා ජාතික කාණ්ඩායමට ක්‍රීඩා කිරීමට වරම් හිමිකර ගන්නේ විසිතුන් වියේදී වීම ද විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ 79 වන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස 1999 ඔක්තෝබර් 18 වන දින සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ටෙස්ට් වරම්  හිමිකර ගැනීමට ඩිල්ශාන් සමත් විය.  එම වර්ෂයේම අගභාගයේදී එක්දින වරම් හිමිවන්නේ 102 ක්‍රීඩකයා ලෙසයි. එයින් නොනවතින ඔහු 2006 වර්ෂයේ ජනවාරි 15 දින එංගලන්ත කණ්ඩායමට එරෙහිව විස්සයි විස්ස වරම් හිමිකරගනු ලබන්නේ, ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස වරම් හිමිකරගත් දෙවනි ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වෙමිනි.

එතැන් පටන් ආරම්භ වන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ඔහුගේ ක්‍රිකට් දිවිය අංක 6, 7 ස්ථානයේ පිතිකරුවකු ලෙස සනිටුහන් විය. ඔහුගේ කැපවීම සහ ප්‍රවේගකාරී පිති හරඹය නිසාම කණ්ඩායමේ නිත්‍ය මුල් පෙළ පිතිකරුවකු දක්වා ඒමට කෙටි කලකින් හැකියාව ලැබීය. එතැන් සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ‘දකුණත් කසකරුවා’ ලෙස විරුධාවලිය ලැබීමට ඩිල්ශාන් සමත්විය.

 පිති හරඹයේදී “free flowing batsman” යන අනුවර්ත නාමයට උරුමකම් කියන ඩිල්ශාන් අති ප්‍රභල හඹායාමේ පිතිකරුවෙකි.

තම මුළු ක්‍රිකට් දිවිය තුළම ඔහු Cover point  කලාපයේ මහා බාධකයක් ලෙස ක්‍රියා කරමින් පන්දු රැකීමට උපන් හපන්කම් දැක්වූ ක්‍රීඩකයෙකි. කිසිම අවස්ථාවක  එහිදී අතපසුවීමක් නොවීමට ඔහු වගබලා ගත්තේය.

2009 වර්ෂයේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය මුළු ලොවක් විස්මයට පත් කළ තරගාවලියක් බවට පත්කිරීමට ඩිල්ශාන් සමත්විය. ඒ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති එක් පුහුණු තරගයකදී ය. එහිදී ඩිල්ශාන් අපූරු පහරක් ක්‍රිකට් ලොව පිතිකරණයට දායාද කරන ලදි. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ශේන් වොට්සන්ගේ පන්දුවකට දණ නමා පන්දු රකින්නාගේ හිසට ඉහළින් අලංකාර හතරේ පහරක් එල්ල කර මුළු ක්‍රිකට් ලොවම උඩු යටිකුරු කිරීමට  ඩිල්ශාන් සමත් විය. එම අවස්ථාවේ විස්තර විචාරකයන් පවා අසරණ තත්වයකට පත්වුණේ ඩිල්ශාන්ගේ එම පහරට නමක් ඔවුන්ට සිතාගැනීමට නොහැකි නිසයි. පසුව එම පහර ඩිල්ශාන්ගෙ හැන්ද යන අනුවර්ත නාමය දෙන “ඩිල්ස්කූප්” පහර ලෙස හැඳින්වීම ආරම්භ විය. මෙය ක්‍රිකට් ලොව ඉතිහාසගත වූයේ පිතිකරුවකුගේ නමින් පිතිකරණ පහරකට උරුමකම් කියන ලොව පළමු සහ එකම ක්‍රීඩකයා බවට ඩිල්ශාන් පත්කරමිනි.

එතැන් පටන් ඩිල්ශාන් ක්‍රිකට් ලොව  ඩිල්ස්කූප් මහතා ලෙසද හැඳින්වීම ආරම්භ විය. ලොව දරුණුම යැයි නම් දරනා පන්දු යවන්නන් පවා දණ ගැස්සවීමට ‘ජර්සි නම්බර් 23’ දැරූ ඩිල්ශාන් සමත්විය.

2011 වර්ෂයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා කණ්ඩායමේ  නායකත්වයට පත්වන ඩිල්ශාන්, එම වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරගාවලිය  ජයග්‍රහණය කරනු ලබන්නේ නායකත්වයේ වගකීම මනාව ඉටුකරමිනි. එමෙන්ම, එය ඉතිහාසගත වූයේ දකුණු අප්‍රිකාව දිග්විජය කළ පළමු නියමුවා ලෙසයි.

ඕනෑම අසීරු අවස්ථාවක පන්දු යවන්නෙක් ලෙස පන්දුවෙන් දස්කම් පෑමට ද මොහු උපන් හපනෙකි. පන්දුව අතට ගත් සෑම මොහොතකම ඔහුට කඩුල්ලක් ලබාගැනීම අත්‍යවශ්‍යම කාරණයක් වූ බව නොරහසකි. ලොව අති ප්‍රබල පිතිකරුවන් පවා තමන්ගේ පන්දුවෙන් දණ ගැස්සවීමට ඩිල්ශාන් සමත් විය.

ද්විත්ව ශතක නොමැති ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු රැස් කරන ලද පිතිකරුවා වන්නේ ද මොහුයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ ටෙස්ට් ලකුණු ලාභීන් අතර හත්වන ස්ථානයේ රැඳී සිටින මොහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 5492 වේ. ඩිල්ශාන් තම ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියට 2013 වර්ෂයේ සමුදෙන්නේ තවත් එක් ලෝක වාර්ථාවක අසහාය උරුමකරුවා ලෙසයි. ඒ එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාපිටිය තුළ ටෙස්ට් තරගාවලියකදී වැඩිම ලකුණු ප්‍රමාණයක් (193) රැස් කළ ශ්‍රී ලාංකේය පිතිකරුවා ලෙස ඉතිහාසග වීම මගිනි.

ජාතික කණ්ඩායමට එකතු වීමත් සමඟම නැතුව බැරි ක්‍රීඩකයෙකු වූ මොහු පිත්තටත්, පන්දුවටත් එකහා සමානව දස්කම් දැක්වූ ක්‍රීඩකයෙකු වීම විශේෂත්වයකි. මහේල, සංගා ද්විත්වයම නිහඬව අභිබවා ගිය තනි ක්‍රීඩකයා ලෙස ඩිල්ශාන් හැඳින්විය හැකිය.

ඩිල්ශාන් විසින්ම පන්දුව යැවීම සහ ඔහුම උඩපන්දුව රැකගත් අවස්ථා බොහෝමයක් ඇත. ඒ අතරින් 2011 වර්ෂයේ සහ 2015 වර්ෂයේ ලෝක කුසලාන තරගාවලියේදී මෙන්ම 2013 වර්ෂයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගාවලියන් හිදී  ඩිල්ශාන් එම ආකාරයට උඩපන්දු රැකගැනීම සිදු කරන  වීඩියෝ පට ඉදිරිපත් කරමින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් ඔහුට “The King Of Catch And Bowled” යන ගෞරව නාමය පිරිනමා ඇත.

 2011/2012 වර්ෂයේදී  පැවති  CB series තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ඩිල්ශාන් තරග එකොළහකට සහභාගී වී ශතක 2ක් සහ එක් අර්ධ ශතකයක් සමඟ තරගාවලිය පුරාම මුළු ලකුණු 513 ලබාගැනීමට සමත් විය. මෙය වාර්ථා පොත් අතරට එකතු වූයේ ආසියාවෙන් පිටතදී පැවති තුන්කොන් ක්‍රිකට් තරගාවලියකදී වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගත් ආසියාතික පිතිකරුවා ලෙසයි.

ක්‍රීඩා පිටිය තුළ පිති හරඹයෙන් අංශක 360 සීමාවටම තම අණසක පැතිරූ මේ දකුණත් බර අවි ප්‍රහාරාත්මක පිතිකරුවා 2011 ලෝක කුසලාන ක්‍රීඩාපිටියේ වැඩිම ලකුණු ලාභියා ලෙස ඉතිහාසගත විය.  2009, 2012, 2014, 2016 යන වර්ෂයන්හි ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රීඩාපිටියම වර්ණවත් කළ, සිව් ඉරියව්වකට උරුමකම් කියූ මේ අසහාය  ක්‍රීඩකයා 2016 වර්ෂයේ අගෝස්තු 28 වන දින තම  ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියට සමුදුන්නේ, දහහත්  වසරක ක්‍රිකට් දිවියම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කැප කරමිනි.

වයස අවුරුදු 40 දී වුවද, ඔහු කිසිම අතුරු ආබාධයකින් තොරව ක්‍රීඩා කිරීමද විශේෂත්වයකි. ඩිල්ශාන් යනු, ක්‍රිකට් ලොව පුරාවෘත්තයක් වූ නිහඬ ක්‍රීඩකයෙකි. කිසිදාක ක්‍රිකට් ලොව නිත්‍ය රජු ලෙස කිරුළ නොදරන ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ පරිච්ඡේදයක් හිමි කිරුළක් අහිමි නායකයෙකු වෙයි. ඩිල්ශාන් යනු වෙනම ආරයක උරුමයක් සහිත ක්‍රීඩකයෙකි. ලොව අංක එකේ පිතිකරුවන් අභිබවා යමින් තමන්ගේ නමට පිතිකරණ පහරක උරුමය  කියන මොහු වාර්ථා රැසකින්ම ක්‍රිකට් වංශ කතාවේ ඉඩක් වෙන් කරගෙන ඇත.

  • ජාත්‍යන්තර තරග 497
  • ජාත්‍යන්තර ලකුණු 17671
  • ශතක 39 අර්ධ ශතක 83 
  • ජාත්‍යන්තර කඩුලු 154 
  • උඩපන්දු 75 ක ට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගත් ක්‍රීඩකයා
  • DRH අවස්ථාවකට අභියෝග කර සාර්ථක වූ ලොව ප්‍රථම ක්‍රීඩකයා  
  • විස්සයි විස්ස ක්‍රීඩාපිටියේ ලංකාව වෙනුවෙන්  ශතක ලාභී පළමු නායකයා සහ දෙවැනි ක්‍රීඩකයා 
  • විස්සයි විස්ස ඉනිමක වැඩිම ලකුණු ලාභියා සහ උඩපන්දු ලාභියා  
  • තමන්ගේ නමින් ලොව පිතිකරණ පහරක් හිමි එකම ක්‍රීඩකයා 
  • 2009/2011 ලෝක කුසලාන ක්‍රීඩාපිටියේ වැඩිම ලකුණු ලාභියා 
  • ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර පිටියේ ලකුණු 10,000 සීමාව පසු කළ සිව්වන ක්‍රීඩකයා සහ ලොව එකොළොස්වැන්නා 
  • නායකයෙකු ලෙස ටෙස්ට්, එක්දින, විස්සයි විස්ස යන ආකෘති තුනේම ශතක රැස් කළ ලොව පස්වැනි ක්‍රීඩකයා සහ ලංකාව වෙනුවෙන් දෙවන ක්‍රීඩකයා   
  • ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 150 ට වැඩි ශතක ලාභී දෙවන ක්‍රීඩකයා 
  • වයස අවුරුදු 35 න් පසු වැඩිම ලකුණු රැස් කළ එකම ක්‍රීඩකයා (ලකුණු 4674).

ඔහු ලෝක  ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසය  තුළ නොමැකෙන නාමයක් තැබූ  ලංකාවෙන් බිහිවූ අග්‍රගණ්‍ය තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වෙයි.

රංගන ශිල්පිනී මංජුලා තිලිණි  සමග යුගදිවිට එළඹි ඩිල්ශාන් මේ වන විට දරුවන් සිව් දෙනෙකුගේ  ආදරණීය පියෙකි. 

ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස නොනැවතුන ඩිල්ශාන් අද වන විට ගායකයෙක්, සමාජ සේවකයෙක් ලෙසද කටයුතු කරණු ලබයි. 

අද සිය හතලිස් පස්වන ජන්ම දිනය සමරන,

“ක්‍රිකට් ලොව ආදරණීය ඩිලා නොහොත් ඩිල්ස්කූප් මහතාණෙනි, ඔබට සුභ උපන්දිනයක් “

Design by : Shanaka Vishwantha

References :

Images :

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

වත්සලා මෙන්ඩිස්

තාක්ෂණ පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment