විචාර

පොඩ්ඩියේ…

“පොඩ්ඩියේ අම්මා, අම්මාමයි තාම…” 

අම්මා, ඇය නම් මවයි. පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම, ඇය දස මාසයක් කුසේ දරා ලේ කිරි කර පොවා, දහසක් දුක් කම්කටොළු මැද මවක් දරුවෙකු මෙලොවට බිහි කරයි.

ජිවිතයේ අප යම් යම් අවධි කටුකවූත්, නීරසවූත් මංසන්ධි පසු කරයි. රෝදය මත දිවෙනා ගැලක් මෙන්  ජීවිතය නම් වු මඩ කඩිති, ගල්පරවල ගොඩැලි පිරි මාර්ගය මත දිවෙන ඇගේ ජීවිතයට හමා එන තම ප්‍රියාදර සැමියාගේ වියෝව නම් වූ මහා සැඩ කුණාටුව හමුවේ ඇය වෙත ගසා ගෙන එන කනවැන්දුම් බව නම් වු සැඩ පහර හමුවේ තම දරු දෙදෙනාගේ බඩ වියත රැක ගැනීමට තම පතිවත සිඳ ගනී. ඇයව එතැනට අසරණ කරනා දුර්ජනයින්ගේ පීඩා හා කඩු හිසක් ළය දෙබෑ කර යවන්නා මෙන් වූ නොහොබිනා බස් දිනක අවුරුදු උදාව සමඟ තම බාල දියණිය ඉදිරිපිට කලඑළි බසින්නට විය.

“වැරදුනේ අපි නිසයි ඈ වැරදිද කෝම
බක් මහේ කොවුල් බිජු පුපුරණ දාක
නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම…”

මවගේ එම හැසිරීම පිළිකුල් කරන දියණිය නගන ප්‍රශ්න පිට ප්‍රශ්න මත නිරුත්තර වන ඇය දියණිය විසින් හෙලා දකී.

“තනේ කඩා විසිකර පත්තිනි වේ නම්
අනේ හාමතේ අපි මැරිලා එහෙනම්
වනේ පාරන්නෙ වන ඵල විස වී නම්
නගේ දැන් යමං පඬිපුර ගිනි තියපන්
සතා කියා ඉඳහිටක දි ඇහුනාට
කතා හදන උන් සේරම බෝසත් ද
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
කතන්දර එපා වැඳපන් අම්මාට”

මෙය අසා සිටිනවා ඇයගේ වැඩිමහල් පුතු තවම සමාජය හමුවේ තැලී පොඩීවි නොමැති තම අවිහිංසක නැගණියගේ වේදනාව හැඳින තම නැගණිය නොදත් සමාජයේ සත්‍ය ස්වරූපය නැගණියට පහදා දෙන කරුණා බර වැඩිමහල් සොහොයුරා නූගත් නමුත් බුද්ධිමත් බවින් යුතුව එය මෙලෙස පෙන්වා දෙයි.

සමාජයේ උසස් කුල දරණ ප්‍රභූ යැයි පූජනීය යැයි සැලකෙන සමහරක් හමුවේ පවතින අධම, දුර්ජන හා කාමූක බව තම අවිහිංසක අසරණ මෑණියන් බිල්ලට ගත් කේදනීය වූ සැඟවී ගිය කතාව මෙලෙස දක්වයි. මවගේ ධාර්මික බව ද බිඳ දමා ඇයව වෛශ්‍යාවකගේ තැනට ඇද දමන අයුරු ඉතා සංවේදනීය ය.

“දන් කඳ නැති දාට රන්කඳ වී පෙනිලා
ලොකු හැමුදුරුවො අණ කර බණ පද එව්වා
මුචලින්දගෙ ඇහේ නයි කඳුළක් නැටුවා
අපෙ අම්මා බණ කතාවක් බුදුගෙයි ලිව්වා”

ඇයවම යොදා ගන්නා ඔවුන්ම සුද්ද වන්තයන් මෙන් ඇයටම පහර ගසන බව ඇය ඒවා විද දරා ගත්තේ අප දෙදෙනා වෙනුවෙන් බව මවට නිග්‍රහ නොකළ යුතු බව ද පෙන්වා දෙයි.

“රත් වුණු යකඩ ලෝකුරු ගෑනුත් තැලුවා
මත් වුණු බඹරු ඉටි මල් පොකුරෙත් වැහුවා
ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙ ද මොනවා
පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා…”

ගැමි සමාජයක් තුළ තනි වූ ගැහැණියකගේ ඛේදණීය වූ එම කතා පුවත කියා පන්නා වූ මේ ගී පදවැල ගයකයා විසින් මනෝ චිත්‍රමය දසුන් මැවෙනා අයුරින් හෙල සුපැරණි නාද මාලා යොදා ගෙන නිමැ වූ අර්ථාන්විත සමාජයට පණිවිඩයක් ලබා දෙන්නා වූ මෙය, විශිෂ්ට ගණයේ නිර්මාණයක් යන්න මාගේ අදහස යි. නොකී මෙවන් කතා කොතෙක් ඇත් ද? ඉතින්, අප සමාජයේ ශිෂ්ටසම්පන්න විය යුතු නොවේ ද? අවිහිංසක තනිකඩ වුව ද ඇයත් දායාබර වු පිදිය යුතු වු මවක් නොවන්නේ ද?

“පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා
සතා කියා ඉඳහිටක දි ඇහුනාට
කතා හදන උන් සේරම බෝසත් ද
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
කතන්දර එපා වැඳපන් අම්මාට”

ගායනය           – සාදර බණ්ඩාර
තනු නිර්මාණය – සාදර බණ්ඩාර
ගී පද රචක       – ටිම්රාන් කීර්ති

ඉසුමි ජයවර්ධන
පළමු වසර
තාක්ෂණ පීඨය

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

ඉසුමි ජයවර්ධන

Leave a Comment