Colombo Beacon ඉතිහාසය දැනුම

බන්දේසියේ දමා රට වෙන්දේසියේ දැමූ මඟුල් මඩුව…

Written by Dunith Desitha

මඟුල් මඩුව ඉදිකරන්නේ ක්‍රි.ව. 1783 දී රාජාධිරාජසිංහ රජු විසින් වන අතර එය සෙංකඩගල ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ රාජ මාළිගා සංකීර්ණයේ පිහිටා ඇත. මෙහි ඉදිකිරීම සම්පූර්ණ කිරීමට රාජාධිරාජසිංහ රජුට නොහැකි වන අතර පසුව එය ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් සම්පූර්ණ කළ බව ඉතිහාසයේ සඳහන් වේ.  උඩරට දැව කැටයම් නිර්මාණ ශිල්පීන්ගේ දස්කම් විදහා පාන විචිත්‍ර දැව නිමැවුමක් වන මඟුල් මඩුවේ නිර්මාණකරු වන්නේ ද පත්තිරිප්පුවේ නිර්මාණකරු වන දේවේන්ද්‍ර මූලාචාර්යවරයා ම ය.  රජ කාලයේ,

  • රජු ප්‍රමුඛ ඉහළ නිලධාරීන්ගෙන් සමන්විත ඉහළ අධිකරණයේ රැස්වීම් සඳහා
  • ඉංග්‍රීසි පාලන සමයේ නඩු විභාග කිරීම හා දඬුවම් නියම කිරීමට
  • රජු හා විදේශ තානාපතිවරුන්, විශේෂ අමුත්තන් අතර හමුවීම් සඳහා
  • ඇසළ පෙරහැර මංගල්‍යයේ සාර්ථකත්වය දේවාලය කපුවන් විසින් රජුට දැන්වීම සඳහා

වැනි කටයුතුවලට එදා මෙය භාවිතා විය.

ඉතිං කොහොමද මේ අපේ රට ඉංග්‍රීසින්ට ලියා දුන්නේ?

වසර දහස් ගණනක් අදීනව පැවති අප රට හරියටම 1815 මාර්තූ 02 වෙනි දා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට ලියා දෙයි. එවකට ලංකාවේ රජ කළ රජවරුන් හා ප්‍රභූවරුන්ගේ හුදෙක් තම ලාභය ගැන පමණක් සිතා ඔවුන් ශ්‍රී ලංකාව පාවා දෙනු ලැබුහ. ඉංග්‍සීන්ගේ උපායශීලී සැලසුම්වලට හසුවන රදළ ශ්‍රී ලාංකිකයෝ සුදු අධිරාජ්‍යයාට ගිවිසුම් ප්‍රකාර තම අත්සන් ද සහිතව අප රට  ඔවුන්ට ලියා දුන්හ. මෙම පාවා දීමෙන් පසු අපට එතෙක් තිබූ නිදහස අහිමි කරමින් මහා බ්‍රිතාන්‍යයේ රජු අප රටේ රජු ලෙසද පිළිගැනීමට සිදු විය.

ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලා ගත් ඉංග්‍රීසින් හට උඩරට ආක්‍රමණය එතරම් පහසු නොවීය. ඉංග්‍රීසි හමුදා මඟින් උඩරට තමන්ට යටත් කර ගන්නට ඔවුන් දැරූ සියලු ප්‍රයන්ත  අසාර්ථක වූ අතර එම නිසා ඔවුන් චරපුරුෂ සේවා ක්‍රම හා බුද්ධිය පදනම් කර ගනිමින් උඩරට තමන්ට නතු කරගත්තේ ය. උඩරට ඉංග්‍රීසින්ට සතු කර ගැනීමට හැකි වූයේ ජොන් ඩොයිලිගේ උපායශීලීත්වය නිසා ය.

අවසන් සිංහල රජවරුන්ගේ සිට ඔවුන් ගත් අධූරදර්ශී තීරණ නිසාවෙන් එයින් වාසි ලබා ගත හැකි බව දුටු පරදේශක්කාරීන් එහි උපරිම ප්‍රයෝජනය ලබා ගන්නා ලදී. අවසානයේ අප රට ඉංග්‍රීසි යටත් කර ගත්තා පමණක් නොව ඔවුන්ට එන්න කියාම බන්දේසියේ තබා වෙන්දේසි කරන ලදී.

ශ්‍රී ලංකාවේ රජ පාලනය අවසන් වූයේ කෙසේදයත්,

වසර 1815 පෙබරවාරි මාසයේ දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හා ඔහුගේ බිසෝවරුන් වූ වෙන්කත රංගම්මාල වෙන්කත ජම්මාල් යන දෙදෙනා ද සමඟ බෝමුරේ උඩුපිටිය ආරච්චිගේ නිවසේ සැඟවී සිටියදී එක්නැලිගොඩ මොහොට්ටාල ඇතුළු පිරිස විසින් ඔවුන් අත්අඩංගුවට ගැනුණි. පසුව ඩයස් තෝල්ක මුදලි රජු හා බිසෝවරු තෙල්දෙණියේ සිටින ජෝන් ඩොයිලි හා කර්නල් හුක් වෙත භාර කළේ ය. මෙසේ සිංහලයේ රාජාවලියේ අවසානය සනිටුහන් කරමින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංග්‍රීසින්ගේ සිරකරුවෙකු බවට පත් විය.

රජු අත්අඩංගුවට පත් වීමත් සමඟම උඩරට ද තම පාලනය සම්මත කර ගැනීමට සුදු අධිරාජ්‍යයා කටයුතු සංවිධානය කෙරූ අතර එහි භාරදූර වගකීම හිමි වූයේ තම උපායශීලීත්වයෙන් උඩරට  ආක්‍රමණය සාර්ථකව මෙහෙය වූ ජෝන් ඩොයිලිට ය. බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග්ගේ ප්‍රධානත්වයෙන් ජෝන් ඩොයිලි විසින් වගන්ති දොළහකින් සමන්විත උඩරට ගිවිසුම ඉංග්‍රීසි වගන්ති හා සිංහල වගන්ති ද හොඳින් එකට සමාන්තරව ගළපමින් සකස් කරන ලදී. වසර 1815 මාර්තු මස 02 වන දින සතරේ හෝරාවට උඩරට සම්මුතිය උත්සවාකාරයෙන් රාජ මාලිගය පරිශ්‍රයේ මඟුල් මඩුවේ දී පැවැත්විණි.

සිංහල හා ඉංග්‍රීසි බසින් සමන්විත වූ මෙම ගිවිසුමේ වගන්ති රැස්ව සිටි උඩරට අධිකාරම්, දිසාවේවරුන් හා අනෙකුත් සිංහල ප්‍රධානීන්ටද එහි වැඩ සිටි මල්වත්තේ මහානායක ධූරය දැරූ කොබ්බෑකඩුවේ නායක හිමි ප්‍රමුඛ මල්වතු අස්ගිරි දෙපාර්ශවයේ මහා සංඝයා වහන්සේට ද, මොහොට්ටාලවරු ඇතුළු සුළු මුලාදෑනීන්ට ද කියවා පැහැදිලි කර දෙන ලදී.

කරුණු මෙසේ පහදා දීම අවසන් වීමත් සමඟම මහනුවර රජ මාළිගයේ ඉංග්‍රීසි ධජය ඔසවන්නට ඔවුන් කටයුතු කරන ලදී. උඩරට ගිවිසුම අත්සන් කිරීමටත් පෙර ඉංග්‍රීසි ධජය එසවූ අවස්ථාවේ දී වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් විසින් ඉංග්‍රීසි ධජය බිම දමා පාගා නැවතත් සිංහල ධජය ඔසවන ලදී.

වගන්ති දොළහකින් සමන්විත වූ මෙම ගිවිසුමේ වගන්තිවල සඳහන් වූයේ,

  • පළමුව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කෲර පාලනය පිළිබඳ විස්තර කර තිබුණි. ඔහු රජ පදවියෙන් පහ කරන ලද බව හා ඔහුගේ පවුලේ හා සතර වරිගයේ නෑදෑයන්ටද සදහටම සිහසුන අහිමි කරන ලදී.
  • දෙවන වගන්තියෙන් උඩරට ආධිපත්‍යය පවත්වාගෙන සිටි මලබාර් වංශිකයන්ගේ අයිතිවාසිකම් අවලංගු කර අහෝසි කර දමන ලදී.
  • රජු සමඟ ඥාති සබඳතා තිබූ පුරුෂයින්ට අවසර නොමැතිව උඩරට ප්‍රදේශයට ඇතුලු විය නොහැකි බව තෙවන වගන්තියෙන් දක්වා තිබුණි.
  • සිංහලේ පරමාධිපත්‍යය බලයද කිරීටය යටතට ගත් බව හා සිංහල නීති ක්‍රමය දිගටම පවත්වාගෙන යාමට උඩරට අධිකාරම්වරුන්ට, දිසාවේවරුන්ට, මොහොට්ටාලවරුන්ට, කෝරලේවරුන්ට හා විදානේවරුන්ට බලය පැවරීම සතරවන කරුණ මඟින් දක්වා තිබුණි.
  • බුද්ධ ශාසනයත්, දේවාගමත් කඩ නොකර පවත්වමින් සංඝයා හා විහාර ආදිය ආරක්ෂා කරන බවත් පස්වන වගන්තියෙන් දක්වා තිබුණි.
  • සියලුම ආකාරයෙන් තිබූ ශාරීරික වධ හිංසා හා අවයව කැපීමේ දඬුවම් සියල්ල අවලංගු කිරීම හයවන වගන්තියෙන් දක්වන ලදී.
  • යම් කෙනෙකුට මරණ දඬුවම ලබා දිය හැක්කේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාගේ බලයලත් ඔප්පුවකින් පමණක් බව සත් වන වගන්තිය මගින් දක්වන ලදී.
  • අටවන වගන්තිය මගින් සිංහල රාජ්‍යයේ සිවිල් නඩු හා අපරාධ නඩු චිරාගත නීති හා චාරිත්‍ර ධර්ම අනුව සිංහල නිලධාරීන් විසින් විසඳීම කළ යුතු ය. අවශ්‍ය වුවහොත් ඒ නඩුවලට මැදිහත්වීමේ අයිතිය ඉංග්‍රීසි ආණ්ඩුව සතු බවත් දක්වන ලදී.
  • නව වන වගන්තිය යටතේ සිංහල රාජ්‍යයට අයත් නොවන පහත රට සිංහලයන් පිළිබඳ නඩු ඉංග්‍රීසි නීතිය අනුව විසඳන බවත් දක්වන ලදී.
  • තුන් කෝරලය, සතර කෝරලය හා සබරගමුව පමණක් ඉංග්‍රීසීන් විසින් ඈඳාගත් බවට මුලින් කළ ප්‍රකාශය අවලංගු කරන බවටත් දහවන වගන්තිය මගින් දක්වන ලදී.
  • සිංහල රාජ්‍යයේ අය බදුද බ්‍රිතාන්‍ය රාජ්‍ය ඒජන්තවරුන් විසින් එකතු කරන බව එකොළොස් වන වගන්තිය මගින් දක්වන ලදී.
  • දොලොස් වන වගන්තියෙන් නිදහස් ලෙස රටවල් දෙක අතර වෙළඳාම් කිරීමේ පහසුකම් හා වාණිජ කටයුතු පහසුකම් සැලසීමට ආණ්ඩුකාරවරයා වෙත බලය ලබා දෙන ලදී.

මෙම ගිවිසුම ආණ්ඩුකරුගේ ප්‍රකාශයත් සමඟ උඩරට නීතියේ කොටසක් බවට පත් විය. සත්‍යවශයෙන්ම, උඩරට ඉංග්‍රීසින් යටත් කරගත්තේ නැත, බන්දේසියක තබා වැඩිම ලංසුවට වෙන්දේසි කර පවරා දෙන ලදී.  බ්‍රිතාන්‍ය ගිවිසුම අත්සන් කළ පසු ඔවුන්ට පරිභාහිරව හෝ විරුද්ධව කිසිම කටයුත්තක් සිදු කළ නොහැකි බවට ද අප රටට දන්වන ලදී.

උඩරට යටත් කර ගැනීමත් සමඟ ඊට ඉංග්‍රීසීන්ට ගිවිසුමක් අවශ්‍ය වූයේ එවකට බලවත්ව සිටි උඩරට සිංහල ප්‍රධානීන් අවනතව තබා ගැනීමට අවශ්‍ය වූ හෙයිනි. රදළ ප්‍රභූවරුන්ට අවශ්‍ය පහසුකම් වැනි දේ ලබා දීම මගින් උඩරට තමන් යටතට පත් කර ගැනීමට හැකි බවත් එවිට ඔවුන් ඉංග්‍රීසින්ට කිසිදු බාධාවකින් තොරව ශ්‍රී ලංකාවේ පාලනය කරගෙන යා හැකි බවත් ප්‍රයෝජනයට ගැනිණි.

උඩරට යටත් කර ගැනීම පහසු වූයේම උඩරට ගෙන ගිය අසාර්ථක රාජ්‍ය පාලනය, උපායශීලීත්වයට රැවටුනු රජවරු, රදළයින් හා ප්‍රභූවරුන් නිසා ය.

ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා විසින් උඩරට ප්‍රධානීන්ට ඔවුන්ගේ අහෝසි කළ නිලතල විධිමත්ව පවරනු ලැබුවේ මාර්තු මස 03 වැනිදා ය. 1815 මාර්තු මස 10 වන දින දී උඩරට ගිවිසුම අත්සන් කිරීමට ඉදිරිපත් කෙරිණි. ජෝන් ඩොයිලි තම දින පොතෙහි තබා ඇත්තේ මාර්තු 03 වන දින සිට 09 වන දින තෙක් පාචනයෙන් පෙළුණු නිසා ගිවිසුමේ කටයුතු සඳහා සහභාගී වීමට නොහැකි වූ බවය. ඩොයිලිට සුවය ලැබුණේ මාර්තු 10 වන දිනය. මේ අනුව උඩරට ගිවිසුමට අත්සන් තබනු ලැබුවේ මාර්තු මස 10 දින දී ය. මාර්තු මස 18වන දින ඇහැලේපොළ දිසාවේ ද ගිවිසුමට අත්සන් කරන ලදී. මෙසේ මෙම ගිවිසුම අත්සන් කළ පිරිස නම්,

රොබට් බ්‍රවුන්රිග් – ඇහැලේපොළ
පළමුවැනි අදිකාරම් සහ සත් කෝරළේ දිසාව – මොල්ලිගොඩ
දෙවැනි අදිකාරම් සහ සබරගමුවේ දිසාව – වැඩිමහල් පිලිමතලව්වේ
හතර කෝරළේ දිසාව – බාල පිලිමතලව්වේ
ඌව දිසාව – මොණරවිල කැප්පෙටිපොල
මාතලේ දිසාව – රත්වත්තේ
තුන් කෝරළයේ දිසාව – බාල මොල්ලිගොඩ
වලපනේ දිසාව – දුල්ලෑවේ
වෙල්ලස්සේ හා බින්තැන්නේ දිසාව – මිල්ලෑවේ
තමන්කඩ දිසාව – ගලගම
නුවර කලාවියේ දිසාව – ගලගොඩ

අත්සන් සඳහා සාක්ෂි ලෙස ජොන් ඩොයිලි හා පෞද්ගලික ලේකම් ජේම්ස් සදලන්ඩ් ඉදිරිපිට සිදු කෙරිණි.
තම පෞද්ගලික වාසි තකා ගිවිසුම අත්සන් කළ රටේ රදළ පිරිසට ද පසුව ඔවුන් අපේක්ෂා කළ ප්‍රයෝජන ද ක්‍රම ක්‍රමයෙන් නොලැබී ගියේය. සමස්තව බලන විට ඇත්තටම සිදු වූයේ වෙන්දේසියේ වැඩිම ලංසුවත් සමඟ මඟුල් මඩුවේ දී රට බන්දේසියේ තබා වෙන්දේසි කිරීම ය.

දුනිත් දේසිත අතුකෝරල
පළමු වසර
තාක්ෂණ පීඨය 

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

Dunith Desitha

තාක්ෂණ පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment