Covid 19 හෙවත් Corona වසංගත තත්ත්වය හමුවේ අපේ නැසීගෙන යන හෙළ වෙදකමේ වටිනාකම යලිත් ඉස්මතුවී පැමිණියා. අපේ ප්රතිශක්තිය වැඩිවීමට හෙළ ඔසු නිර්දේශ වුනා.
විටක වල්පැලෑටියක් ලෙස ගලවා ඉවත් කරන බොහෝ ශාක, ඔසු පැලෑටියක් බව ඔබ දැන සිටියාද? මුලුතැන්ගෙයි පරිභෝජනය කරන කුඩා උළුහාල් ඇටයේ පටන්, එනසාල්, කරාබුනැටි, රම්පා, කරපිංචා ආදී සියලු දෑහි ඔසුගුණය පිරී ඇති බව දැන සිටියාද?
Colombo Beacon පාඨක ඔබට, දන්නා ශාක වල නොදන්නා ගුණ ගැන “සුව ධරණී” තුලින් ගෙන එන්නට, මෙතැන් පටන් අපි බලාපොරොත්තු වෙමු.
බිං කොහොඹ
ඉංග්රීසි නාමය:- Chirata
උද්භිද නාමය:- Munronia pumila
පර්යාය නාමයන් :- කිරාත, කටුකිත්තා, භූනිම්බ
බිං කොහොඹ වර්ග කිහිපයකි. මේවා ඉන්දියාවේ මෙන්ම ලංකාවේද දැකිය හැකිය. නමුදු ප්රධාන බිං කොහොඹ වර්ගය වැවෙන්නේ නේපාලනයේ ය. ශ්රී ලංකාවේ පහත රට කඳුකරයේ හා වියළි කලාපයේ ද, වනයෙන් ගැවසීගත් ගල් පර්වත ආශිතව ද මෙම අනගි ශාකය දක්නට ලැබේ. අනුරාධපුරය කුරුණෑගල ආදී පළාත් වල ලංකාවට ආවේණික බිම් කොහොඹ ශාකය දැකිය හැකිය. බිං කොහොඹ මුවන් ගෝනුන් අතර ඉතා ප්රිය ජනක ආහාරයකි. ඉතා අලංකාර කුඩා සුදු පැහැති මල් හට ගන්නා බිං කොහොඹ ශාකය නිවසේ අලංකරණයට ද වගා කළ හැකි ය.
☘ඖෂධීය ගුණය
ආයුර්වේදයේ ශීත ගුණයෙන් යුතු තිත්ත රසැති ඖෂධයක් ලෙස බිං කොහොම සඳහන් වේ. රුධිරය පිරිසිදු කරන ගුණයෙන් ද යුක්ත බිම් කොහොඹ සම්පූර්ණ ශාකයම ඖෂධ පිණිස භාවිතා කරයි. උණ රෝග සඳහා විශේෂයෙන් ම ගුණ ලබා දේ. වණ, දද, කුෂ්ඨ, ප්රමේහ රෝග සහ කල් ගතවූ කැස්ස සඳහා ප්රතිකාර කිරීමේ දී බිං කොහොඹ භාවිතා වේ.
බිං කොහොඹ ශාකයේ ගුණය අතීතයේ සිටම මෙරට ආදිවාසී ජනයා අතරද ප්රචලිත ය. ඒ බව දොස්තර ආර්. එල්. ස්පිට්ල් විසින් රචිත “සුදු වැද්දා” කෘතියෙහිද සඳහන්ව ඇත.
හඳවල් දෙකක් අතර (පසළොස්වක පෝය දෙකක්) කාලයේදී තුන් හතර වතාවක් බිං කොහොඹ තැම්බූ වතුර බීමෙන් මැලේරියාවෙන් බේරී සිටීමට හැකි බව ආදිවාසී ජනයා අතර ප්රකට කාරණයකි.
බොහෝ අත් බෙහෙත් රාශියකට උපකාරී වන මෙම බිං කොහොඹ ශාකය නිවසේ වගා කිරීමෙන් ඇතිවන ප්රතිලාභය මෙතෙකැයි කිව නොහැකිය.
තවත් ඖෂධීය සාරයන්ගෙන් පිරිපුන් දන්නා ශාකයක නොදන්නා ගුණත් සමඟ “සුව ධරණී” තුලින් හමු වෙමු.
Design by – Samitha Kanshada
Leave a Comment