විශේෂ දිනයන්

බිත්ති හතරේ අවුරුද්ද

ඉස්සරම ඉස්සර ඉස්කෝලෙ බක්මහ නිවාඩුව දිග ය.දැන් නම් අපිට සති දෙක ය.උට උඹට එක එක ⁣දවස් අඩු ය.තවත් අයට එදාටත් ඉස්පාසුවක් නැති ය.ඉස්සරම ඉස්සර අලුත් අව්රුද්දකට සතියකට මෙහා අම්මා පහල වෙලෙ ගෙදර පුංචම්මලාගේ දිහාට යන්නේ මට ගවුමකුත් මල්ලී ට සරමකුත් කමීසයකුත් මසන්නට ය.පුංචම්මා එහේ මෙහෙ හරවා ගන්නා මිම්මෙන් අලුත් අව්රුදුදාට කලිංදා ලැබෙන අලුත් රැලි ගවුම ගැන සිහින දකින්නී මා ය.දැන් ඒතරම් කරදර කිසිවකුත් නැති ය.ඔ්නෑතරම් මගේ මිම්මටම මැසූ තරමක රෙදිපෙරෙදි කොහෙන් කොහෙන් හෝ මිලට ගත හැකි ය.ඉතින් දැන් සිහින දකින්නට නැති ය.තාත්තා ගෙනා ⁣බාගෙට ඉදුණු කෙසෙල් කැන් අයියා සමඟ එකතු වී වත්ත පහල දුම් ගසා ඉදවන්නට අද උවමනාවක් නැත.ඉදුණත් නැතත් පොත්ත කහ කෙසෙල් කඩ පිලෙන් කලින්ම ගෙන්වා ගැනීමට හැකි වීම කෙතරම් සහනයක් ද?අම්මා දැන් කොකිස් බදින්නෙ නැති ය.අක්කා කලියෙන් ම ඇනවුම් සියල්ල බාර දී ඇත.ඉස්සරම ඉස්සර වගේ රසම කැවුමට රණ්ඩු වෙන්නට මල්ලී අහලක නැත්තෙ අව්රුදු ස්පෙෂල් කොම්පියුටර් ගේමි අහවර නොවුනහොත් අලුත් අව්රුද්දට පස්සෙන්දා දිනන්නට නොහැකි වූ මගහැරුනු සෙල්ලම් හිතට කරදරයක් වන නිසා විය හැකි ය.ඔන්චිල්ලා බදින්නට හයිය ලණු කඩේ අහලකවත් නැති ය.ඉතින් ඔන්චිල්ලා බැදෙන්නේ නැති ය.පංච කෙලිනවාට වඩා ඉස්කෝලෙ හෝම් වර්ක් ඉවරයක් කර ගත යුතු ය.අසයිමන්ට් නිසා ඉවරයක් කර ගත යුතුව ඇති එපිසෝඩ් සීයක් දෙසියකුත් ඉතිරි ය.ඉස්සරම ඉස්සර වගේ අලුත් අව්රුදු කෑම මෙසේට ගනුදෙනු කරන්නට කඩේ මාමා එන්නේ නැති ය.ඉතින් බුලත් කොලේ එතූ පහේ කාසියත් ලැබෙන්නේ නැති බව ඇත්ත ය.පහට වඩා ලොකු කොළ මිටි සමහරක් වෙලාවට විතරක් ම අත මිට මෙලවෙනවා මතක ය.ලිදත් එක්ක ගනුදෙනු කරන්නට ලිං ගැන අපි දන්නෙ නැති ය.ඉස්සරම ඉස්සර පුංචි කලෙකුත් අරං වතුර ගණුදෙනු කරා මතක ය.දැං ටැප් ලයින් නිසා ලොකු අවුලක් ගන්නට දෙයක් නැති බව කිව යුතු ය.නෑගම් කියා යන්නට ගෙවල් දහයක් වත් තිබේනම් සතුටක් නමුදු අන්තිමේ උනුන් කරනා නොකරනා යුතුකම් වගකීම් දැක බලාගෙන ඉල්ලා හිත් රිද්දා ගත යුතු නොවන නිසා හරි පරිස්සමට නෑගම් යා යුතුව ඇත.ඉස්සරම ඉස්සර වාගේම නැති නෑදෑකම් දැන් ඇති නො⁣වන්නේ ය.නැතිනමි නැතිය.ඇති ඒවාත් නැති වේ නම් නෑගම් ගැන කවර කතා ද.සයිබර් අවකාශයේ සැරිසරන අව්රුද්ද පිටසකවල විහිළුවක් වෙද්දී එකම එක දවසක් වත් එක කෑම මේසයක කැම කටක් කන්නට අම්මා වරුන් මග බලන සමයක් ගෙවෙන බැව් දනිමි.සූර්යයා වටේ ගියත් එකය මට නැතත් එක ය.මට ටොලමී වන්නට උවමනාවක් නැති අතර අප දන්නා විද්‍යාව සිනහනොවෙමි.නමුදු සංශෝධනය විය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකුත්,නීතියකුත්,දියවන්නාවකුත් පසෙකින් තබා අව්රුදු සංස්කෘතිය සංශෝධනය විය යුතුයැයි මා නොසිතමි.පොතෙන් කියවූ අව්රුද්දත්,තාත්තා දුටු අව්රුද්දත් මට හිමි නැත.මා දුටු අව්රුද්ද අයියාගේ පොඩි එකාට දෙන්නට මට නොහැකි බැව් දනිමි.ඌ දැවටී අසනා අව්රුද්ද නිලා කූරු මිටකින් හෝ බඹර චක්‍රයකින් ඌ ඉගෙන ගනු ඇතැයි සිතමි.තම තම නැණ පමණින් අනෙකාගෙ සතුට ගෞරවයෙන් වැළද ගනිමි.මේ අව්රුද්ද නුඹ ට නොව.මේ අව්රුද්ද ඔවුන්ට ය.අලුත් අව්රුද්ද ට ආදරේ උන්ට ය.

ප.ලි. මට ළමා කාලයක් තිබූ හෙයින් අලුත් අව්රුද්ද දැන දැක විද ඇත.දැනුදු ඒ අව්රුද්ද ඔහේ ගෙවෙන බැව් සැබෑ ය.ඉගෙන ගත යුත්තේ අත්දැකීමෙන් බව දනිමි.ඉතින් උන්ටත් උගැන්මට අවුරුද්දක් ඉතුරු කරමු.

සුබ අලුත් අවුරුද්දක් වේවා !

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

පවිත්‍රානි දිසානායක

නීති පීඨය - උපාධිධාරි
කොළඹ විශ්වවිද්‍යාලය

Leave a Comment