විසල් මේ අහස යට සිනහවට මං කීව
තරුව නුඹ විය මගේ අඳුරු ලොව සැරසූව
කටු ඇතිරු මගක වණ වූ දෙපා සුවකෙරුව
නුඹයි සැනසුම උනේ සිත් තැවුල් පිස දැමුව
මලක රොන් බොන්න ආ බඹරෙක්ට වූ හදිය
මලෙහි විස උහුලන්න බැඳි පෙමින් උරුම විය
හිමිවුනත් මළ හිතක් තෑගි කර පලා ගිය
පැතුවෙ සැමදා සතුට මට අහිමි වෙලා ගිය
දැවෙන ගිනි නිවන පිනි හිතට එබිකම් කරන
මහමෙරකි ඉඩෝරෙට සිත මඳක් සැනසෙන්න
හද පත්ල දෙදරමින් නැගෙන කල නුඹෙ වුවන
සීතලත් පහව යයි හුරුයි මට හද ගින්න
පියනැගූ මං පුරා මා සමඟ දොඩමලුව
යළි දෑත් පටලවන් ඔහුට පෙම් බස් දෙඩුව
නුඹ ඇවිත් ඇවිලෙව්වෙ හිතයි මා නිවාලුව
නුහුරු ඒ විරහවට හුරු වෙමින් කල් ගෙව්ව
සැනෙන් බිඳ දමා හිත මටද මා අහිමි කල
නුඹම යළි අයැදින්නෙ ඉඩක් එහි පූදින්න
හැර ගියද තවකෙකුගෙ පොතෙහි පිටු සරසන්න
මා තවම උන් තැනම බැහැ වචන ගලපන්න
මගෙන් ලද ආලයේ නොලද හැඟුමන් සොයා
ඔහුට හිත දී රිදුම් ලද හෙයින් ආ නියා
වචනෙකින් වත් ඇනුම් නොකී මගෙ පෙම සොයා
පැමිණියද සිත බයයි කැළැල් නැහැ වියැකිලා
Leave a Comment