හැම අවුරුද්දක ම සැප්තැම්බර් කියන්නේ සාහිත්‍යය මාසය..කොටින්ම අවුරුද්ද පුරාම කටින් කියවපු බොහෝ දෙනාට ඇත්ත ට ම පොතක් කියවන්න හිතෙන්නේ මේ සැප්තැම්බර් මාසේ..කොහොම උනත් මිනිස්සූ කියවන එක හොඳ දෙයක් ඒක මම නෙවෙයි “මැක්සිම් ගෝර්කි”කීව දෙයක්..අතීත රුසියානු විප්ලවවාදී නායකයින් තමන්ගේ ජනතාවට කීවේ..”විප්ලව කරන්න කලින් කියවන්න, දැනුම මුවහත් කරගන්න එතකොට පුලුවන් විප්ලවය දිනන්න”.ඉතින් ඒ කාලේ ඇතුළේ ඉතාම සාර්ථක රුසියන් ග්රන්ථ විශාල ප්‍රමාණයක් නිකුත් උනා..මං පෞද්ගලිකව අදටත් විශ්වාස කරන්නේ රුසියානූ විප්ලවයේ සාර්ථකත්වය ට බලපෑ ප්‍රධානම හේතුව ඔය පෙර කියපු ග්රන්ථ ටික.
හැබැයි මගේ කථාව ඈත එපිට රුසියාව ගැන නම් නෙවෙයි (රුසියාව ගැන වෙන දවසක කතා කරමු)..උදේ හවස 154 බස් එකෙ යන අය දකින BMICH එකේ සාඩම්බර අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය ගැන..මේක ඇත්ත ටම මාර වැඩක් මිනිස්සූ කියවන්න උනන්දු කරවන කියවීමේ ආසාව වැඩි කරන හරිම වැදගත් වැඩක්..”කියවන ජාතියක් කියන්නේ කිසිදා බිඳ නොවැටෙන රාජ්‍ය යක් “..කියවීම තුළින් පුලුල් වෙන්නේ ඔබේ සිතිමේ වපසිරිය සහ නිර්මාණශීලී ත්වයේ සීමාව..මේ නිසා තමා බොහෝ උගතුන් කියන්නේ “කියවීමෙන් මාව ශාප් වෙනවා “කියලා.BMICH කියන්නේ ඉතින් ඔබට ඔබවම මුවහත් කරගන්න තියෙන හොඳම තැන..
මං නිතරම දැක්ක දෙයක් තමා ආදරයකරන තරුණ යුවළවල් බුක් ෆෙයාර් එකට නිරන්තරයෙන් එනවා..ඒම එනවා දැක්කම මට සතුටු හිතෙනවා ..ඇයි ඒ???මුලු ජිවිතේම ෆේස් බූක්,වට්ස් අප්,වයිබර් කියන සයිබර් අවකාශයේ ගිලෙන වෙලාවක ..ආදරය කරන, ජිවිතේ ගැන ඉගෙන ගන්න උත්සාහ කරන දෙන්නෙක් පොතක් පතක් කියවනවා කියන එකම ලොකු දෙයක්..හැබැයි ඔවුන් හාෆ් ශීට් බණ්ඩල් එකක් අරගෙන මැගී එකක් කාලා අයිස් ක්‍රීම් එකක් කන ගමන් ගේට්ටුවෙන් එළියට යන කොට නම් මට අනේ අපොයි කියලා හිතෙනවා..හොරණ ඉදන් බස් එකේ වියදම් කරගෙන බුක් ෆෙයාර් ඇවිත් හාෆ් ශීට් බණ්ඩල් එකයි,ඇට්ලස් පොත් තොගයකුයි,පෑන් පැන්සල් මිටියකුයි අරගෙන හිනා වෙවී යන අක්කලා සෙට් අපිට බුක් ෆෙයාර් එකේදී හම්බුනා.කමක් නෑ විවිධාකාරයේ පාඨකයෝ ඉන්නේ කියලා ඒ වෙලාවට මම හිත හදාගත්තා.
කොළඹ බුක් ෆෙයාර් එක හවසට ලස්සනයි ..රාජකාරි ඉවර උන බොහො දෙනා සැහැල්ලු සිතින් විදුළි පහන් එළියෙන් ඒකාලෝක උන වතුර මළ ළඟින් පොත් පරිශ්‍රය ට ඇතුළ්වෙනවා..තැනින් තැන දැල්වෙන විදුලි පහන්..ගත් පොත සිමෙන්ති පොළවේ ඉදගෙන කියවන වියපත් මිනිසෙක් ..ජිවිතේ ගෙවූ සැතපුම් කණු ගනන විදහා දක්වන ගිළුනු බොර පැහැති ඇස් වලින් මිලට ගත් පොතක අකුරු අසීරුවෙන් ,උපැස් යුවළ සකසමින් ඔහු කියවයි. මිලට ගත් පොත් පාර්සලය පසෙකින් තබා පෙම් කෙළින තරුණ යුවළක් .තවත් කොනක තමා මිලට ගත් “මාක්ස්වාදයේ මුලික සංකල්ප “විදුළි පහන් එළියේ කියවමින් දුම් පානය කරන තරුණයෙක්..තවත් ඈත කොනක ශාස්ත්‍රීය සංගීත සැදෑවක් ..හැම තැනම වෙනස් ඒ වගේම ලස්සනයි ,පොත් එක්ක මිනිස්සූ මෙච්චර ම යාලූ ද කියලත් වෙලාවකට මට හිතෙනවා.. …
මං කියන්නේ බුක් ෆෙයාර් ලස්සනයි …විකිණෙන විකුණන ඔබ අපි හැමෝටම..මැගී කන්න,අයිස් ක්‍රීම් කන්න අමතක නොකරන්න.හැබැයි පොතකුත් ගන්න..එය ඔබේ ආත්මය සතුටෙන් පුරවා දමනවා නිසැකයි..
බුක් ෆෙයාර් කොතරම් අවුල් යැයි කීවද,නැවත ලබන අවුරුද්දෙත් පැමිණෙන්නේ පෙර කී ආස්වාදය ලැබීමෙ පරම තණ්හාවට සහ ආත්මය සතුටෙන් පුරවා දැමීමට ඇති ආශාව නිසා..ඉතින් තවම ඇරඹුනා පමණී යන්න පොත් සයුරක කිමිදෙන්න මැගී නූඩ්ල්ස් කමින්.
H.T
Leave a Comment