දැනුම

බුද්ධිය, ජාන, කර්මය සහ විරිය

බුද්ධිය කියන තොප්පිය එක් එක් කෙනාට එක් එක් විදියට මාරු වෙන්නෙ කොහොමද?

ඒ,
ඔවුන්ගේ ජානමය පසුබිම නිසාද?
කර්ම ශක්තිය නිසාද?
නැත්නම්,
ඔවුන්ගේ උත්සාහයෙ තරම නිසාද?
*****************

බුද්ධිය සහ ජාන අතර තියෙන සම්බන්ධය මොන වගේද?

ජාන කියන වචනය අපි කවුරුත් අහලා තියනවා. ඒත් ඇත්තටම ජානයක් කියන්නෙ මොකද්ද…? ඇත්තටම ජානයක් කියන්නෙ DNA හෝ RNA අණුවක තියන නිශ්චිත නියුක්ලියෝටයිඩ අනුපිළිවෙලක්. මිනිස්සුවන අපිට නම්, DNA අනුවක තියන නිශ්චිත නියුක්ලියෝටයිඩ අනුපිළිවෙලක් කියන එක තමයි හරි. ඇත්තටම DNA අණු හැදෙන්නෙ මේ නියුක්ලියෝටයිඩවලින්ම තමයි. ඩිඔක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ වලින් DNA ත් රයිබොනියුක්ලියෝටයිඩ වලින් RNA ත් ඇතිවෙනවා. මේ ජාන කියන දේ හරිම පුදුමාකාරයි. මොකද මේ ජාන වලින් තමයි ප්‍රෝටීන වල ඇමයිනෝ අම්ල අනුපිළිවෙල තීරණය කරන්නේ. මේ ප්‍රෝටීන තමයි අපේ හැම ක්‍රියාවලියටම වගේ සෘජුවම හෝ වක්‍රව දායක වෙන්නේ.

ඉතිං හොඳම දේ තමයි, එක්කෙනෙක්ට තියන ජාන තව කෙනෙක්ගෙ ජාන වලට 100% ක්ම සමාන නැති එක. ඉතිං ඒක නිසා තමයි අපි හැමෝම එකිනෙකාගෙන් වෙනස් වෙන්නෙ. සරලවම කිව්වොත් කෙනෙකුගේ බුද්ධි ප්‍රමාණය තීරණය කරන්නෙත් මේ ජානමයි. මොකද අපි හැමෝම දන්න දෙයක් තමයි සමාජයේ ඉන්නෙ විවිධ බුද්ධි මට්ටම් වල මිනිස්සු කියන එක.

මේ බුද්ධිය කියන එක තීරණය කරන්නෙ තනි ජානයකින් නෙමෙයි. ඒකට ජාන විශාල ප්‍රමාණයක් බලපානවා. මේ ජාන ප්‍රමුඛ වන ප්‍රමාණය මත අපේ බුද්ධි මට්ටම තීරණය වෙනවා.

ඒ කියන්නේ… හිතන්න, කෙනෙක්ගෙ බුද්ධිය සඳහා තියන ජාන වලින් ගොඩාක් ප්‍රමුඛ වෙලා කියලා; එතකොට එයාගේ බුද්ධි මට්ටම වැඩියි. ප්‍රමුඛ වෙලා තියන ජාන ප්‍රමාණය අඩුයිනම් එයාගෙ බුද්ධි මට්ටමත් අඩුයි.

ඒත් ඇත්තටම අපේ සමාජය ගත්තහම බහුතර පිරිසක් ඉන්නෙ අතරමැදි බුද්ධි මට්ටම් වල. ඒත් ඩවුන්ස් සින්ඩ්‍රෝම් වගේ ආබාධ තියන අයගෙ බුද්ධි මට්ටම සාමාන්‍ය කෙනෙක්ගෙ බුද්ධි මට්ටමට වඩා අඩුයි. තවත් රෝගී තත්වයක් වන ඔටිසම් රෝගයෙන් පෙලෙන පුද්ගලයන්ගෙ සමාජ කුසලතා, කථන හැකියා අවම මට්ටමක පැවතියත් ඔවුන්ගෙ බුද්ධි මට්ටම ඉතා ඉහළ අගයක පවතිනවා.

එතකොට පුද්ගලයාගෙන් පුද්ගලයාට අඩු, වැඩි, මධ්‍යස්ථ වශයෙන් බුද්ධි මට්ටම් හිමිවන්නෙ ඒ සඳහා හේතු වන ජාන වල ප්‍රමුඛ වීම මත කියලා ඉහතින් විස්තර කලා.

දැන් අපිට අනිවාර්යයෙන්ම එන ප්‍රශ්නෙ තමා ‘ඇයි මෙහෙම උනේ? ‘ කියන එක. ඒ කිව්වෙ එක් පුද්ගලයෙක්ගෙ බුද්ධියට හිමි ජාන ප්‍රමුඛ වෙලා ඉහළ බුද්ධියකුත්,
තවත් කෙනෙක්ගෙ බුද්ධියට හිමි ජාන නිලීන වෙලා පහළ බුද්ධියකුත් හිමි වුනේ ඇයි කියන එක. නූතන විද්‍යාවෙ නම් මේකට දෙන උත්තරේ ‘අහඹුතාවය’ ඒම නැත්තම් ‘ඉබේම’ කියන වචනය.

ඒත් එක් අයෙකුට වැඩි බුද්ධියකුත් තව කෙනෙක්ට අඩු බුද්ධියකුත් හිමි වීම ඉබේ සිදුවීම කෙතරම් සාධාරණ ද?

නමුත් මේ සඳහා වඩාත් නිර්වද්‍ය වූ හේතු දැක්වීම බුද්ධ දර්ශනයේ තියෙනවා. ඒ තමා, එක් එක් පුද්ගලයාගේ පූර්ව කර්මය. බුදු දහමේ එන බොහෝ කරුණු නූතන විද්‍යාවෙන් අද වන විට සනාථ වෙමින් පවතිනවා. මීට අමතරව අපේ ඉන්ද්‍රියන්ට ගෝචර නොවන කරුණු කෙතරම් නම් මේ විශ්වයේ තිබිය හැකිද? අපගේ ඉන්ද්‍රියන්ට ගෝචර නොවන නිසා ඒවා විශ්වයේ නැතැයි පැවසීම සාධාරණ ද?

ඒ අනුව පුද්ගලයෙක්ගේ කර්ම ශක්තිය අනුව බුද්ධියට හිමි ජාන ප්‍රමුඛ වෙනවාද? නැතහොත් නිලීන වනවාද කියල තීරණ වෙනවා.

මේ විදිහට එක් එක් පුද්ගලයෙක්ට උපතින් හිමිවන බුද්ධි මට්ටම වෙනස් කරන්න බෑ.

ඒමයි කියල අපි අත් දෙක බැඳගෙන බලාගෙන පැත්තකට වෙලා බලාගෙන ඉන්න ඕනිද ?

මේක අපේ කරුමෙනෙ, වෙනස් කරන්න බෑනෙ කියල දුක් වෙන්න ඕනිද?

අපි හිතමුකො ඔයාගෙ IQ ලෙවල් එක පොඩ්ඩක් අඩුයි කියලා.ඒක වෙනස් කරන්න ඔයාට අමාරු උනත් ඒකට අභියෝග කරල ජීවිතේ පියවරින් පියවර ඉස්සරහට ගිහින් දිනන්න පුළුවන් විභව ශක්තියක් ඔයාට තියෙනවා.

කර්මය නිසා ජාන පසුබිම්ව ඇති වෙන බුද්ධියට අභියෝග කරන්න පුළුවන් ඒ අති ප්‍රභල සාධකය වන්නෙ අපේ උත්සාහය කියන දේ.

මේ ලෝකෙ දිනපු, වෙනස් කරපු, මිනිස්සු ඔක්කොම අතිශය බුද්ධිමත් අයද?

නෑ… ලොකු උත්සාහයක් තිබ්බ, පට්ට කැපකිරීම් කරපු, දියුණු වෙන්න ලොකු උණක් තිබ්බ මිනිස්සු තමයි ඒම කලේ. IQ මට්ටම ගොඩක් වැඩි බුද්ධිමත් මනුස්සයෙක් කිසිම වීර්යයක් නොකර කම්මැලි කමේ පැත්තකට වෙලා ඉන්නවනම් ඒ මනුස්සයගෙන් රටට ඇති වැඩේ මොකද්ද ? තමන්ට ඇති වැඩේ මොකක්ද ?

අති දක්ෂ සටන් කරුවෙක් වෙච්ච බෲස්ලී මෙහෙම කියනවා;

“මා පහරවල් දහසක් දන්නා කෙනෙකුට බිය නැත. මා බිය වන්නේ එකම පහර දහස් වතාවක් ප්‍රගුණ කල පුද්ගලයෙක්ට ය. ”

ඉතින් ඔබගෙ IQ ලෙවල් එක අඩුයි කියල හිතමු; තත්පරයක්වත් පසුතැවෙන්න එපා; ඇති වෙන්න මදි නොකියන්න වැඩ කරන්න. එතකොට ඔයාව IQ ලෙවල් එක වැඩි ඒත් කම්මැලිකමේ ඔහේ ඉන්න මනුස්සයෙක්ට වඩා දහස් ගුණයක් මේ ලෝකෙට වටිනවා.

තවදුරටත් ජීවිතය කියන්නෙ ඔයාට උපතින් ලැබිච්ච බුද්ධි මට්ටම නෙවේ.ඔයාගෙ තියෙන බුද්ධිය පාවිච්චි කරල ඉස්සරහට යන්නෙ කෝමද කියන ඒකයි.

ජීවිතේ කියන පිටුව ලියන්න තියෙන උත්සාහය කියන පෑන තියෙන්නෙ ඔයාගෙ අතේ. මෙච්චර කල් ඔයා ඔයාගේ බුද්ධිය ගැන පසුතැවෙමින් හිටියනම් මේ දැන්ම ඒක නවත්තන්න. මහන්සි වෙලා උත්සාහයෙන් වැඩ කරන්න; ඔයාට බුද්ධි මට්ටමෙන් ඉහළ මනුස්සයෙක්ට වඩා ලෝකෙට වැඩදායි වටින චරිතයක් වෙන්න අනිවාර්යයෙන් පුළුවන්. අන්න එතකොට ඔයාට වචනෙකින් හරි සමච්චල් කරපු කෙනෙකුට දෙන්න පුළුවන් හොඳම reply එක දීලා ඉවරයි කියලා නිහතමානීව ඔයාට සතුටු වෙන්න පුළුවන්….

Article එක අන්තිමට ඉල්ලන්න තියෙන්නෙ එකම එක දෙයයි. ඔයා බුද්ධි මට්ටමෙන් ඉහළ කෙනෙක් නම් තමන්ගෙ බුද්ධිය ගැන උඩගු වෙන්න එපා. තව කෙනෙක්ගෙ බුද්ධි මට්ටම පහත් කරල කතා කරන්නත් එපා. මොකද කියනවනම් මේ විශ්වයේ කර්මය කියල දෙයක් තියෙන නිසා. ඒක නිසා පුළුවන් තරම් නිහතමානී වෙන්න. පුළුවන් හැම වෙලාවකම තව කෙනෙක්ට උදව් කරන්න.

ඒ යහපත් කර්මය ඔබට මතු භවයේ දී ත් ඉහළ බුද්ධි ශක්තියක් හිමිවීමට හේතු වාසනා වේවි….

…… නිමි…..

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

පැතුම් සඳරුවන්

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment