බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා බුදු සුවඳ බුදු එළිය පැල පුරා ඉහිරිලා බුදු පුතේ නුඹ දිනෙක බුදු වෙයන් කියාලා.. නියත විවරණ දෙන්න යමු මැණිකේ නැඟිටලා........ ඈතින් ඇහෙනවා............. මගේ මතකෙට ආවේ දවසක නුඹ මගෙ උකුලේ නැලවුනු අපුරුව, දත් නැති කටින් අහිංසක ව හිනාවුන ලස්සන, අකුරු අහුලමින් 'අම්මා' කියපු අතීතය... ඒත් ඒ ඉස්සර දවසක.. අද වෙනස්..... පඬු පෙවුනු කහ සිවුරෙ බුදු සුවඳ.... නිවිච්ච ගමන.. බලා ඉන්න ආසයි. දැක්ක ම හිතත් නිවෙනවා.. එදා..... ඒ තාත්තාගේ උකුලේ දඟ කල නුඹ ම ද කියලත් හිතෙනවා... එහෙම හිතෙද්දි , හිත හීනියට රිදීගෙන ඇවිත් සම් මස් ඇට නහර විනිවිද ගිහින් ඇට මිදුලු දක්වා ම කකියවනවා... ඇස් දෙක අස්සට ම ගිහින් බිමට වැටෙන්න හදන කඳුලු බිංදු නවත්තගන්න හිතෙනවා... ඒත්, හිත හයිය මදි වගේ. කඳුලු හංගාගෙන පුතුට දන් බෙදනවා තාත්තා "බත් කටක් කවන්නට හිත ගියත් ලංවෙලා... එපා සිල් ඇවත් වෙයි මව් සෙනේ සිහිවෙලා..." එහෙම ඇහෙද්දිත් මට හිතයි නුඹ ලං කරන් බත් කටක් කවන්නට ඉස්සර දවසක වගේ පව් පිරෙයි ද පුතේ අම්මට පාත්තරෙත් තුරුල් කරන් වඩින පුතුගේ පිං පාට මූණ දිහා බැලුවා කඳුලුවලින් බොඳ වුනු ඇස් අතරින්... හරිම සන්සුන්... සිල් සුවඳ ඉතිරුනු දෙපා ලඟ වැඳ වැටි, "බුදු පුතේ අපිවත් එගොඩ කරපන් මේ සංසාර සාගරෙන් " "සුවපත් වේවා අම්මා" ඒ ශාන්ත හඬ මුලු හිත ම නිව්වා මගේ පුතේ........
Photo Credit : https://www.google.lk/search?q=බුදු+බණක්+කියන්නට&client=ms-android-huawei&prmd=ivmn&source=lnms&tbm=isch&sa=X&ved=0ahUKEwjizbuctfLbAhXQ7GEKHV8PAMUQ_AUIESgB&biw=432&bih=744#imgrc=Ow-q-zVfva0YBM:
Leave a Comment