“මගේ මුහුණට හෝ විලාසිතාවට මිනිසුන් ආදරය කරන රූපයක් නිර්මාණය කිරීමට මම කිසිවිටෙකත් බැලුවේ නැත. ඔව්, එය මගේ මනස තරණය කරයි. නමුත් මම උත්සාහ කරන්නේ මා ඒ මත රඳා නොසිටින තැනක් නිර්මාණය කිරීමටයි.”
-ඉර්ෆාන් ඛාන්-
රංගනය වනාහී කිසිදාක මිලින කළ නොහැකි පුදුමාකාර කලාවකි. රංගන ශිල්පීන් ද කිසිදා මිලින නොවේ. ඒ මන්ද යත් ඔවුන් විසින් නිර්මාණය කළ රසවින්දනය පරම්පරා ගණනක් නොමැකී පවතින නිසාවෙනි. රංගන ශිල්පීන් බිහිවීම අසාමන්‍ය ලෙස සිදුවන වත්මන් ලෝකයේ ඒ අතර වූ නියම ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීන්ගේ ද අඩුවක් නොමැත.
ලොව ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීන්ගේ ලැයිස්තුවේ ඉහළ ස්ථානයක් හොබවන ඉර්ෆාන් ඛාන් නම් ඉන්දියානු රංගනවේදියා ද මෙලෙස රංගන කලාවට නොමැකෙන රසවින්දනයක් ලබා දුන් විශිෂ්ටයෙකි. අසීමිත ලෙස ප්‍රේක්ෂක හදවත් සොරාගැනීමට සමත් වූ ඔහු, පසු ගිය දා අප අතරින් නික්ම ගියේ රංගන ක්ෂේත්රයේ කිසිදා පිරවිය නොහැකි හිස්තැනක් ඉතිරි කරමිනි.
ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ විශාලම නගරය වන ජෙයිපූර්හි මුස්ලිම් යුවලක් වන යසීන් අලී ඛාන් හා සයිදා අලී ඛාන් හට දාව උපන් දෙවැනි දරුවා වුයේ ශහබ්සාදේ ඉර්ෆාන් අලී ඛාන් ය. 1967 වර්ෂයේ ජනවාරි 7 වන දා උපන් මොහුව ලොවක් හඳුනන්නේ ඉර්ෆාන් ඛාන් ලෙස ය. සාමාජිකයන් 6 දෙනෙකුගෙන් සමන්විත වූ මොහුගේ පවුලේ ජීවනෝපාය වූයේ ටයර් ව්‍යාපාරයකි.
ටොන්ක් හා ජෙයුපූර් නගර වල තම ළමා කාලය ගත කළ ඉර්ෆාන් ක්‍රිකට් ක්‍රීඩාවටද දක්ෂයෙකු විය. නැගී එන ක්‍රීඩකයින් සඳහා වූ CK නායුදු කුසලාන තරඟාවලියේ වයස අවුරුද 23න් පහළ අංශයෙන් තරඟකිරීමට මොහු සුදුසුකම් ලැබුවද ගමන් ගාස්තු දැරිය නොහැකි වීමෙන් එම තරඟාවලියට සහභාගි වීමට ඔහුට නොහැකි විය. එයින් පසුබට නොවූ ඉර්ෆාන් වෙනත් මර්ගයකින් ජීවිතය ජය ගත්තේ ය.
ඉර්ෆාන් හට රංගන කටයුතු සඳහා ආභාශය ලැබුණේ එවකට නගරයේ නාට්‍ය කලාකරුවෙකු වූ තම මාමණ්ඩියගෙනි. ඒ මාර්ගයෙන් නාට්‍ය කලාකරුවන් කිහිප දෙනෙක් ම හඳුනාගැනීමට ඉර්ෆාන් ට හැකි වූ අතර වේදිකා නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වීමට ඔහුට හැකි විය.
ජෙයිපූර් නගරයේදීම ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කළ ඉර්ෆාන් පසුව නව දිල්ලියේ ජාතික නාට්‍ය පාසලට ඇතුළු වූයේ තව දුරටත් රංගනය හැදෑරීමේ අභිලාෂයෙනි. කෙසේ වෙතත් දෛනික කටයුතු සඳහා අවශ්‍ය මුදල් උපයා ගැනීමට මොහු නිවෙස් වලට ගොස් වායු සමීකරණ අළුත්වැඩියාවේ නිරත වුණි.
කටුක වුවද කෙසේ හෝ ජාතික නාට්‍ය පාසලේ උපාධිය සාර්ථක ලෙස අවසන් කළ ඉර්ෆාන් එම පාසලේම උපාධිධාරියක හා ලේඛිකාවක වූ සුතාපා සික්දාර් සමග 1995 පෙබරවාරි මස විවාහ දිවියට එළඹුණි. ඔහු පුතුන් දෙදෙනෙකුගේ සාඩම්බර පියෙකි.
පුංචි තිරයටත් සිනමාවටත් තමන්ට ඇති විශාල කාර්යභාරයේ පළමු අදියර ලෙස මොහු මීරා නයිර් ගේ සලාම් බොම්බේ චිත්‍රපටයේ සුළු චරිතයක් නිරූපණය කරමින් රංගනයට ප්රවිශ්ට විය. එයින් නොනැවතී පුංචි තිරයේ නාට්‍ය රැසක ම ප්‍රධාන හා සුළු චරිත යන දෙවර්ගයෙන් ම තම දායකත්වය දැක්වූයේ ය. චානක්‍ය, භාරත් ඒක් ඛෝජ්, සාරා ජහන් හමාරා, බැනජී අප්නී බාත්, ඉන් කිහිපයකි.
තවද විවේචනාත්මකව පිළිගත් චිත්‍රපට වූ කම්ලා කී මෝත්, Such a Long Journey හා තවත් සම්මානලාභී චිත්‍රපට රාශියකට ඔහු රංගනයෙන් දායක වුණි. වර්ෂ 2004 දී ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලේ මොහුට හාසීල් චිත්‍රපටය සඳහා විශිෂ්ටතම ඍණාත්මක භූමිකාව සදහා සම්මානයක් පිරිනැමුණි. බොලිවුඩයේ ප්‍රථම වරට ප්‍රධාන චරිතය ලෙස මොහු දායක වන්නේ Rog චිත්‍රපටයේ ය. එහිදී මොහුගේ රංගනය බොහෝ සේ පැසසුමට ලක් වුණි. ඉන් පසු බොක්ස් ඔෆිස් වාර්ථා තැබූ Name sake, Life in a… Metro, Gunday හා ජාත්‍යන්තරව ඇගයීමට ලක් වූ Slum dog Millionaire ඇතුළු චිත්‍රපට රාශියක් තම රංගනයෙන් පොහොසත් කිරීමට ඔහුට හැකි වුණි.
ඒ අතර සම්මාන රාශියක් හිමි කරගැනීමටද ඔහු සමත් වුණි. 2007 වර්ෂයේ Independent Spirit Awards සම්මාන උළෙලේ The Name sake චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහාය නළුවාට හිමි සම්මානය, 2008 වර්ෂයේ Filmfare Awards සම්මාන උළෙලේ Life in a Metro චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහාය නළුවාට හිමි සම්මානය, 2013 වර්ෂයේ National Film Awards හා Filmfare Awards සම්මාන උළෙලවල් දෙකෙහිම පාන් සින් තොමාර් චිත්‍රපටය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය හා 2014, 2018 වර්ෂ වල ද හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබිමෙන් මොහුගේ රංගනයේ විශිෂ්ටත්වය විද්‍යමාන වේ.
2011 වර්ෂයේ ‘පද්ම ශ්‍රී’ සම්මානයෙන්ද පිදුම් ලැබූ ඔහු ශ්‍රේෂ්ඨ රංගන වේදියෙකු බව තවදුරටත් කියාපායි. හොමී අඩජානීයා විසින් අධ්යක්ෂිත Angrezi Medium චිත්‍රපටය 2020 මාර්තු 13 තිරගත වෙද්දී එය ඉර්ෆාන් ඛාන් රංගනයෙන් දායකු වූ අවසන් චිත්‍රපටය ලෙස වාර්තා අතරට එක් වේවී කියා කිසිවෙකුත් නොසිතන්නට ඇත.
2018 මාර්තු මස ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසා සිටියේ තමන් නියුරෝඑන්ඩොක්රයින් පිළිකාවකින් පෙළෙන බවයි. බ්‍රිතාන්‍යයේ වසරක් පමණ ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව ඔහු 2019 පෙබරවාරි මස නැවත තම මවුබිමට පැමිණියේ ය. 2020 අප්‍රේල් 28 වන දින මුම්බායි හි රෝහලකට ඇතුළත් කරන ලද අතර එහිදී මහබඩවැලෙහි ආසදනයක් සඳහා ප්‍රතිකාර ගනිමින් සිටියදී පසු දින එනම් 29 වන දින ඔහු නැවත නොඑන්නටම දෙනෙත් පියා ගත්තේ ය.
වර්ෂ 30 කට අධික කාලයක් ප්‍රේක්ෂක හදවත් මන්මත් කළ මෙම ශ්‍රේෂ්ඨ කලාවේදියාගේ හදිසි නික්ම යෑම ඉන්දියානු රංගන කලාවට දැඩි කම්පනයක් වූවා නොඅනුමානයි. කෙසේ වෙතත් ඔහුගේ ශ්‍රේෂ්ඨ රංගන තවත් දිගු කලක් ප්‍රේක්ෂක හදවත් තෘප්තිමත් කිරීමට දායකවනු ඇත. එනිසා ඉර්ෆාන් කාන් නාමය අප අතර සදාකාලිකවම ජීවමානව පවතිනු ඇත.
Leave a Comment