විසි හතර පැය වෙහෙසිලා හම්බ කරගත් සොච්චමත්
නිකරුණේ වියදම් කලේ සොයන්නට රස බෝතලේ
වේල් තුන හරි හැටි නොකා අකාලේ වයසට ගොසින්
රැලි ගැසුණු ඔබෙ මුවඟ පවසයි වින්ද දුක් වැඩි බව ඉතින්
අද වේලපහ ගෙදර එන්නට කීව බස් අමතක කලා
තැබෑරුම ලඟ ජීවිතේ සැප සොයා ගොස් මම රැවටුණා
බැන්ද අලුතම එකට එක්වී ලෝකයක් ගෙත්තම් කලා
තවම ඒ ලොව හීනයක් වී මදුවිතින් හෙම්බත් වුණා
හෙට දිනක් නැති මගේ පොඩි උන් කඳුලු හලමින් හැඬුවොතින්
උන්ගෙ හිස් බඩ නැඟෙන ගින්දර සාප දේවිද මා නමින්
සෙමින් නොව දැන් වේගයෙන් ගැහෙන මාගේ හිත යටින්
එන්නෙ වැලපුම් පසක් කරගෙන මටම ගැරහුම් සහ බැනුම්
නමක් දන්නැති කරුම ලෙඩවල් ඇඟ පුරා මගෙ විසිරුණා
මැරෙන්නට ලඟ ලඟම දිනයක් මගේ දෛවයෙ ලියවුණා
පපුව රූරා ගැලූ ආදරෙ බෝතලේ යට සැඟ වුනත්
කෙලස පවසනු ඔබට ආදරෙ තවම මං කරනා බවක්
එදා ඔබ මම එකට හිදගෙන පාට තවරපු හීන පොදි අද
ඔබගෙ හිස මත තබා යන්නෙමි සමාවනු මගෙ රත්තරන්….
Leave a Comment