ආදරය සාමාන්‍ය

මගේ හිතත් කියවන්න (දෙවන කොටස )

අංජලීගේ කටහඩ සෙමින් තුනී වී යන්නාක් මෙන් ආදිත්‍යයට දැනුණි. ඔහු තම අතීත මතකයකට පිවිසුනේ ඔහුටත් හොරාය.

ආදිත්‍ය මොනවද ඔයා ඔය තරම් කල්පනා කරන්නේ? ඔයා මන් කියන දේ අහගෙන නෙවෙයි නේද ඉන්නේ?”

“අංජලී ඇයි ඔයා මට උදව් කරන්න හදන්නේ මෙච්චර?”

“ආහ්හ් එකද දැන් ඔයාගේ ප්‍රශ්නේ?”


ඔහු කිසිවක් නොකියා සෙමින් හිස සැලුවේය.

“මගේ academic වැඩ වලට ඔයා කොච්චර උදව් කරලා තියෙනවද? මන් ඔයාට ණයගැතියි ඒඋදව් වලට.

එකයි මන් මේ වැඩේට ඔයාට උදව් කරන්නේ”

“බොරු කාරී!” ඔහු දඟකාර සිනාවක් පාමින් කීවේය.

” ආහ්හ් නැත්තම් මං මොකටද උදව් කරන්නේ? වෙන හේතුවක් නැහැ නෙ” අංජලී ඇගට පතට නොදැනී කීවාය.

” ඇත්තටම වෙන හේතුවක් නැද්ද?”

” මන්දා….” ඇය මිමිණුවාය.


කෙලින්ම ඔවුනොවුන් කිසිවක් ප්‍රකාශ නොකළද ඔවුන් දෙදෙනා බොහෝ සෙයින් සමීප වී ඇති වග දෙදෙනාම දැන සිටියහ. නමුත් එය ප්‍රේමයක් ලෙස එළිපිට ප්‍රකාශ කිරීමට තව කාලය අවශ්‍ය බව ආදිත්‍ය දැන සිටියේය. 
ඔහුට තවමත් ඇය මුණ ගැසුණා පමණි.

මීට මසකට පෙර ඇයව මුලින්ම මුණ ගැසුණු දිනය ඔහුට අද මෙන් මතකය. 


2013.05.06


කැලිෆෝර්නියා සරසවිය     
                                

 විද්‍යාර්ථීන් අධ්‍යනයන්ට නිතර පරිහරණය කරන කියවීම් ශාලාවක් විය.

 අංජලී එහි කොණක වාඩි වී නියුරෝන විද්‍යා පොතක් දිග හැර ගෙන සිටියාය. කියවීම් ශාලාව තුළ සිටියේ ඇයත් තවත් තරුණයෙකුත් පමණි. අවශ්‍ය පෑන් පැන්සල් ආදිය  පසුම්බියක දමාගෙන යාම කුඩා කළ පටන් අංජලී පුරුදු වූවකි. කල් ගත වුවත් ඒ පුරුද්ද ඇය කෙරෙන් දුරු වී නොතිබිණි. 
සුපුරුදු ලෙස අයගේ පසුම්බිය නියුරෝන විද්‍යා පොතට පිටුපසින් අනෙක් පොත් වලට පැත්තෙන් තබා තිබිණි. භාර දිය යුතු නිබන්ධනය සිහියට එත්ම අංජලීගේ සිතට අපහසුතාවයක් දැනුණි. කථිකාචාර්ය වරියක ලෙස ඇයගේ අනාගතය නිබන්ධනයේ සාර්ථකත්වය මත රඳා තිබිණි.  නිබධනය සදහා හොඳ ප්‍රතිචාර ලැබුණොත් මහාචාර්යවරයෙකු යටතේ තව දුරටත් මෙම ක්ෂේත්‍රය ගවේෂණය කිරීමට ඉඩ ලැබේ.
නිබන්ධන මාතෘකාව සම්බන්ධයෙන් අංජලී තුල දළ අදහසක් තිබුණද එය සාර්ථක වේ ද යන්න ගැන ඇය තුල වූයේ දෙගිඩියාවකි. ඒ සදහා බොහෝ පොත් කියවා දැනුම තර කර ගත  යුතුය.

මාස දෙකකින් ආපහු බාර නොදී දඩ ගොඩ ගැසුණු ඇල්බෙයා කැමූගේ පොත වහාම බාර දිය යුතු බව ඇයට සිහි වුයේ එවිටය. හුනස්නෙන් වහා නැගී සිටි අංජලී පොත් මිටියද දෝතින් ගෙන පුස්තකාලය දෙසට පිය මැන්නාය

හිස් ස්වභාවයක් ඉසිලු කියවීම් ශාලාවේ ආදිත්‍යට ඉදිරිපිටින් වූ මේසය මත ඇයගේ හුරුබුහුටි පසුම්බිය අමතක වී ගොස් තිබිණි.

“කථිකාචාර්ය අංජලී කපූර්,

ජීව විද්‍යා අධ්‍යයනාංශය,
කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලය,
අමෙරිකා එක්සත් ජනපදය.”

 

ආදිත්‍ය හැදුනුම්පත දෙස බැල්මක් හෙළුවේය. ඉන්පසු එළඹුණු හදිසි තීරණයකට අනුව ඔහු වේගයෙන් පුස්තකාලය දෙසට පා තැබුවේය.

පොත් නිකුත් කරන කවුන්ටරය අසල යමක් සොයමින් සිටින අංජලීව හදුනා ගැනීමට ඔහුට අසීරු නොවීය.

සෙමින් උගුර පෑදු ඔහු දෙස ඇය ප්‍රශ්නාර්ථය මුසු බැල්මක් හෙළුවාය. ඔහුගේ අතෙහි වූ පසුම්බිය ඇයගේ නෙත ගැටුණේ එවිටය.

“මේක ඔයාට කියවීම් ශාලාවේ බැරි වෙලා ගිහින් තිබුණා”  ඔහු ඇයගේ රූමත් මුහුණ දෙස බලමින් මුදු ස්වරයෙන් කීවේය.

” අනේ ගොඩක් ස්තුතියි! මගේ සිහියේ හැටි ඔහොම තමා. නියුරෝන ගැන කියවන්න ගිහින් ඇත්තටම මගේ ඔලුව අවුල් වෙලාද කොහෙද?”

“එත් ඔයා ඒ subject එකට ආසයි නේද?

” ඔව් මං මේ නිබන්ධනයට කරුණු වගයක් හොයනවා. තාම හොඳ පොතක් හම්බුණේ නැහැ. හැම පොතකම තියෙන්නේ එකම සාම්ප්‍රදායික දේවල්. මන් හිතන විදිහට ගැළපෙන පොත් එකක්වත් නැහැ” ඇය නෝක්කාඩුවක ස්වරූපයෙන් කීවාය.

” හෙන්රි ලොක්හාර්ට්ගේ  “නියුරෝන විද්‍යාව පිළිබඳව නව ඇසකින්” කියන පොත කියවන්න. ඒක තියෙන්නේ තුන්වෙනි තට්ටුවේ කෙළවරේම මනෝවිද්‍යා පොත් රාක්කේ. 
එකයි ඔයාට අහු වෙන්න නැත්තේ. ඒ පොතේ ගොඩක් හොඳ අදහස් තියෙනවා නිබන්ධනයක සාකච්ඡා කරන්න සුදුසු!”

“ගොඩක් ස්තුතියි හැම උදව්වකටම, මම ඒ පොත බලන්නම්. ඔයත් ඒ subject එකද ඉගෙන ගන්නේ? ඔයා ලෙක්චර්ස්ලගේ රූම් එකේ ඉන්නවා මං කවදාවත් දැකලා නැහැනේ”

” මම lecturer කෙනෙක් වගේ පේන්නේ නැත්තම් final year ළමයෙක් කියලා හිතා ගන්නකෝ, මං ගිහින් එන්නම්”

” කෝ නම වත් කිව්වේ නැහැ නෙ”

අංජලී එසේ පවසන විටත් ඔහු උපහාසය මුසු බැල්මක් හෙලා පුස්තකාලයේ තරප්පු පෙළ බැස ගොස් අවසන්ය.

” පිස්සු කොල්ලෙක්!” ඇය තමාටම මුමුණා ගත්තාය


………………..මතු සම්බන්ධයි……………………….

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

ධරණී වීරසේකර

නීති පීඨය- උපාධිධාරිනි
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment