දැනුම

මදුරුතලා

සුන්දර හෙළදිවේ ඖෂධීය සාරය සොයා යන Colombo Beacon “සුව ධරණි” චාරිකාවේ තවත් එක් පරිච්චේදයක් මෙලෙස වෙන් වන්නේ වන්දනීය වූ “තුල්සි” මාතාවට යි.

මදුරුතලා

ඉංග්‍රීසි නාමය :- Holy Basil
උද්භිද නාමය :- Ocimum sanctum
වෙනත් නම් :- තුල්සි, තුලසී, විෂ්ණුප්‍රියා, සුරසා, ශූලඝ්නී, ග්‍රාම්‍යා, ගෞරි, විෂ්ණුවල්ලභා

ලංකාවේදි මදක් අඩු අගයක් ඇත්ත ද ඉන්දියාවේ වන්දනීය වූ ශාකයක් ලෙස මදුරුතලා ශාකය හැඳින් විය හැකියි. භාරතීයයන් මෙන්ම අප රටෙහි ද්‍රවිඩ ජනතාව දේව පූජා පිණිස ගනු ලබන තුල්සි නැමැති කුඩා ශාකය මදුරුතලා ය. තුල්සි පත්‍ර පිවිතුරු මෙන් ම පූජනීය ද්‍රව්‍යයක් ලෙස හින්දු භක්තිකයන් විශ්වාස කරති .

ලංකාවේ සෑම ප්‍රදේශයකම පාහේ මදුරුතලා ශාකය දක්නට ලැබේ. සම්පූර්ණ ශාකයම ඖෂධ සඳහා යොදා ගනී. මදුරුතලා මල් පිපුණු විගස ගස උදුරා හොඳින් වියළා කැබලි කර පිරිසිදු බඳුන්වල අසුරා වියලි ස්ථානයක ගබඩා කර නැවත භාවිතයට ගත හැකියි.

මදුරුතලා ශාකයේ ප්‍රභේද හතරකි
▪️මහාතලා
▪️මදුරුතලා
▪️සුවඳතලා
▪️හීන්තලා

මෙහි වන්දනීය ප්‍රභේදය වන්නේ මදුරුතලා ය. මදුරු තලා ද වර්ග දෙකකි. කඳෙහි පැහැයෙන් මදුරුතලා වර්ග දෙක හඳුනා ගත හැක.

▪️දම් පැහැයෙන් යුතු කඳ සහිත ශාකය – කෘෂ්ණ තුල්සි
▪️කොළ පැහැයෙන් යුතු කඳ සහිත ශාකය – රාම තුල්සි

හීන්තලා වෙල් ආශ්‍රිතව දක්නට ලැබේ. එමෙන්ම බටහිර සූපවේදයේ බැසිල් කොළ කියා හඳුන්වන්නේ සුවඳතලා ප්‍රභේදයට යි.

ඖෂධීය ගුණ

මදුරුතලා ශාකය සතුව ප්‍රතිශක්තිය දියුණු කරන ගුණය පවතී. ශ්වසන ව්‍යුහ ගත රෝග සඳහා මදුරු තලා බෙහෙවින් ගුණදායක වේ. ප්‍රතිශ්‍යා, කැස්ස, ඇදුම, උණ රෝගයන්හි දී ඖෂධයක් ලෙස යොදා ගත හැකිය.

මදුරුතලා කුසගින්න වඩවයි. ආහාර රුචිය ඇති කරයි. උදර වේදනා සහ කෘමි රෝග නැසීමට ප්‍රයෝජනවත් වේ. හෘදය දුර්වල ඇති අවස්ථාවන්හිදී ආයුර්වේදයේ ද බොහෝ ප්‍රචලිත ඖෂධයකි.

කෙතරම් ඖෂධීය ගුණැති වුවත් මදුරුතලා ශාකය ලංකාවේ ජනප්‍රියව ඇත්තේ මදුරුවන් විකර්ශනය කිරීමේ සුවඳකින් යුක්ත වන නිසා ය. නිවෙස් තුළ මදුරුතලා යුෂ තැබීමෙන් මදුරුවන්ගෙන් හා ජීවාණුන්ගෙන් ආරක්ෂා විය හැකිය.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

පියුමි මධුභාෂිණී

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment