සාමාන්‍ය

මම පුංචිම පුංචි තරුවක්…

මේ වෙලාවේ…… මේ තප්පරේ……මම මොනවාම හරි ලියන්න ඕනේ. නැත්තම් ඊළගට එන තප්පරේ මාව පිපිරිලා දියවෙලා අලුවෙලා නැත්තටම නැතිවෙලා යයි…
මිස්සක,
ඔලුව ඇතුලේ අව්රුදු ගානක ඔයා ගැන හිතලම පැටලිලා ලෙහා ගන්න බැරිව තියෙන එක එක සිතිවිලි කන්දක නූල් බෝලේ මට දැන් එකින් එක ලෙහාගන්න ඕනේ …

මහ කන්දක් තරම් බලාපොරොත්තු ගොන්නක් හදවතේ එක පැත්කක ගොඩ ගැහිලා තියෙනවා… නොහිතාම එකතු කරපු… කියාගන්න පුළුවන් දේවල් වගේම වචන කරන්න බැරි කතන්දර ගොඩක් මං ළග පරිස්සමට තියනවා. පාවෙවී ඉන්න හැම තප්පරේම උපස්තර සිය ගානකට පස්සෙත් මං හිතන් හිටියේ ඔයා එක පාරටම මතු වෙලා මාව බදාගෙන අඬන්නෙපා මැණික කියලා අහේතුකවම මාව තුරුළු කරගනී කියලා… ගින්දර විසික්වෙවී මාව පිච්චෙන හැම තප්පරේම මම විස්වාස කරේ රිදෙන වැඩිම තැන බල බලා ඔයා තාමත් නෑවිදින් ඉන්න හිතන් ඉන්නවා ඇති කියලා… හිතලා හිතලම හති වැටුණම හිත ඇතුළේ ඔහොමම හැංගිලා ඉන්න තැනින් දුවගෙන ඇවිත් හෙන ගහනවා වගේ මා ඉස්සරහා හිටගෙන ඔයා හිනාවෙනකම් මං කොච්චරවත් මඟ බලන් හිටියා මිස්සක…. දිගක් පළලක් නැතුවට මගේ ආත්මෙම ඔයා ගැන උපන්න ආදරෙන් පිරිලා තිබුණා…ඔයා උස වෙන්න ඇති නේද මම හිතුවා… මිටි වෙන්නත් පුළුවන්… කළු ද සුදු ද , නිල් ද කොල ද කහ ද, රැවුලක් තියෙනවද නැද්ද, කොණ්ඩේ දිගද කොට ද නැද් ද කොටින්ම පිරි⁣මියෙක්ද ගෑනියෙක්ද කියලවත් නොහිතා, නොදැන මම හදවතින්ම ප්‍රාර්ථනා කරේ හැමදාම ඉල්ලන ඔක්කොම සතුට උස්සගෙන ඔයා මං ඉස්සරහා හිටගෙන ඉන්නවා දකින්න.

හිත රිද්දගෙන කවි ලියන්න ඕනෑතරම් ඉඩ කඩ තියෙද්දිත් මම බලාගෙනම, බලාගෙනම , බලාගෙනම හිටියා මිස්සක… ඔයා හරියට හැසිරුණේ මම කියලා කෙ⁣නෙක් මේ ලෝකේ නැහැ වගේ. ඒක කොච්චර අසාධාරණයක් ද ? … ඔව් ඔයා හිතක් පපුවක් නැති ගහක් ගලක් වගේ පිටස්තරයෙක් වෙන්න ඇති. ඒත් ගස් ගල් පවා කාලේකට උණු වෙනවා මිස්සක… මම දන්නවා… ඔයා හිතන් ඉන්නෙ හැමදේම හරි කියලා. ඒත් ඒ හැමදේම තිබිලත් ඔය වෙලාවකට දැනෙන හිස්කම ඇතුලේ ඉන්නෙ මම කියලා…ඔයා දැනගත්ත දවසක….. එහෙම දවසකවත් මම උන්නොත් …. වචනයකින්වත් මොනවත්ම නොකියා ඇවිත් මාව තදට තුරුළු කරන් අඬන්න. ආත්ම ගානක් තිස්සේ හංගගෙන හිරකරගෙන ඉන්න හැම දේම දියවෙලා කනකන්ම අඩන්න… එහෙම අඬලා ඉවර වෙන දවස වෙනකොටත් අපි හුස්ම ගත්තොත් මට තියනවා දිගම දිග කතාවක් කියන්න…

මිස්සක , ඔහොම ජීවිතෙ දුවනකොට චුට්ටක් නැවතිලා අර අහස දිහා බලන්න. මම පුංචිම පුංචි තරුවක්. ඔයාට පුළුවනිද මාව හොයාගන්න.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

පවිත්‍රානි දිසානායක

නීති පීඨය - උපාධිධාරි
කොළඹ විශ්වවිද්‍යාලය

Leave a Comment