Colombo Beacon නිසදැස්

මල් පිපෙනු වස් නිවනු මැන හදේ අග්නි…

බක් මහක සැර වෙච්ච අකුණු හඬ තලාවි
නිසැකවම නුදුරේම වැහි බිංදු වැටේවි
ළතෙත් බව සුරකිමින ලක් පොළෝධාරී

මල් පිපෙනු වස්
නිවනු මැන හදේ අග්නි…//

පන්ති කුමකට ද අපි එක මවගෙ ජාතියක්
තුන් වේල රැක ගන්න රටම අරගල බිමක්
උණ්ඩයක් නැති කළේ …

පණක් නොව
මනු ප්‍රේමයක්…//

හඳත් වැළපෙයි මෙදා පොඩිඋන්ට එක් වී
සයුරකට තව කුමට කරදියෙන් රැළිතී
ලක් මවගේ කඳුළු ඇත මදි නොකියන්න පේවී

බැඳෙමු පවුරක් ලෙසින
නොබෙදන්න ජාතී…//

නිවනු වස් ඇවිලිච්ච හිත්වලට පැන් ඉහා
නුදුරේම වස්සාවී සොබා දම නඩු අසා
මැර වැර මුගුරු කඩු වෙඩි එක ගොඩක ලා

එදිනට පිපෙති
මල් හත්පෙති පොකුරු ලලා…//

බෙදෙන්නට නොම හෙටක් අවැසිය බැඳෙන්ට
හිරු කුමට තවත් යුද වැදි දේශයකට
අරගල කරමු මතු නූපන් පරපුරට

සිහියට ගනිමු වෛරය නොව ප්‍රේමයම
රටකට ඇවසි හදවත් ඇති මනසක්ය…//

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

විහාරා දිව්‍යාංජලී

ශාස්ත්‍ර පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment