අලංකාර මලකින් හෙබි ශාකයක් ඔබේ ගෙවත්ත අලංකරණය කරගැනීමට යොදාගැනීමට ඔබ දෙපාරක් නොසිතන බව නොරහසකි. බොහෝ ඖෂධීය ශාකවල විචිත්‍ර පුෂ්ප හටගනී.
මෙවර Colombo Beacon සුව ධරණී කතාංගය වෙන්වන්නේ නයනාකර්ෂණීය මලින් හෙබි මලිත ශාකය සඳහායි.
මලිත
උද්භිද නාමය :- Woofordia fruticosa
ඉංග්‍රීසි නාමය :- Fire-flame bush
වෙනත් නම් :- පිල්ලක්කායි, කාම පුෂ්ප, අග්නිජාලා
කොලොම්පුරයෙහි නම ඇසූ පමණින් ඔබේ මනසෙහි මැවෙනුයේ උස් ගොඩනැගිලි වලින් යුතු පුරවරයකි. එපුර අලංකාර කිරීමට මං මාවත් දෙපස රෝස/රත් පැහැයෙන් යුත් ශාකයක් ඔබ නිරන්තරයෙන් දකින්නට ඇත. ඒ ශාකය අන් කවරක්වත් නොව මලිත ශාකය යි.
මලින් පිරී ගිය අතිශය අලංකාර ශාකයක් වන මලිත ශාකය විවිධ පාරිසර සාධක සඳහා හොඳින් ගැලපේ. කුඹුරු, ඇළ දොළ ආශ්‍රිතව බෙහෙවින් දැකගත හැකිය.
මලිත ශාකය Lythraceae කුලයට අයත් ය. .
උස අඩි දහයක් දොළහක් , අතුපතර විදහා වැඩෙන ශාකයෙහි අතු විරුද්ධ දිශාවලට දීර්ඝව වර්ධනය වේ. දළු කොටස සුදු පැහැති බූවකින් ආවරණය වී තිබේ. දිගටි පත්‍ර සහිතය.
රතු පැහැති මලකින් යුක්ත නිසා “කාමු පුෂ්ප ” ලෙස ද, මල් පිපුණු විට දුර සිට බලන විට රතු ගිනි ජාලාවක් මෙන් පෙනෙන නිසා “අග්නි ජාවාලා” නමින් ද හඳුන්වයි.
ආයුර්වේදයේ මලිත ශාකයට ඇත්තේ ඉහල අගයකි. ඖෂධීය ගුණ රාශියකි.
සිරුරේ ඇතිවන දාහය, දැවිල්ල ආදියට සුවය ලබාගැනීම සදහා රණවරා මල් මෙන් මලිත මල් ද වියළා තම්බා පානය කළ හැකිය.
අභ්‍යන්තර රුධිර වහනය වීම්, සුද යාම, වාත වේදනා කැක්කුම්, උණ, ලේ මාලය ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමේ දි ඖෂධයක් ලෙස යොදාගනී.
පිලිස්සුම් තුවාල සදහා ආලේපයට මලිත මල් භාවිතා කරයි .
මළ බුරුලට යාම සදහා ද මලිත මල් ඖෂධයකි. තුවාල පිරිසිදු කරගැනීම සඳහා මලිත මල් තම්බාගත් ජලය භාවිතා කරයි.
මඳ විෂ සහිත කුඩා සතුන් දෂ්ඨ කළ විට ඖෂධයක් ලෙස මලිත දළු භාවිතා කරයි.
මලිත මල් ආයුර්වේදයේ ප්‍රධාන ලෙස භාවිතා කරනුයේ අරිශ්ඨ සහ ආසාව පැසවීමේ දී දර්ශකයක් ලෙස වේ.
උද්‍යාන අලංකරණය සඳහා බහුලව යොදාගන්නා මලිත ශාකය ඔබගේ ගෙවත්තට එක් කරගැනිමෙන් ගෙ උයනට නවමු පෙනුමක් ලැබෙන අතරම ඔබ නොදැන්නුවත්වම ඔබට ඖෂධීය ශාක සංරක්ෂණය සඳහා ද දායක විය හැක.
මූලාශ්‍ර :-
- https://bit.ly/375Zefe
- https://bit.ly/2STj05c
- හොරිවිල වෙද අත්පොත
Design BY -Samith Kanshadha
Leave a Comment