ලියමනක් දැක නුඹේ පෝය දෙක තුන ගියේ
හිතේ කුකුසට ලීවෙ ඒ නිසයි කලබලේ
කුලියකට වැඩක්වත් ලැබෙන් නෑ පෙර වගේ
සත පහක් අත නැතිව මොන සැප ද පැල්පතේ
ගතට නෑ වාරුවක් වසන්නෙත් මරු කටේ
ඉර එළිය වැටෙනකන් හිත දැවෙන සෑය සේ
මැටි ගැහූ බිත්ති දැන් නිච්චි නෑ කොයි වෙලේ
තනි අලියා මහ රෑට අඩි තියයි පිල වටේ
මහ උන්දෑ ගෙට එන්නෙ බීමතින් කරුවලේ
හිතේ හයියට ඉන්නෙ ඉවසගෙන දෙන වදේ
ණය හිලව් බේරන්න වගක්වත් නෑ උගේ
උකස් තිව් කුඹුර නම් සින්න වෙයි එන මහේ
ලොකු එකී ගෙට වෙලා ටික දොහයි ගියෙ පුතේ
පොඩි එකිත් මෝරනව බය ඒකි ගැන මයේ
දණිස් කටු වහගන්න රෙදි කඩක් නෑ මෙහේ
හන්දියේ උන් නිතර කැරකෙනව ගේ වටේ
කරයි මුන් කරච්චල් බඩේ ගිනි වැඩි වෙලේ
පපුවෙ ගිනි කෝටියයි දකිනකොට උන් අනේ
ගේ හරියෙ නෑ මොකුත් වරු තුනම හාමතේ
මෙදා පඩිදාටවත් එනවාද උඹ මෙහේ
Leave a Comment