නිසදැස්

මාතු පාදං නමා මහං

අඳුරු කුටියක්…දිරාගිය මේසයක්..මේසය මත වූ කුඩා පුස්කොළ පොතක්.. පෙරලුවෙමි පිටුවක්..ආඩම්බරය ආරෝපිත අකුරුවලින් එහි “මට චූටි දුවක්”….තවත් පිටු කීපයක්.. බලාපොරොත්තු පිරි අකුරු ගොන්නක්..”මගේ දූ අද ඉස්කෝලෙ යනවා”…තවත් පිටු කීපයක්… නිහතමානී, ආඩම්බරය පිරි අකුරු පෙළක්..”අද මගේ දූ උගත් දරුවෙක්”…දුබල අකුරු..ඉරුණු.. අවපැහැ ගැන්වුණු පිටුවක්.. “පරිස්සමින් ගිහින් එන්න මගෙ රත්තරන්  දුවේ”…කඳුළු කැට වැටිලා…පිටුව බොඳ වෙලා…”එන්නෙ කවදද?”…බලාපොරොත්තු සුන් වූ හිස් සිතුවිලි ගොන්නක සේයාවක්..ඊළඟ පිටු කීපයක වෙව්ලන අතින් ඇඳි ඉරි කෑලි ගොඩක්.. පෙරලගෙන පෙරලගෙන ගියෙමි… කියවගන්න බැරි තරමට බොඳ වූ අකුරු..කඳුලින්.. “තාත්තා මාව දාල ගියා රත්තරන්”…පරාජිත වූ හඬක්…”මැරෙන්න කලින් එකපාරක් මාව බලන්න එන්න මගෙ දුවේ”…පිටු පෙරලන්න බැරි තරමට මගෙ අත හිරවෙලා…ඉහළට ගත්ත හුස්ම පහළට  හෙලන්න අමතකයි මට…ආයාසයෙන් පෙරලූ ඊළඟ පිටුවේ…”තාත්තා ගිහිපු තැනටම මමත් යනව රත්තරන්  දුවේ”…පසු පිටුව අද දවස…දෙවියනේ මම මොන තරම් පව් කාරියක් ද…වැටෙන කඳුළු දෙකොපුල් සූරාගෙන  වැටෙද්දී…”මාතු පාදං නමා මහං” යැයි ලියුවෙමි…මෙය ලිවීමට තව දවසක් ඉක්මන් වූවා නම්…
  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

චතුමාලි හෙට්ටිගේ

විද්‍යා පීඨය- අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment