විශේෂ දිනයන්

මානසික රෝග

කායිකව සුළු රෝගී තත්වයක් ඇති වූ විගස ප්‍රතිකාර ගැනීමට පසුබට නොවන අප මානසික ව්‍යාකූලත්වයක් හමුවේ බොහෝ විට කිසිදු දෙයක් කර කියා ගත නොහැකිව අසරණ වේ. නූතන අධිවේගී ජීවන රටාවත් සමඟ පුද්ගලයන් ඔවුන්ගේ මානසික සෞඛ්‍ය කෙරෙහි දක්වන්නේ ඉතා අල්ප වූ සැලකිල්ලකි. නමුත් අප සිදුකරන සෑම කටයුක්තකම ඵලදායී ලෙස කාර්යක්ෂමව ඉටුකරගැනීමට යහපත් මානසික සෞඛ්‍යයක් තිබීම අත්‍යවශ්‍යය. මෙවන් පසුබිමක් මත ඔබ ඔබගේ මානසික යහපැවැත්ම සුළු කොට සිතන්නේ ද?

මේ අනුව සෑම වසරකම ඔක්තෝබර් 10 වන දිනට ලෝක මානසික සෞඛ්‍ය දිනය ලෙස නම් කොට ඇත. මෙම වසරේ COVID-19 වෛරසය මගින් සියළුම ක්ෂේත්‍ර වලට පාහේ දැඩි ලෙස බලපෑම් එල්ල විය.

මේ අනුව ශිෂ්‍යයන් හට නුහුරු මාර්ගගත (Online) ක්‍රමයකට පිවීසීමට සිදුවීමත්,

  • ගුරුවරුන් හට ශිෂ්‍යයන් සමඟ මනා අන්තර් සබඳතාවක් නොමැතිව ඉගැන්වීමට සිදුවීමත්,
  • සෞඛ්‍ය සේවකයන් හට තමා සමඟ මෙම වෛරසය තම පවුලේ සාමාජිකයන්ට සම්ප්‍රේෂණය වේ යැයි බියත්,
  • ව්‍යාපාරිකයන්ට හා කර්මාන්තශාලා සේවකයන් හට සිය රැකියාවේ අනාගතය පිළිබඳව ඇති වන බියත් ආදී කරුණු හේතු කොටගෙන මෙම වසර තුළ සමස්ථ ලෝක ප්‍රජාවගේම මානසික සෞඛ්‍ය බිඳවැටී ඇත.

ඉහත සාධක මත මෙවර දිනයේ තේමාව වී ඇත්තේ ලෝකවාසී ජනයාගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම සහ ඒ සඳහා සිදු කරන ආයෝජන ප්‍රතිශත අනෙක් වසරවල් වලට සාපේක්ෂව ඉහළ නැංවීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන විදිහට අනාගතයේ දී සෑම පුද්ගලයන් හතර දෙනෙක්ගෙන් එක් අයෙක්ම මානසික සෞඛ්‍යය අතින් පිරිහුන තත්ත්වයක පසු විය හැකි බවයි.

මානසික රෝගයක්‌ යනු සමාජයේ ඕනෑම ජන කොට්‌ඨාසයකට, ඕනෑම සංස්‌කෘතියකට, ඕනෑම සමාජ ආර්ථික මට්‌ටමකට, වර්ණ භේද, ලිංග භේද, ආගම් භේද, කුලමල නොතකා වැළඳිය හැකි රෝගී තත්ත්වයකි.

නමුත් අවාසනාවට මානසික රෝග පිළිබඳව අප සමාජයේ ඇති දුර්මත නිසා මෙම රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීමට බොහෝ කල් ගත වීම සිදුවේ. එවිට සිදුවන්නේ නියපොත්තෙන් කඩන්න පුළුවන් දෙය පොරොවෙන් කපන්න සිදු වන තරමටම බරපතළ වීමයි. කායික රෝග මෙන්ම මානසික රෝග සඳහා ද නිසි මනෝ චිකිත්සක ප්‍රතිකාර හා ඖෂධ මගින් රෝගය නිට්ටාවටම සුව කිරීම හෝ පාලනය කිරීම සිදුකල හැක.

බොහෝ දෙනා හට ආරම්භයේ දීම මානසික රෝගී තත්වයන් ඇති බවට පැහැදිලිව හඳුනා ගැනීමට අපොහොසත් වනුයේ මේවා මානසික රෝගී තත්ව ලෙස තෝරා බේරා ගැනීමට නොහැකි තරම් සාමාන්‍ය වීමයි. සමහර අයගේ අසීමිත පිරිසිදුකම, තනිවම ඉන්න දක්වන බිය, සතුන්ට දක්වන බිය, තමන් මැරේවි කියා එහෙම නැත්නම් තමන්ට විපතක් වේවි කියා හිතෙන අනියත බිය ආදී මේ ආකාරයේ සාමාන්‍ය හැසිරීම් අතරෙත් මානසික රෝග තත්වයක පෙරනිමිති තිබුනත් බොහොමයක් අපට පැහැදිලිව හඳුනා ගැනීමට බොහෝ විට පහසු නොවේ.

එදිනෙදා සමාජයේ සුලභව හමුවන මානසික රෝගී තත්වයන් කිහිපයක් පිළිබඳව පහතින් දක්වා ඇත.

මානසික ආතතිය

මානසික ආතතිය ඇතිවීමට අපට ඇතිවන ගැටළුවක් වුව ද හේතු විය හැකියි. මානසික ආතතිය ඇති වූ විට තමා ආතතියක් ඇති බව එම පුද්ගලයාට වැටහේ. විභාග ළං වනවිට ඇතිවන ආතතියේ දී අධික නිදිමත, අධික කෝපය, හිසේ කැක්කුම, අමතක වීම අපි කවුරුත් අත් විඳ ඇති අවස්ථාවක් වේ. නමුත් ආතතිය දිගින් දිගටම පැවතීම අහිතකර ය. එය වෙනත් කායික රෝග ඇතීවීමට ද මූල බීජය විය හැක.

සමාජ භීතිකාව

සමාජ භීතිකාව වැනි තත්ත්වයක් ඇතිවූ විට එම පුද්ගලයා සමාජයට විවෘත වීමට විශාල භීතියක් දක්වයි. සමාජයේ ගැවසෙන පුද්ගලයන් තමාගේ අඩුපාඩු දැක තමා පහත් කොට සලකාවි යැයි ඔවුන්ට සිතේ. මිනිසුන් විශාල ලෙස ගැවසෙන ස්ථානවලට යෑමට පවා ඔවුන් තුළ පවතින්නේ භීතියක්. නිසි ලෙස ප්‍රතිකාර කිරීමෙන් මෙම තත්වය සුව කිරීමට හැකියාව පවතී.

භීතිකාවන් (Phobia)

ස්ථිර වශයෙන්ම යමකට ඇති බිය Phobia ලෙස හඳුන්වනවා. ජලයට ඇති බිය, සතුන්ට ඇති බිය, රුධිරයට ඇති බිය එයට උදාහරණ කිහිපයක් ලෙස දැක්විය හැකියි. තමා බිය දක්වන දෙයට ක්ෂණිකව බිය වී ඒ තුළින් යම් ආතතියකට ලක් වේ. Hydrophobia, Agoraphobia, Acrophobia, Autophobia, Arachnophobia, Zoophobia, Hemophobia, Tryphobia බොහෝ දෙනෙක්ට ඇති Phobia විශේෂ කීපයකි.

Obsessive Compulsive Disorder

මෙම තත්වයේ දී නිතර නිතර දෑත් පිරිසුදු කීරීම, දොරවල් වසා ඇත්දැයි නිතර බැලීම, තම සමීපතමයන්ට හානියක් වේ යැයි නිතර සිතීම, නිතර යමක් ගණන් කිරීම, එකම දෙයක් නිශ්චිත වාර ගණනක් සිදුකිරීම, අසීමිතව පිරිසිදු ලෙස හා පිළිවෙලට එදිනෙදා වැඩ සිදුකිරීම ආදී ලක්ෂණ මෙම රෝගී තත්වයේදී දක්නට ලැබේ. මීට අමතරව ආගමික ශාස්තෘවරුන් කෙරෙහි අයහපත් සිතුවිලි, යමකු මැරීමට සිතීම වැනි සිතිවිලිද ඇති විය හැකියි. තමා අකමැති වූවත් දිගින් දිගටම එකම සිතුවිල්ල ඇතිවීම මෙහි ලක්ෂණයයි.

Dysmenorrhea

තමාට අසනීපයක් ඇතැයි නිතර සිතීම මෙම රෝගයේ ලක්ෂණයයි. සිරුරේ විවිධ ස්ථානවල අසනීප ඇතැයි ඖෂධ ගැනීමට යොමුවන නමුත් ඔවුන් තුළ සැබැවින්ම රෝගයක් දක්නට නොලැබේ.

Hyperactivity Disorder (අධි ක්‍රියාකාරිත්වය)

මෙම තත්වය ඇතිවන්නේ කුඩා දරුවන්ටයි. Hyperactivity Disorder ඇති දරුවන් අධි ක්‍රියාකාරී දරුවන් ලෙස හඳුන්වනවා. මෙම තත්වය දරුවන්ගෙන් 10%කට පමණ පවතී. ගුරුවරුන්, මවුපියන්, දරුවන්ගේ මෙම තත්වය හඳුනා නොගැනීම ඉතාමත් ඛේදජනකයි. උපදේශනයෙන් මෙය සුවකිරීමට හැකියාව පවතී.

Intermittent Explosive Disorder (අසාමාන්‍ය කෝපය)

මෙහිදී එම පුද්ගලයාට අසාමාන්‍ය කෝපයක් ඇතිව එය පාලනය කරගැනීමට අපහසු වීම දැකගත හැකිය. අවට ඇති දේ කඩා කුඩු කිරීම, අවට අයට පහරදීම වැනි දේ එම පුද්ගලයන් සිදුකරනු ලබනවා.

මානසික අවපීඩනය

මානසික ආතතිය දිගින් දිගටම පැවතීම නිසා මානසික අවපීඩන තත්ත්වයක් ඇතිවිය හැක. ලොව පුරා සියදිවි නසාගන්නා පුද්ගලයන්ගෙන් 60%ක් සියදිවි නසා ගැනීමට හේතු වන්නේ මානසික අවපීඩනයයි. සතුට ගෙන දෙන හෝමෝන වන Serotonin හා Dopamine වල සමතුලිතතාවය බිඳ වැටීම හේතු කොට ගෙන මෙම රෝගී තත්වය ඇති වේ.

මෙම රෝගී තත්වයේ දී පෙර දිනයන් වල ආශාවෙන් සිදුකළ කාර්යයන් පවා සිදු කිරීමට ආශාවක් නොමැතිවීම, ඍණාත්මක ආකල්පයන්ගෙන් යුක්ත වීම, අධික අලස බව දැකිය හැකි අතර මෙම රෝගය උග්‍ර වීමෙන් තම ජීවිතය පිළිබඳව ඇති ආශාව ද හීන වීමෙන් සියදිවි නසා ගැනීමට පවා පෙළඹේ.

මෙම රෝගී තත්වය ද නිසි ඖෂධ ප්‍රතිකාර සහ උපදේශන සේවා මගින් සුවකිරීමට හැකියාවක් පවතී.

PTSD (Post Traumatic Stress Disorder)

හදිසි අනතුරු, ස්වභාවික විපත්, යුද්ධ, බෝම්බ ගැසීම් වැනි දෙයකින් ඇති වන දැඩි මානසික කම්පනය නිසා මෙම තත්ත්වය ඇති වේ. මෙහිදී නිතර එම දර්ශනය දිස්වීම, කේන්ති යෑම, බියවීම වැනි දේ සිදුවේ. උපදේශනය මගින් මෙම තත්වය සුව කිරීමට හැකියාවක් ඇත.

හීනෝන්මාදය

මෙය බොහෝ විට ඇති වන්නේ ජානමය සාධක මතයි. කවුරුන් හෝ නිතර කතා කරනවා ඇසීම, තමාව මැරීමට උත්සාහ කරනවා යැයි දැනීම, තමාව කවුරුන් හෝ පාලනය කරනවා යැයි දැනීම වැනි මායාකාරී හෝ විකෘති සිතුවිලි මෙහි දී ඇතිවේ. උග්‍ර මානසික රෝගයක් වන මෙම රෝගය සඳහා හැකි ඉක්මනින් නිසි ප්‍රතිකාර කෙරෙහි යොමුවිය යුතුය.

ඩිමෙන්ෂියා

වයස්ගත වීමත් සමඟ සිදුවන මොළයේ මිය යාම නිසා මෙම රෝගී තත්වය ඇතිවේ. වයස අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයන් අතර මෙම රෝගය බහුලව දැකගත හැකි අතර මෙහිදී පුද්ගලයාගේ හැසිරීම් රටාවේ වෙනස්වීම් මූලිකව දක්නට ලැබේ.

රෝගී ලක්ෂණ දෙස බැලීමේ දී මොවුන්ට කෙටිකාලීන මතකය ගිලිහී යන අතර අතීත මතකයන් හොඳින් රැඳී තිබීම සාමාන්‍ය පරිදි දක්නට ලැබේ.

මෙය ප්‍රතිකාර මගින් නිට්ටාවට සුව කිරීමට නොහැකි නමුත් ඖෂධ මගින් රෝගය පාලනය කිරීම සිදුකළ හැක.

පොදුවේ ගත්කල නීරෝගී මානසික සෞඛ්‍යක් පවත්වාගෙන යාම උදෙසා පහත කරුණු පිළිපැදීම බෙහෙවින් උපකාරී වේ.

  1. තමන්ට වෙනස් කළ හැකි සාධක ගැන පමණක් සිතන්න.
  2. අතීතය තුළවත් අනාගතය තුළ වත් නොව වර්තමානය තුළ ජීවත් වෙන්න.
  3. ඇති තරම් හිනාවෙන්න.
  4. පුළුවන් හැම වෙලාවකම කාට හරි උදව් කරන එක පුරුද්දක් කර ගන්න.
  5. විනෝදාංශයක් ඇතිකරගන්න.
  6. හැමතිස්සෙම අලුතෙන් දෙයක් ඉගෙන ගන්න බලන්න.
  7. දවසකට මිනිත්තු 30ක් වත් ව්‍යායාමයක නිරත වෙන්න.
  8. පෝෂ්‍යදායි ආහාර වේලක් ගන්න.
  9. සුරතල් සතෙක් ඇතිකරන්න.
  10. වාද්‍ය භාණ්ඩයක් පුරුදුවෙන්න.
  11. පවුලේ සාමාජිකයන් අතර මනා අන්තර්සබඳතාවයක් ඇති කර ගන්න.
  12. භාවනා කරන්න.

අවසාන වශයෙන්ම විශේෂ කරුණක් මතක් කිරීමට ඇත. එනම් වත්මන් සමාජය තුළ “පිස්සෙක්”, “පිස්සන් කොටුව” , “පිස්සු වැඩ” ‍යන යෙදුම් වලින් මානසික රෝගවලට ගොදුරු වූ පුද්ගලයන් අවඥාවට ලක් කිරීමට පුරුදු වී ඇති හැටි දැක ගත හැක. එය අතිශය පිළිකුල් සහගතය. මානසික ව්‍යාකූලත්වයකට ගොදුරු වීම සුළු පටු නොවන බව ඔබ දිනක් හෝ මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට පා තබා ඇත්නම් පසක් වනු ඇත. එහෙයින් අද ඔවුන් මුහුණ දෙන ගැටළුවලට හෙට අප ද පත්වන්නට පුළුවන් බව තරයේ සිහිතබා ගතයුතුය.

References: 

Images: 

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

පැතුම් සඳරුවන්

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment