දැනුම

මෑ වගාව

Vigna anguiculate යන විද්‍යාත්මක නාමය දරන ලෙගියුමිනෝසියේ නොහොත් අතීතයේ හැඳින් වූ ෆැබේසියේ කුලයට අයත් මෑ කරල් පෝෂණ ගුණයෙන් අනූන පිළියෙල කර ගත් විට රසවත් වෑංජනයකි.

ප්‍රෝටීන , විටමින් A, විටමින් B1, විටමින් B5, විටමින් B2 විටමින් C , යකඩ, පොටෑසියම් , මැංගනීස් , මැග්නීසියම් , පොස්පරස් වැනි පෝෂ්‍ය පදාර්ථයන් රැසකින් මෑ කරල් සපිරී ඇත.

පහතරට තෙත්, අතරමැදි හා වියළි කලාපයේ ඉතා හොඳින් වගා කළ හැකි මෑ කරල්, වැල් හා පඳුරු ලෙස ආකාර 2 කට බෙදා වෙන් කළ හැක.

හවරි මෑ , පොළොන් මෑ , ගන්නොරුව හවරි, ගන්නෝරුව A9 ලෙස වේවැල් ආකාරයේ ප්‍රභේද ඇති අතර පඳුරු ආකාරයේ ප්‍රභේද ලෙස B.S 1, සේන, පඳුරු පොළොන් අතිශය ජනප්‍රිය වේ.

🌿 වේවැල් ආකාරයේ ප්‍රභේද

🍀හවරි මෑ ලා කොළ පැහැති වන අතර අගකෙලවර දම් පැහැයෙන් සමන්විතය. දින 60-70 කදී අස්වැන්න ලබා ගතහැකි හවරි මෑ කරල් වල බීජ කළු පැහැතිය.

🍀තද කොළ පැහැ කරල් වල දම් පැහැති පැල්ලම් දක්නට ලැබෙන්නේ පොළොං මෑ වලය. මෙයද වගා කිරීමෙන් දින 60-70 කදී අස්වැන්න ලබා ගත හැකි අතර බීජ කළු පැහැති පැල්ලම් ක්‍රීම් පැහැති වර්ණයක් දරයි.

🍀බීජ රතු දුඔුරු පැහැ වන, ලා කොළ පැහැති දිගු කරල් සහිත ගන්නෝරුව හවරි වගා කිරීමෙන් දින 45කින් අස්වැන්න ලබා ගත හැක.

🍀දින 50-55න් පමණ අස්වැන්න ලබා ගත හැකි ගන්නෝරුව A9 මෑ  ප්‍රභේදය තද දුඹුරු පැල්ලම් සහිත කළු පැහැති බීජ දරණ අතර කොළ පැහැති දිගු මාංසල කරල් වගා කිරීමේදී ලබා ගත හැකිය. මෙහි ප්‍රධානතම වැදගත්ම ලක්ෂණය නම් මෙම ප්‍රභේදය පාදස්ථ කුණු වීමේ රෝගයට ඔරොත්තු දීමයි.

🌳 පඳුරු ආකාරයේ ප්‍රභේද

☘පඳුරු ආකාරයේ මෑ කරල් ප්‍රභේදයක් වන B.S1 කරල් ලා කොළ පැහැති වන අතර ක්‍රීම් පැහැති බීජවල දුඹුරු පැහැ පැල්ලම් දක්නට ලැබේ. අස්වැන්න දින 45- 50කදී ලබා ගත හැක.

☘ලා කොළ පැහැති කරල් දරන සේන මෑ ප්‍රභේදයේ ක්‍රීම් පැහැති බීජවල බීජ ලපය රතු දුඹුරු පැහැතිය. අස්වැන්න දින 45 -50ක දී ලබා ගත හැකිය.

☘පඳුරු පොළොන් අස්වැන්න දින 45-50කදී ලබා ගත හැකි වන අතර කොළ පැහැති කරල් වල දම් පැහැ පැල්ලම් ඇත. ක්‍රීම් පැහැ බීජවල බීජ ලපය කළු පැහැති වේ.

මෑ වගාව ශ්‍රී ලංකාවේ ජනප්‍රිය එළවළු භෝගයකි. එය පහතරට තෙත්, අතරමැදි හා වියළි කලාපයේ හොඳින් වගා කල හැක.

ජලය බැස යන වැලි සහ ලෝම පස වගාවට ඉතා සුදුසු වේ. මෑ වගාව සඳහා බිම් සැකසීමේදී 15-20 cm පමණ ගැඹුරට පස පෙරලා පස් කැට පොඩි කර සකස් කර ගැනීමෙන් සාර්ථක වගාවක් ලබා ගත හැකිය.

නාගරික ජනතාවට මෙන්ම ඉඩ කඩ නොමති ජනතාවට මෑ, බඳුන් වලද වගා කළ හැක. එහිදී මනා ලෙස ජලය බැස යන ආකාරයට බඳුන් සකසා බීජ සිටුවිය යුතුය.

ජල සම්පාදනය පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුය. මන්දයත් මෑ පහසුවෙන් දිලීර රෝගයට ගොදුරු වීමයි. නමුත් තාක්ෂණයේ දියුණුවත් සමඟ දිලීර වලට ඔරොත්තු දෙන ලෙස මෑ ප්‍රභේද වැඩි දියුණු කර ඇත.

පොහොර ලෙස කාබනික පොහොර භාවිතා කිරීමෙන් පරිසරයට හිතකරවූත්, ඵලදායි වූත් අස්වැන්නක් ලබා ගත හැක.

වැල් මෑ ප්‍රභේද වලට ආධාරක සැපයිය යුතුය. බඳුන් වල සිටුවා ඇති වැල් සදහා මල් වැල් සඳහා ආධාරක  සපයන ලෙස ආධාරක සකස් කිරීමෙන් ගෙවතු අලංකරණය සඳහා ද යොදාගත හැකිය.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

පූර්ණිමා තිහානි

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment