දැනුම

මිත්‍රත්වයේ සදාකාලික බැඳීම

“යාළුවො” කියන්නේ මනුෂ්‍ය අපට හැඟීම් බෙදාගන්න ඉන්න හොඳම කොට්ඨාසය. යාළුකම එහෙමත් නැත්තම් මිත්‍රත්වය කියන්නේ  සමහර විට නෑදෑකම් වලටත් වඩා ගොඩක් හිතට සමීප ප්‍රබල බැඳීමක් කියල කිව්වොත් මං හිතන්නෙ පාඨක ඔබ සියලු දෙනාම මාත් එක්ක එක හෙළාම එකඟ වනවා නිසැකයි. ඉතින් මමත් මේ ආරම්භයක් අරගන්නෙ සැබෑ යාළුකමේ ආදරණීයත්වය, වටිනාකම හොඳින් ම කියාපාන දුක, සතුට, ආදරය, විරහව, හාස්‍ය, යෞවනයේ නිදහස මේ සියල්ලම කැටි කරගත් සොඳුරු සිනමා පටයක ගැබ් වූ  රසය අර්ථාන්විත අයුරින් අකුරු කොට ඔබට තිරයේ දකින භාව රසයට සම වින්දනයක් ලබා දීමටයි. ඇත්තෙන්ම මෙම සිනමා පටය නම් ඔබ එකවරක් නොව කීපසැරයක්ම නරඹා ඇති බව නම් මම විශ්වාස කරමි. එය එතරම් ම ප්‍රේක්ෂක ප්‍රසාදය දිනාගත් වාර්තා පිට වාර්තා තබමින් ඉන්දීය සිනමාවේ තිරගත වූ විශිෂ්ඨ ගණයේ සිනමා නිර්මාණයක් බව කිව යුතුමය.

ඉන්දීය සිනමාවේ විශිෂ්ඨ ගණයේ නිර්මාණ නම් අති විශාලය. ඉතින් මම මේ අකුරු කරන්නට සැරසෙන්නේ 2009 වසරේ තිරගත වූ එතෙක් මෙතෙක් ඉන්දීය ආදායම් වාර්තා බිඳ දැමූ සම්මාන පිට සම්මාන ලබමින් දෙස් විදෙස් ඇගයීමට පත් වූ විදූ විනෝද් චොප්රා, අභිජාත් ජෝශි, සහ රාජ් කුමාර් හිරානි තුන්කට්ටුවගේ අදහසට අනුව ලියැවුණු රාජ් කුමාර් හිරානි නම් සුවිශේෂී දක්ෂ අධ්‍යක්ෂකවරයාගේ අධ්‍යක්ෂණය යටතේ බිහි වූ ”3 idiots” නම් සිනමා කෘතියයි.

නම ඇසූ පමණින් නම් ඔබේ මුවට සිනහවක් එනවා නිසැකයි. එතරම් ම එහි හාස්‍ය රසය අපේ හදවත් වල පැළපදියම් වී ඇති බව ඔබටත් මටත් නොරහසකි. 

කතාව ආරම්භ වන්නේ නම් ගුවන් යානයක් තුළිනි. එක් තරුණයෙක් කැමරාවට යොමු කරමින් සිනමා පටය ආරම්භ වෙයි. එක්වරම දුරකථනයට ලැබූ ඇමතුම හා සම්බන්ධ වූ තරුණයා කලබල බවක් පෙන්වයි. හදිසියේ හෘදයාබාධයක් සෑදුනු විලසට  ඔහුගේ රංගනය චිත්‍රපටයේ ආරම්භයම අපට යම් කුකුසක් දනවයි. ගුවන් යානය අහසට නැංවුවා පමණය. මගියකු රෝගී වී සිටිනු දුටු ගුවන් යානා කාර්යය මණ්ඩලයද තැතිගෙන නැවත ගුවන් යානය ගුවන්තොටුපොළටම ගොඩ බායි. රෝද පුටුවක් ආධාරයෙන් රැගෙන යන මොහු එක්වරම එයින් නැගිට ඉදිරියට දුවන්නේ කතාව ආරම්භයේ දීම ප්‍රේක්ෂක අප සිනා සාගරයක ගිල්වමිනි. නමුත් කතාව ආරම්භයේ කුකුස නම් තවමත් එසේමය. මෙලෙස කතාව ඉදිරියට ඇදෙන්නේ විටින් විට අපව සිනහවෙන් මුසපත් කරමිනි. මෙලෙස කතාව ආරම්භය අපට ගෙන එන්නේ ෆර්හාන් ක්‍රරෙෂි (Farhan Qureshi) නමින් චරිතයට පණ පොවන ආර්. මාධවන් (R. Madhavan) නම් දක්ෂ රංගන ශිල්පියාය.  මොහු මේ සා බොරුවක් කරමින් නැවත ගුවන් යානයෙන් බැසගත්තේ මොවුන්ගේ සරසවි මිතුරා නැවත මුණගැසීමේ ආදරණීය බලාපොරොත්තුවෙන් බව අපට සිනමා පටය ඉදිරියට ගලා යාමේදී තේරුම් යයි. මා ඉහතදී  සඳහන් කළේ මොවුන් යනුවෙනි. නමුත් මොවුන් කවුරු ද! ඒ අන් කවරකුවත් නොව සරසවියේ එකට ජීවිතය බෙදාගත් අනිත් මිතුරාය. චිත්‍රපටයට නම තබන්න ඇත්තේද මෙය මිතුරන් තිදෙනෙකු වටා ගෙතුණු කතාවක් නිසා බව අපට පැහැදිලි ය.  රාජු රස්තෝගී (Raju Rastogi) නමින් චරිතයට පණ පොවන මොහු ඉන්දීය සිනමාවේ තවත් එක් දක්ෂ නළුවෙකි; නමින්  ෂර්මන් ජෝෂි (Sharman Joshi). මෙලෙස කතාව ඉදිරියට ඇදුනත් කතාවේ යම් හිස් බවක් අපට සංවේදනය වේ. එම හිස් බව ප්‍රේක්ෂකයාට දැනෙන මොහොත හඳුනා ගත් අධ්‍යක්ෂකවරයා සිනමා පටයට නවමු වෙනසක් ඇති කරමින් ප්‍රේක්ෂක සිත් වසඟයට ගන්නේ හරි අපූරුවටය. කතාව ආරම්භ වන්නේ දැන්ය. 

ඉන්දීය සුපිරි නළු අමීර් කාන් (Aamir Khan) තිරයේ දිස්වන්නේ ප්‍රේක්ෂක සිත් තව තවත් චිත්‍රපටය දෙසට ආකර්ෂණය කර ගැනීමට මෙනි. අධ්‍යක්ෂකවරයා සූක්ෂමය. ප්‍රේක්ෂක මනස ඔහු අධ්‍යයනය කර ඇති සෙයකි. ප්‍රධාන නළුවා කතාවට සම්බන්ධ කරන්නේ හරි අපූරුවටය. 

එය ඉන්දීය ඉන්ජිනේරු පීඨයකි. නව සිසු වසරක ආරම්භයක්ය. නවක සිසුන් දසතය. ඉතින් කතාව ආරම්භ වන්නේ දැන් බව අපට ඉවෙන් මෙන් හැඟේ. විරූ සහශ්‍රටබුද්ධි (Viru Sahastrabuddhe) නමින් පීඨාධිපති සිටි. එය වෙනස් ම ආකාරයේ චරිතයකි. ඇඳුමෙන් පැළඳුමෙන්ද කතා විලාසයෙන් ද අදහස් වලින් ද වෙනස් ම චරිතයක් අධ්‍යක්ෂවරයා පීඨාධිපති තුළින් පෙන්වීමට උත්සාහ දරා ඇත. පීඨාධිපතිගේ ආරම්භක කතාවෙන්ම චරිතය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් මැවීමට අධ්‍යක්ෂකවරයා ගෙන ඇති උත්සාහය සාර්ථකය. 

බෝමන් ඉරානි (Boman Irani) නම් ඉන්දීය ප්‍රවීන රංගන ශිල්පියාගේ වෙනමම වර්ණයක් ඔප දමා මවා ඇති චරිතය නම් සැබෑ ම දක්ෂකමකි. “අධ්‍යාපනය තරගයකි. සිසුන් එහි තරගයට දුවනා තරගකරුවන් ය. පැරදුනු කෙනා පරාජිතයෙකි. වැඩකට නැති එකෙකි. හේතුව දැන හෝ නොදැන සියල්ලෝ ම තරගයට දිවිය යුතුය.” මේ පීඨාධිපතිගේ උපදෙසයි. මිත්‍රත්වයේ ආදරණීයකම් කැටි වුණු මේ සිනමා පටය සමාජයීය ප්‍රශ්නයක් කෙරෙහි ගලායන දිශාව වෙනස් කරයි. ඒ ඔස්සේ කතාව නිර්මාණාත්මක අයුරින් ඉදිරියට ඇදෙයි. රැන්චොදාස් චන්චඩ්, රාජු, ෆර්හාන් මිතුරු සමාගම ඇරඹෙන්නෙ මෙතැනිනි.

 අමීර් කාන් පණ පොවන රැන්චො චරිතය කතා නායකයාය. එකම නේවාසික කාමරයේ සරසවි ජීවිතය අරඹන මේ තුන්කට්ටුවගේ සරසවි ජීවිතයේ සිදුවීම් එකිනෙක පෙළගස්වමින් අධ්‍යක්ෂකවරයා ප්‍රේක්ෂක අපට සෑම සිදුවීමකින් ම සමාජයට යම් කිසි පණිවිඩයක් දීමට වෑයම් කර ඇත. පීඨාධිපතිගේ ගතානුගතික උපදේශය හරයක් නැති පුහු මතයක් බව රැන්චොදාස් චරිතයෙන් අපට නිතර නිතර තහවුරු කරයි. අධ්‍යාපනය යනු පොතපත දැනුමට වඩා ප්‍රායෝගිකව භාවිත කරමින් දැනුම තහවුරු කර ගැනීම බව විවිධ සිදුවීම් තුළින් අපට ගම්‍ය මාන කරයි.  එය වර්තමාන තරගකාරී අධ්‍යාපන රටාවට ලබා දිය හැකි අපූරු පාඩමකි. 

මා සිතන්නේ මෙහි ඉංජිනේරු පීඨයක් වටා කතාව ගොතා ඇත්තේ ප්‍රායෝගික අධ්‍යාපනය මනා සේ උලුප්පා පෙන්වීමට ඉංජිනේරු පීඨය තරම් තවත් සාර්ථක නිදසුනක් නොතිබීම නිසාවෙනි. පීඨය තුළ විවිධ වර්ගයේ සිසු චරිත නිර්මාණය කරමින් අධ්‍යක්ෂකවරයා සැබෑ  ජීවිතයේ සිසුන්ගේ චරිතයන් තිරය ඉදිරියේ එලෙසින්ම නිර්මාණය කර ඇත. රැන්චො යනු හුදෙක් ම පතපොතේ ඇලී කටපාඩම් ක්‍රමයට සිය අධ්‍යයන කටයුතු කරන්නෙක් නම් නොවේ. නිතරම ප්‍රායෝගික මනසින් විෂය කරුණු ග්‍රහණය කර ගැනීමට උත්සාහ දරන්නෙකි. ඔහුගේ අතිජාත සගයන් දෙදෙනා වෙනස් ම ආකාරයේ දෙදෙනෙකි. ෆර්හාන් සිය දෙමාපිය බලාපොරොත්තු ඉටු කිරීමට පමණක් ම ඉංජිනේරු පීඨයට පැමිණි තරුණයෙකි. ඔහුගේ ආශාව ඇත්තේ ඡායාරූපකරණයට බව කතාවේ මැද හරියට පමණ යනවිට දැනගත හැක. ඔහු ඉංජිනේරු පීඨයේ සිටින්නේ ම අරමුණක් නැති සෙයකිනි. මීළඟට රාජු ය. තම මාපියන්ගේ දුක් මහන්සියෙන් ඉගෙනීම් කොට පවුලේ දහසක් ප්‍රශ්න සිත තුළ තෙරපවා ගනිමින් පවුලේ දරිද්‍රතාවය ඉවසා දරාගනිමින් සිය පවුලටම ආලෝකයක් වීම පිණිස ඉංජිනේරු පීඨයට ඇතුළත් වූ අහිංසකයෙකි. රැනචො මේ දෙදෙනාටම ලෙන්ගතු සොයුරෙක් මෙනි. විටෙක පියෙක් මෙන් ගුරුහරුකම් ලබාදෙයි. මවක මෙන් දුකේදී සැපේදි ළඟින් ම හිඳි. ඔවුන් දෙදෙනා ද රැන්චොට දක්වන්නේ පුදුමාකාර සෙනෙහසකි. ඉතින් මේ මිතුරන් තිදෙනාගේ මිත්‍රත්වය පිවිතුරු ය. ආදරණීය ය. ඇතැම් සිදුවීම් වලදී අපේ ඇසට කඳුළක් උනන්නේ මෙය නිකම් ම කතාවක් බව අමතක වී ජීවිතයට, අපේ හදවතට කතා කරන හැඟීම් අවදි වීමෙනි. මේ චරිත අතරේ තවත් එක් සුවිශේෂී චරිතයකි. ඒ චතුර් රාමලිංගම් (Chatur Ramalingam) ය.

තවකෙකු පරයා තමන් පමණක් ජයගත යුතු බව ඔහුගේ විශ්වාසය. සියලුම කරුණු කටපාඩමින් විභාග ජයගැනීම පමණක් ඔහුගේ එකම අපේක්ෂාවය. මෙවන් චරිත විශ්ව විද්‍යාල තුළ සුලබය. අධ්‍යක්ෂකවරයා එවන් සිසුවකුගේ චරිතය චතුර් චරිතය තුළින් මනාවට ඉස්මතු කරමින් කතාව තුළ ඇතැම් සිදුවීම් තුළින් හාස්‍ය රසය උපද්දවා ඇත. එවැනි චරිත ඇත්තෙන්ම සමාජයට පුහු විකාර චරිත බව පෙන්වීමට අධ්‍යක්ෂකවරයා විවිධ සිදුවීම් නිර්මාණාත්මක අයුරින් ඉදිරිපත් කර ඇත. අධ්‍යක්ෂකවරයාගේ මගපෙන්වීමත් නළුවාගේ නළු කාර්යත් මනාවට ගැළපී ඇති නිසාවෙන් කළු චරිතයක් වුවද එය ඉතා සාර්ථක ව කිරීමට එවකට නවක නළු  ඕමි වෛද්‍ය (Omi Vaidya) සමත් වී ඇත. 

කතාව මෙලෙසින් ඉදිරියට ගලා යයි. මා පෙර කීවා සේ මෙය දුක, සතුට, ආදරය, විරහව ආදී විවිධ හැඟීම් මුසු වුනු සිනමා කෘතියකි. තරුණ කොලු ගැටයන්ගේ කවටකම් විහිළු තහළු ඔස්සේ කතාව පෙළගැසී ඇත. විශ්ව විද්‍යාල සිසුන් හා සබැඳි අධ්‍යාපනයට අමතර අනෙකුත් කාරණාව තරුණ ආලයයි. එය අධ්‍යක්ෂවරයා ද හොඳින් ම ග්‍රහණය කරගනිමින් තරුණ මිතුරන් තිදෙනා මැදට සුරූපී කෙල්ලකු අතහරින්නේ ප්‍රේක්ෂක අපට තවත් නවමු සිදුවීම් පෙළක ආරම්භය දැනවීමටය. එයත් හුදු සාමාන්‍ය නිළියක නොව බොලිවුඩයේ ඉමහත් ප්‍රේක්ෂක ආදරය දිනාගත් කරීනා කපූර්( Kareena Kapoor) ය.

පියා (Pia) නම් චරිතයකින් චිත්‍රපටයට ඇය පිවිසෙන්නේ වෛද්‍ය ශිෂ්‍යාවක ලෙසින් ය. එයද හාස්‍ය මුසු සිදුවීකින්ය. විවිධ සිදුවීම් ගලායයි. ඒ අතර තුර දුක, සතුට, ආදරය, විරහව මේ සියල්ලම ප්‍රේක්ෂකයාට සංවේදනය කරයි. 

කතාව නැවතත් වර්තමානයට පැමිණෙයි. විශ්ව විද්‍යාල ජීවිතය අවසන් කළ තරුණ ගැටයන් වයසින් මුහුකුරා ගොස්ඇත. සියල්ලෝ ම විවිධ රැකියාවන් තුළ නිරත වේ. කතාව අවසානයට ආසන්න වුවද තවමත් රැන්චො පේන්න නොමැත. මුලදී තිබූ කුකුස හා සමාන කුතුහලයක් නැවතත් අපේ හිත්වල ඇති වෙයි. ෆර්හාන් ඇත. රාජු ඇත. චතුර් පවාද ඇත. නමුත් රැන්චො නැත. ඔවුන් තවමත් රැන්චො සොයයි. සරසවිය තුළ ඔවුන්ට ඔවුන්ගේ ජීවිතය සොයා යන්නට පාර පෙන්වූ අඹ යාළුවා නැත. ඔහු පිළිබඳ දන්නා අයකු ද නැත. හදිසියේ ම ඔහු පිළිබඳ ලැබූ  තොරතුරක් නිසාවෙන් ෆර්හාන් ගුවන් යානය තුළද එකම විගඩමක් නටා මේ පැමිණියේ ආදරණීය රැන්චො සොයාගෙනය. ඉතින් විවිධ සිදුවීම් පසු කරමින් සිනමා පටයේ අවසන් අදියරට පැමිණ ඇත. රාජු සහ ෆර්හාන්ට සිය ආදරණීය මිතුරා හමුවිය. වෛද්‍යවරියක වූ පියාට සිය ආදරය හිමි විය. සැමවිට ම රැන්චො පසු කර යාමට මාන බැලු චතුර් හට සිය විරුද්ධකරු හමුවිය. පතපොතේ අකුරු වලට පමණක් සිය දැනුම ලඝු නොකෙරූ රැන්චෝ ලෝ පතළ අති දක්ෂ විද්‍යාඥවරයකු වී ඇත. විද්‍යා පාසලක් පිහිටුවමින් දරුවන්ටද සිය ඉගැන්වීම් සිදු කරන ආදරණීය ගුරුවරයකු වී ඇත. කතාව නිමා වන්නේ එලෙසිනි. 

ජීවිතයේ අරමුණු හඹා යන තරුණ අපට මේ සිනමා පටය තුළින් ගත හැකි පාඩම් බොහෝය. මිනිසුන් ඉදිරියේ මානුෂික හැඟීම් බෙදා ගැනීමේ වටිනාකම මේ කතාවේ විවිධ සිදුවීම් තුළින් ඉස්මතු කරලීමට  අධ්‍යක්ෂකවරයා දක්ෂ වී ඇත. දැනුම ප්‍රායෝගිකව භාවිත කිරීමේ වටිනාකම සිනමා පටයේ දරු ප්‍රසූතිය සිදුවීම තුළින් මනාවට ඉස්මතු කර ඇත. මා මේ සඳහන් කළේ කතාවේ ඉතාම ස්වල්පයකි. දිගුවට විස්තර කරන්නේ නම් තවද ඒ පිළිබඳ විස්තර කිරීමට මට හැකිය. නමුත් මෙම චිත්‍රපටය තවමත් ඔබ නරඹා නොමැති නම් කවදා හෝ එය නැරඹිය යුතුමය. එය එතරම්ම හදවතට කතා කරන ආදරණීය සිනමා කෘතියකි. ඉතින් 3 IDIOTS යනු මටනම් සදා මතකයේ  රැඳී හදවතේ ලැගුම් ගත් සොඳුරු සිනමා සිත්තමකි…

Design By Ravindu Sandeep

Image :

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

මාධවී ප්‍රියංගිකා

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment