විශේෂ දිනයන්

මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම සිටිනා…

තප්පර, මිනිත්තු, පැය, දින, සති වශයෙන් කාලය ගෙවී යයි. ඉදින් මේ ඇරඹෙන්නේ ජූලි මස තිස් වන දිනය යි.

මිත්‍රත්වය වූ කලී ලොකු කුඩා බාල මහලු වැඩිහිටි තරුණ කොයි කාගෙත් සිත් සතන් තුළ දළුලන පහන් හැඟීමකි. නමුත් මිත්‍රත්වයන් උදෙසා දිනකට, සතියකට, මසකට ආදී ලෙස කාල සීමාවක් නොවේ. නමුත් ඒ හැඟීමට ජාත්‍යන්තර වශයෙන් අරුතක් එක් කිරීමට වෙන්කර ඇති දිනය වන්නේ අද යි. අද ලෝක මිත්‍රත්ව දිනය යි.

“සිත නොතලා සෙනෙහස දෙන සකි සඳ වේ නම්
හද මිහිලිය නළවන සකි මල් වැහි අන්දම්…”

නන්දා මාලනියන්ගේ මියුරු කටහඬින් ගැයෙන මෙම ගේය පදයන්ගේ අරුත මිතුදමෙහි අපූර්වත්වයයි.

මිත්‍රත්වය, මිතුරුකම කියන්නේ හරි අපූරු සුන්දර බැඳීමක්. අපේ ජීවිත කාලය තුළ විවිධ යාළුකම්, මිත්‍රකම් ඇතිවෙනවා. සමහර යාළුකම් ජීවිතය පුරාවටම පවතිනවා. නමුත් සමහර යාළුකම් බොහොම තාවකාලිකයි.

මිත්‍රත්වය යනු මිනිසුන් අතර ඇති අන්‍යෝන්‍ය ‍සෙනෙහසේ සම්බන්ධතාවයයි. එය සංගමයකට වඩා අන්තර් පුද්ගල බන්ධන‍යේ ප්‍රබල ස්වරෑපයක් ගනී. මිත්‍රත්වයේ විවිධ ස්වරූපයන් තිබුණද, ඒවායින් සමහරක් තැනින් තැනට වෙනස් වේ.

සැබෑ මිත්‍රත්ව ලක්ෂණ අතර සෙනෙහස, කරුණාව, ආදරය, ගුණවත්කම, අනුකම්පාව, සංවේදනය, අවංකකම, පරාර්ථකාමීත්වය, පක්ෂපාතීත්වය, ත්‍යාගශිලීත්වය, සමාව දීම, අන්‍යෝන්‍ය අව‍බෝධය, අනුකම්පාව, එකිනෙකාගේ සමාගම භුක්ති විඳීම, විශ්වාසය, සහ තමා වීමට ඇති හැකියාව, කෙනෙකුගේ හැඟීම් තවකෙකුට ප්‍රකාශ කිරීම දැක්විය හැකිය.

මිත්‍රත්වය යනු සබඳතා ගොඩනැගීමේ කුසලතාවන්හි අත්‍යවශ්‍ය අංගයකි.

ලෝක මිත්‍රත්ව දිනයේ අතීතය සලකා බැලීමේ දී 1958 වර්ෂයේ පැරගුවේ දී ප්‍රථම වරට ලෝක මිත්‍රත්ව දිනය යෝජනා කරන ලදී. වර්ෂ 1958 ක් වූ ජූලි මස 30 දින ලෝක මිත්‍රත්ව කුරුස යුද්ධය ලෙස මිත්‍රත්ව දිනය සමරන ලදී. නමුත් නිල නොවන වශයෙන් වර්ෂ 1919ටත් පෙර ලෝක මිත්‍රත්ව දිනය සමරා ඇති බවට සාධක ඇත.

2011 වසරක් වූ අප්‍රේල් මස 27වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජූලි 30වන දින ලෝක මිත්‍රත්ව දිනය ලෙස නම් කරන ලදී. කෙසේ වෙතත් ඉන්දියාව ඇතුළු සමහර රටවල් වල අගෝස්තු මාසයේ පළමුවන ඉරිදා දින ලෝක මිත්‍රත්ව දිනය සමරයි.

මිත්‍රත්වය වූ කලී හුවමාරු කරගන්නා ත්‍යාග වල අරුත් ගැන්වීමට නොහැකි වූ පහන් හැඟීමක් වූ නමුදු මිත්‍රත්ව දිනයේදී මල්, සුභ පැතුම් පත්, අත් පලදනා ආදිය මිතුරන් අතර හුවමාරු කරගනිමින් මිත්‍රත්ව දිනය සමරයි.

මිතුරන්ගෙන් හිස් වූවන් ලොව දුර්ලභ ය. මිතුරන් නිසා අති මහත් යහපත හෝ අති මහත් අයහපත ලබන්නන් ඊටත් වඩා දුර්ලභ ය. ජීවිත කාලය පුරා අපට මුණගැසුන සියලු මිතුරන් අද අප හා සිටී ද? නැත. අපට මිතුරන් මුණගැසුනේම කලින් කලට, ඒ ඒ අවස්ථාවන්වල දී ය.

එක් අවස්ථාවක දී මහත් අස්වැසිල්ලක් වූ මිත‍්‍රත්වයම පසුව මහා විනාශයක් ඇති කරවන අයුරු අපට සමාජයේ ඕනෑ තරම් දැකිය හැකි ය. පාප මිතුරන් නිසා නොයෙක් ඛේදවාචකයන්ට මුහුණ පෑ පිරිස් ද ඕනෑ තරම් සිටී. එහෙයින් මිත්‍රත්වය පවත්වා ගැනීමේදී යහපත් මිතුරන් සොයාගත යුතුය. කල්‍යාණ මිත්‍ර සහ පාප මිත්‍ර සේවනයේ පල විපාක පිලිබදව බුදු දහමෙහි ද සඳහන් වේ.

මේ ජීවිතය පුරා ඔබව සතුටින්, සැනසීමෙන්, සන්සිඳීමෙන් තබන්නට උපකාරක වූ මිතුරන් ඔබට සිටී ද? ළඟින් සිටිය ද දුරින් සිටිය ද සෙවණැල්ලක් මෙන් ඔබව අත්නොහැරි, මහා පවුරක් මෙන් ඔබට රැකවල් සැලසූ මිතුරන් ඔබට සිටී ද?

ඔබේ පිළිතුර “සිටී” වුවත් “නොසිටී” වුවත් දිවි ගමනෙහි හමුවන සියලු මිතුරන්ට ආලෝකයක් ශක්තියක් වීමට අපට හැකිනම් මිතුදමෙහි නියම අර්ථය වන්නේ එයයි. අද වැනි දිනක එවන් අරමුණක් හිතෙහි රඳවා ගත හැකිනම් මිත්‍රත්ව දින සුන්දර වන්නේ එලෙසිනි.

Design by Sahan Dasantha

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

පියුමි මධුභාෂිණී

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment