සාමාන්‍ය

මිනිස් ඉතිහාසයේ අඳුරු පරිච්ඡේද

ආහාර දාමයේ ඉහලම ස්ථානයේ වැජඹෙන මිනිසා ස්වභාවිකවම දඩයක්කරුවෙකි , මහා පරිමාණ ඝාතකයකි. ඒ ඝාතකයගේ ප්‍රහාරයෙන් මේ ලොවෙන්ම අතුරුදන් වූ සත්ත්ව ප්‍රජාවන් ගණනයක් කළ නොහැක. ආරම්භයේ පටන්ම විවිධ වූ හේතුන් දක්වා මිනිස් දඩයක්කරුවා ශාක සත්ත්ව ඇතුළු ජිවී ප්‍රජාවන් මේ මහපොලොවන් අතුගා දැමූහ .

ඒ කර්මයන්ගේ ඇවැමෙන් ස්වභාවධර්මයා මිනිසාට එදිරිව ගිය අවස්ථා කිහිපයක් ලෝක ඉතිහාසයේ අඳුරු පරිච්ඡේද ලෙස සටහන් වී ඇත .

ඇනටෝනින් වසංගතය ( Anatonine plague )
ක්‍රි.ව 165 – ක්‍රි.ව 180 අතර කාල වකවානුව ස්වභාවධර්මය මිනිසාට එදිරිව ගිය එක් අඳුරු කාලයකි. දැනට ඇස්තමේන්තුගත අන්දමට ලොවපුරා මිලියන පහකට අධික මිනිස් ප්‍රජාවකට මෙම වසංගතය නිසා දිවි අහිමි වීය.

මෙය පෙරදිගට ගිය රෝම සොල්දාදුවන්ගෙන් යුරෝපයට පැමිණ, ඉන්පසු යුරෝපය තුලදී උග්‍ර අතට හැරී එකල ජනජීවිතයට මහත් බල පෑමක් එල්ල කර ඇත.  රෝමය තුලින් එය යුරෝපය පුරා පැතිරගොස් ඇත. එහි දී උණ , පාචනය , වමනය , හිසරදය , පිපාසය වැනි රෝග ලක්ෂණ පෙන්වන අතර අභ්‍යන්තරිකව සිදුවන රුධිර වහනයක් හේතු කොටගෙන පාචනය කළු පැහැයට හැරෙන බවත් සිරුර පුරා රතු හෝ කළු පැහැ ගැටිති ඇතිවී පිපිරීමක් හෝ සමේ වේදනාවක්ද ඇති වන බවත් සඳහන් වේ .  මෙම වසංගතය උත්සන්නම අවදියේ රෝමයේ පමණක් දිනකට මිනිසුන් 2000 කට අධික ප්‍රමාණයක් ජිවිතක්ෂයට පත්වූ බවට වාර්තා වේ.
නූතන පර්යේෂකයන්ගේ නිගමනය නම් රෝම අධිරාජ්‍යයට බලපෑ මෙම රෝගය බොහෝවිට වසූරිය වන්නට ඇති බවයි.

මුළු යුරෝපයම එකම අමු සොහෙනක් බවට පත් කරවූ මීනි කඳු ගොඩනැංවූ   ජස්ටීනියන් වසංගතය ( plague of Justinian )  යුරෝපය අාක්‍රමණය කළේ ක්‍රි.ව  541 –  ක්‍රි.ව 543 අතර පරිච්ඡේදයේය.

මධ්‍යම ආසියාව – වර්තමාන ඉරාකය ආශ්‍රිතව ආරම්භ වූ බව කියන මෙම වසංගතය, ජස්ටීනියන් වසංගතය ලෙස හදුන්වනුයේ මෙය පළමු ජස්ටීනියන්  නම් වූ බයිසැන්තියානු අධිරාජ්‍යයාගේ පාලන කාලය තුල දරුණු ලෙස පැතුරුණු බැවිනි. දරුණු කම කෙසේද යත්, අවසානයේ අධිරාජ්‍යායට පවා මෙම රෝගය වැළඳී ඇත.

ක්‍රි.ව 541 දී රෝමය පුරා සීඝ්‍රයෙන් පැතිරුණු මෙම රෝගය එහිදී උච්චතම අවස්ථාවට පැමිණ බයිසැන්තියානුවේ අගනුවර වූ කොන්ස්තන්තිනෝපල් අගනුවටර දක්වා ලගා වූයේ පැතිරීම දහස් ගුණයකින් වැඩි කරවමිනි.  අවම වශයෙන් වැළඳී මිය ගිය ජනයා අදාහනය කරවීමට පවා ඉඩක් නොවීය. වීදීවල මිනී ගොඩගැහුනු අතර මළවුන් ඉවත් කිරීමට පවා කිසිවෙකුත් නොවීය. සොහොන් කොත් අතහැර අගල් හෝ සමූහ සුසාන වලවල් තුල බොහෝදෙනාට නියමිත ගෞරවයක් නොලබාම අවසන් ගමන් යන්නට සිදු වූ අතර සමහර සිරුරු බෝට්ටුවල දමා මුහුදට අතැරියේ ඒ තරම් ප්‍රමාණයකට ජීවිත විනාශ වූ බැවිනි . මිනිසුන් පමණක්ම නොව බළලුන් බල්ලන් ඇතුළු සියලු වර්ගවල සතුන් මෙයට ගොදුරු වූ අතර ඒ සියලු මෘත දේහ නිසි ලෙස බැහැර කිරීම අවශ්‍ය විය.

මෙම වසංගතය සම්ප්‍රේෂණය කිරීමේ ප්‍රධාන මාධ්‍යය වූයේ කළු මීයාය. විශාල ධාන්‍ය ගබඩා වල ගබඩා කර ඇති ධාන්‍ය මෙම සතුන් අභිජනනයට මහත් අභිප්‍රේරණයක් විය. එමෙන්ම මෙම මීයන් නැව් සහ කරත්ත මගින් අධිරාජ්‍ය පුරා සංක්‍රමනය කරන්නටද විය . එමෙන්ම ඉතාලිය ආශ්‍රිතව ඇතිවූ හදිසි කාලගුණික විපර්යාස , සාමාන්‍ය උෂ්ණත්වය අඩුවීම , හිරු එළිය අඩුවීම නිසා සීතල වැඩිවීම බෝග වගාව කෙරෙහි බලපාන ලදී. එමගින් ආහාර හිඟයක් ඇතිවූ අතර ජනතාව සංක්‍රමනය වීමට පටන්ගැන්මත් සමඟ අසාධිත වූ මීයන්ද සංක්‍රමනය වීම වසංගතයේ මහා පරිමාණ ඇරඹුම විය.  සීතලෙන් බැට කන මිනිසුන්, බෝග වගාවේ පරිහානිය නිසා වෙහෙසට පත් වූ මිනිසුන්, වෙනස් වූ කාලගුණික තත්ත්වයන් මෙම වසංගතය පැතිරීයාමට රුකුලක් විය.

ආර්ථික , සමාජීයය  හා දේශපාලනික වශයෙන් බයිසැන්තියානු අධිරාජ්‍ය දුර්වල වීමට මූලිකම හේතුව මෙම වසංගත ව්‍යාප්තියයි. මිනිස් ජිවිත මිලියන පනහක් පමණ බිලි ගත් මෙම වසංගතය තවත් වසර 225 ක් පමණ පුරා මධ්‍යතන ලෝකය පුරා පැතිරී ක්‍රි.ව 750 දී පමණ අතුරුදන් විය.
වර්තමානයේ සිදු කරන ලද පරීක්ෂණ වලට අනුව ජස්ටීනියන් වසංගතය, මහාමාරියේ එක් ප්‍රභේදයක් වන බුබොනික් විය හැකි බවට මත පල කරයි. එහි අනෙක් ප්‍රභේද ද්විත්වයද එකල පැතිරී ඇති බව දැනට පර්යේෂකයන් උපකල්පනය කරයි .

කෙසේවෙතත් එකල යුරෝපයේ ජනගහයෙන් අඩකට පමණ මරණය වැළඳගැනීමට සිදුවීම ශෝක ජනකය.

මිලියනයක පමණ මිනිසුන් ප්‍රමාණයක් බිලි  ගන්නා ලද  ජපන් වසූරිය වසංගතය ( Japanese smallpox epidemic  )  ක්‍රි. ව 735  –  ක්‍රි. ව 737 අතර කාල වාකවානුවේ ව්‍යාප්ත වී ඇත. ජපානය විනාශ කිරීමට සමත්ව ඇති මෙම රෝගයට ගොදුරුව වැඩිහිටි ජනතාව විශාල ලෙස මියගිය අතර එය ජපානයේ එවකට පැවැති පාලන තන්ත්‍රයටද විශාල ලෙස බලපෑමක් එල්ල කළේ ය.

වසංගතය ජනගහයෙන් වැඩි පිරිසක් විනාශ කළා පමණක් නොව, ශ්‍රම බලකාය බිඳ වැටීමට,ගොවිතැන වගාව බිදවැටුමට මෙන්ම, ජපානය පුරා බදු සහන ක්‍රියාත්මක කිරීමට මුලික හේතුවක් ද විය.

කෲර ඝාතකයාගේ තවත් අඳුරු පරිචයක් ලියවෙන්නේ ක්‍රි.ව 1347 – ක්‍රි.ව 1351 සිව් වසර තුලය. ඉවක් බවක් නොමැතිව වසර ගණනාවක් ජිවින් අතුගා දැමීමට දඩුවමක් ලෙස මිලියන 200 කට පමණ පිරිසකට ජිවික අහිමි විය.

යර්සිනියා පෙස්ටිස් ලෙස හදුන්වන මහාමාරියා කිහිප විටකදීම ලෝකයාට කරදර කරන්නට සමත් විය.මෙවර එය ලෝකයා අභිමුවට පැමිණියේ මිනිස් ඉතිහාසයේ දරුණුතම විනාශය සිදුකරමිනි.  කළුව කුණුවී ගිය ඕජස් ගලන අතැර දමන ලද මළ සිරුර සෑම විදීයකම සුලභ දසුනක් වන තරමට ම, බල්ලන් බළලුන් ඇද දමා කැඩී ගිය මිනිස් මාංශ කොටස්, පවතින අගලක් හාරා ගැනීමට හෝ ශක්තියක් ඇති මිනිසෙක් සොයාගන්නට නොහැකි ගම්මාන, යුරෝපය පුරා ඇතිවන්නට මෙම කළු මරණය නොහොත් black death  වසංගතය හේතු සාධක විය. මෙම වසංගතය තරම් බියකරු වසංගතයත් අදටත් ලොව ඇතිවී නැති බවට සඳහන් වේ.

මහාමාරිය රෝගය යර්සිනියා පෙස්ටිස් නැමැති බැක්ටීරියාවක් මගින් ආසාදනය වන අතර එහි ප්‍රධාන වාහකයා මීයන්ය මත වෙසෙන මැක්කන් විශේෂයකි.

ආසාධිත මැක්කන් මීයන්ගේ රුධිරය උරාබොන අතර බැක්ටීරියා හා රුධිරය තවදුරටත් රදවාගත නොහැකිව උන් වමනය කරයි.මෙම වමනය සමග මැක්කාගෙන් පිටතට එන බැක්ටීරියාවක්වන් මීයාගේ ලේ උරා බිව් සිදුරින් උන්ගේ ශරීරය තුලට ඇතුළු වේ. දැන් එම මීයා අසාධිත රෝගවාහක මීයෙකි. ටික දිනකින් ආසාදිත මීයා මියයන අතර එවිට මීයාගේ සිරුරේ ජිවත් වූ සියළුම මැක්කන් ආදේශයක් ලෙස මිනිසා සොයා එයි. ඉහත ක්‍රියාදාමයම නැවත සිදුවී මිනිසාද අාසාධිතයක් බවට පත්වේ. මෙම ක්‍රියාවලිය දිගින් දිගටම සිදුවීම නිසා මෙම වසංගතය පැතිර යාම සිදු විය.

අදාල බැක්ටීරියාව ප්‍රධාන වර්ග තුනක මහාමාරියා තත්ත්වයන් ඇතිකරයි.

? බියුබොනික මහාමාරියා තත්වය
අාසාධිතයන්ට උණ, තෙහෙට්ටුව , වෙව්ලීම, වමනය , ඇගපත රුදාව , ඉකිලි සහ කිහිලි වල හටගන්නා ගෙඩි , ලේ පාචනය මෙම වර්ගයේ රෝගලක්ෂණ වේ .

? නියුමොනික මහාමාරියා තත්ත්වය
ආසාධිතයකුගේ කැස්ස කිවිසුම් සමග පිටවන කෙල බිදිති වල ජිවත් වන බැක්ටීරියාවන්  ආසාධිත නොවූ තැනැත්තෙකුගේ ශ්වසන නාල වලට ගමන් කර පසු එම තැනැත්තාට නොනවතින කැස්සක් ඇතිවෙි. දිගින් දිගටම පවතින මෙම කැස්ස සුවවීමක් නොවන අතර ටික දිනකින් කැස්ස සමග රුධිරය ද යාමද පටන්ගැනීම මෙම වර්ගයේ රෝග ලක්ෂණයකි.

? සෙප්ටෙසිමික් මහාමාරියා තත්ත්වය
ආසාධිතයාගේ රුධිර සංසරණය පද්ධතිය සම්පූර්ණයෙන්ම බැක්ටීරියාවෙන් පිරි ඇති අවස්ථාවයි. ඇඟිලි, අත්, පා කළු වී පණ පිටින් සිටියදීම කුණුවී හැලි යාම මෙහෙදී සිදුවේ. අනෙක් දෙආකාරයටම වඩා මෙය දරුණු තත්වයක් විය.

මෙහි දී කුණුවී ඕජස් ගලන මාංශ එල්ලෙන විරූපී පුද්ගලයකු බවට පත්ව දින කිහිපයකින් නියත මරණයක් උරුම කරදීම සිදු විය.

මෙම සෙප්ටෙසිමික් තත්ත්වය ඇතිව මරණයට, මෝගල්  සෙබළුන් කැටපෝල මගින් කෆා නගරයට හෙලීම මෙම වසංගතය පැතිරයාමට ප්‍රධානම හේතුවකි. මෙම විරූපී මල සිරුර වලට මිනිසුන් ලං නොවුනද මීයන්ට නම් එය රජදහනක් වීය. ඉතිම් මීයන්ගේ මාර්ගයෙන් දින කිහිපයක් තුල නගරය බිදවැටුනි. මුදල් ඇත්තෝ වංශවතුන් නැව් නැග පලා යන්නට ගත් ක්‍රියාමාර්ගය නිසා ඉතාලියේ සිට ප්‍රංශය , ස්පාඤ්ඤ , පෘතුගාලය , එංගලන්තය ,ජර්මනිය ලෙස යුරෝපය පුරාම පැතිරි ගියේය. එය කවදාවත් නිමා නොවන බල පිපාසයකින් පෙලෙනා මිනිසා විසින්ම මිනිසාගේ ඉරණම තීරණය කල අවස්ථාවක් විය. තමන්ව අඩපණ කල රෝගයම තවකෙකුට සාදා හෝ බලය අල්ලාගැනීමෙි තුච්ච ප්‍රයත්නය නිසා යුරෝපයෙන් හරි අඩකට වන්දි ගෙවීමට සිදුවිය.

චීනයෙන් මධ්‍යම ආසියාවෙන් සුළුවට ආරම්භ වූ මෙම තත්ත්වය යුරෝපයට ගෙන එන ලද්දේ මෝගල් කුලී හේවායින්ය. එය බෙදාහැරගන්නා ලද්දේ යුරෝපයයි. මේ සියල්ලටම ගතවුයේ වසර හතරකි . කෝටි 20 කට අධික ප්‍රමාණයක් ජිවිත වලින් වන්දි ගෙවූ අතර එය එකල යුරෝපීය ජනගහයෙන් තුනෙන් එකකි.
ඉන්පසුව ඇතිවූ සමාජීයය, ආර්ථික, මෙන්ම දේශපාලනික ගැටළු සියල්ලම සාර්ථකව විසදා ගත් මිනිසා ඉක්මනින් ලගාවුයේ කළු මරණය අතු ගා දමා තිබූ සමාකාමී ජනජිවිතයටයි. පුනරුදය තුලින් කාර්මික විප්ලවයද සාහිත්‍යයද ගොඩනංවාගත්තේය. බුද්ධිමය අතින් මිනිසාට අභියෝග සියල්ලක්ම ජයගන්නට පුළුවන් විය. නමුත් අදටද කළු මරණයේ පටන්ගැන්ම එනම් මහාමාරියාව විනාස කර නැත. කළු මරණයේ හෙවැනැල්ල අද දිනද සමස්ත ලෝකය පුරාම නිසොල්මනේ සැරිසරන්නේ තවත් අවස්ථාවක ලෝකයම එකවිට පුදුම කරවීමට වන්නට පුළුවන.

කළු මරණයෙන් පසුව ඉතිහාසයේ නැවතත් තද තීන්තෙන් දැක්වෙන ව්‍යවසනය ස්පාඤ්ඤ උණ ( spanish flu ) නමින් හැදින්වෙන ඉන්ෆලුවෙන්සා තත්ත්වයි. පලමු ලෝක සංග්‍රාමය අතර තුර පැතිරී ගිය මෙම වසංගතය ලොව ජනගහයෙන් හතරෙන් එකකට, එනම් එකල මිලියන 500 කට පමණ වැල දී ඇත. නමුත් මුලාශ්‍ර වල මරණ සංඛ්‍යාව මිලියන 40 -50 ත් අතර වේ.  ඇතැම් විට එය මිලියන 100 දක්වා වුවද වන්නට පුළුවන් බව සදහන් වනුයේ සත්‍ය තොරතුරු වසන් කර සෙබළුන් මෙන්ම ජනයාගේ යුද්ධයට අවශ්‍ය ධෛර්ය පවත්වා ගත් බැවිනි.
මෙහි ආරම්භයක් නිශ්චිතව සොයාගත නොහැකි නමුදු මුලින්ම එය හදුනාගත්තේ එක්සත් ජනපදයේ යුධ සෙබලුන්ගෙනි. වයස අවුරුදු පහට අඩු ලමයින් . වයස 20- 40 අතර තරුණ තරුණයින් සහ අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් මෙම රෝගයට දරුණු ලෙස ලක්විය.

මෙහි පැතිර යාම සිදුවුයේ ආසාධිත පුද්ගලායට කැස්ස හෝ කිවිසුම් යාම මගිනි. එකල පැවැති තත්වය අනුව සංචාරය ප්‍රධාන අංගයක් වූ අතර එමනිසා මෙම වසංගතය ලොව පුරා බොහෝ රටවල ව්‍යාප්ත විය. එක්සත් ජනපදය , එංගලන්තය ,චීනය ,රුසියාව, බ්‍රසීලය ,නවසීලන්තය , ඉරානය , ඉන්දියාව ,ජපානය ඇතුළු බොහෝ රටවල් මෙම ස්පාඤ්ඤ උණ තත්ත්වය නිසා පීඩා වින්දේය.

මෙහිදී ද නිශ්චිත බෙහෙතක් නොවූ අතර ප්‍රතිජිවක සහ විවේකය, හුදකලා කිරීම , නිරෝධනය මගින් පාලනය කල හැක්කක් පමණක් විය.

ඉන්පසුව ලොව පුරා විවිධ කාල පරිච්ඡේදයන් වල විවිධ රෝග පැතිර ගියද ඒ කිසිවක් පෙර තරම් දරුණු වූයේ නැත. ඒඩ්ස් ( HIV – Aids ) දැනට මිලියන 25- 30 ජිවිත ප්‍රමාණයක් උදුරාගෙන ඇත. ඒඩ්ස් පලමුවරට ආනාවරනය කරගනු ලදුවේ 1981 වර්ෂයෙනි. එදා සිට අද දක්වාම ඒඩ්ස් අප අතර පවතී.

1988- 1990 කාලයේ ඇති වූ රුසියානු උණ නමින් හදුන්වන රෝගය මිලියනයක පමණ පිරිසකගේ ජිවිත උදුරාගත් අතර hong kong flu නමින් හැදින්වෙන රෝගයද 1968 – 1970 කාලයේ මිලියනයක පමණ ජිවිත ලොවට අහිමි කලාය.
අනතුරුව 2002-2003 වර්ෂවල sars වෛරසය ජිවිත 770 ක් පමණ උදුරාගත් අතර ඉබෝලා වෛරසය අප්‍රිකානු කාලාපයේ පැතිරී ජිවිත එකොලස්දහසක් පමණ බිලිගත්තේ ය.

Mers වෛරසයද 2015 සිට මේ දක්වා වරින් වර ජිවිත 850 ක් පමණ ඩැහැගැනීමට සමත් විය.

දැන් වසර 2020 , covid 19 මේ වනවිට ජිවිත පහලොස්දහසක් පමණ අහිමි කර ඇත. අදද එය, මේ තත්පරය තුලද පැතිර යමින් පැවතී.

ඉතින් ඔබට වැටහෙනු ඇත. වින කරන මිනිසාගෙන් සොබාදහම රැක ගැනීමට වරින් වර සොබා දහම විසින්ම එවන්නා වූ වසංගත මානව ඉතිහාසයට අලුත් අත්දැකීමක් නොවේ. කළ යුතුව ඇත්තේ වසංගතයට ගොදුරු නොවන ආකාරයෙන් ආරක්ෂා වීමට ය. නැතහොත් මීළඟ දැවැන්ත මානව සංහාරය වර්ෂ 2020 දී ලියවෙනු ඇත.

Designed by – Bimal Navin

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

හංසිකා ප්‍රබෝදිනී

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment