Interview දැනුම

යකඩ පීලි දිගේ නිල් වළා හිමෙන් වැසී ගිය සුන්දර ඉදල්ගස්හින්නට

දුම්රිය කියන්නේ පොඩි කාලේ ඉඳලා අපි හැමෝම ගොඩක් ආස වාහනයක්නේ… ඉතින් මාසෙකට විතර පස්සේ අදත් අපේ රූ ධාරා කණ්ඩායම ඔයාලව අරන් යන්න හදන්නේ මේ දුම්රියත් එක්ක ගොඩක්ම සමීප සංචාරක ආකර්ෂණය දිනා ගත්ත ස්ථානයක් වන ඉදල්ගස්හින්න වෙතයි…

මේ මුතු ධරණියේ සැඟවුණු සොබා ශ්‍රී සොයා යන Colombo Beacon රූ ධාරා, 09 වන පරිච්ඡේදය… 

හපුතලේ සහ ඔහිය දුම්රිය ස්ථාන අතර මුහුදු මට්ටමේ සිට මීටර් 1615ක් උසින් පිහිටා ඇති  ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය මුතු ධරණියේ වඩාත්ම සුන්දර ස්ථානයන්ගෙන් එකක්… මෙම දුම්රිය ස්ථානය, යටත් විජිත යුගයේ දී නානු ඔය සිට හපුතලේ දක්වා දුම්රිය මාර්ගය පුළුල් කරන විට ඉදිකරන ලද්දක්…

ඔහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර rail hike එක මෙන්ම ඉදල්ගස්හින්න hike එක සංචාරකයන් අතර මෙතරම් සුවිශේෂී වෙන්න විශේෂ හේතුවක් තියනවා…

මේ ගැන වැඩිදුර තොරතුරු, දන්න අයගෙන්ම අහලා දැනගමු…

ඔන්න අද අපි සම්බන්ධ කරගත්තා මේ ගමනේ අත්දැකීම් තියන පුද්ගලයින් තුන් දෙනෙක්. ඉතින් මේ විදියට ඔවුන් ගිය ගමන අපිව ආසාවෙන් අරන් යන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ… කොරෝනා පළවෙනි රැල්ල නිමාවනවාත් සමඟම ඉදල්ගස්හින්න rail hike එක ගිය පිරිසකගෙන් අපේම විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ තෙවන වසර බුද්ධි ඕෂධ අයියාත්, රන්දික සඳපා අයියාත්. ඒ වගේම පහුගිය සැප්තැම්බර් මාසේ යාලුවෝ දෙන්නෙක් එක්ක ඉදල්ගස්හින්න කන්ද නැගපු මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ අධ්‍යාපනය හදාරන සොයුරෙක් වන තමිඳු සත්රුවන්.

Colombo Beacon වෙනුවෙන් ආයුබෝවන් කියලා මම අයියලාවයි, තමිඳුවයි මේ සාකච්ඡාවට පිළිගන්නවා.

මම මුලින්ම අහන්න කැමතියි අයියලා කොහොමද මේ ඉදල්ගස්හින්න rail hike එක ගැන දැනගත්තේ කියලා වගේම මේ hike එක ප්ලෑන් කරපු විදිය ගැනත්

සඳපා අයියා මෙතන කොහොමත් ගොඩක් ප්‍රසිද්ධ තැනක්නේ  නංගී…

බුද්ධි අයියා ඔව් ඉදල්ගස්හින්න ප්‍රසිද්ධයි. අනිත් එක අපිත් එක්ක ගිය දුමිඳු තුන් හතර සැරයක් ගිහින් තියෙනවා එයා තමයි කිව්වේ මෙහෙම තැනක් තියෙනවා යමු කියලා.

සඳපා අයියා අපි ඊට පස්සේ දවසක් දාගත්තා. මේකෙ ඉතින් ලොකුවට ප්ලෑන් කරන්න දෙයක් තිබ්බේ නෑනේ උදේ ගිහින් හවස එන්න පුලුවන් සීන් එකක්නෙ තියෙන්නෙ ටෙන්ට් අරන් යන්න ඕනෙත් නැහැ දවසින් ගිහින් එන්න තමයි ගියේ…

 

ඒ කියන්නේ අයියලා ගියේ one day trip එකක්ද?

බුද්ධි අයියා නෑ මෙහෙමයි one day  කියන්නේ එක රැයක්ම ඉතින් කෝච්චියේ… අපි ගියේ කොටුවෙන් රෑ 8ට  තියෙන බදුල්ල night mail එකේ… මම සැරින් සැරේ කෝල් කළා train එක ඇද්දද කියලා අහලා… හැමදාම වගේ මම අන්තිම මොහොතේ තමයි train එකට නැග්ගේ… මම ආපු A/C බස් එකේ අංකල්ටත් මම කිව්වා uncle නයිට් මේල් එක අල්ලගන්න තියනවා ඉක්මනට ගිහින් දාන්න පුලුවන් නම් හොඳයි කියලා… train එකේ ලොකුවට සෙනඟ හිටියෙත් නෑ කොරෝනා ඉවරවුණු ගමන්ම වගේ නිසා… සාමාන්‍යයෙන් නම් කොටුවෙන් එනකොට කට කපලා සෙනඟ වෙනදාට…

සඳපා අයියා මමයි, දුමිඳුයි, සසංකයි, චානකයි, අපි කට්ටිය train එකට නැග්ගෙ පොල්ගහවෙලින් බුද්ධිලා කොළඹ ඉඳලා ආවා. අපි ඒ ටයිම් එක අල්ලලා පොල්ගහවෙලින් නැග්ගා. එහෙම තමයි අපි සෙට් වුණේ. Train එක හරියටම උදේ 6 වෙනකොට ඉදල්ගස්හින්නට ගියා.

 

තමිඳු, ඔයාලා මේ ට්‍රිප් එක ප්ලෑන් කරපු විදිය ගැනත් කිව්වොත්…

තමිඳුඔව්… මේ අයියලා කිව්ව වගේම ඉදල්ගස්හින්න ගොඩක් ප්‍රසිද්ධයිනේ. මමයි මගේ යාලුවො දෙන්නයි කොරෝනා නිවාඩුවෙන් පස්සේ 1st sem exam ඉවරවුණු ගමන් අනිවා කොහේ හරි යන්න ඕනේ කියලා තමයි හිතාගෙන හිටියේ. එතකොට තමයි කිමල් කිව්වේ අපි ඉදල්ගස්හින්න යමු කියලා. අපිටත් ලොකුවට ප්ලෑන් කරන්න දෙයක් තිබුණේ නෑ මොකද අපිත් එක දවසෙන් කන්ද නැගලා ආපහු එන්න තමයි හිතාගෙන ගියේ…

ඔයාලා ගියෙත් මේ අයියලා ගිය බදුල්ල night mail එකේම ද?

තමිඳුඔව් අපිත් ගියේ ඒ night mail එකේම තමයි… හැබැයි අපි ඉදල්ගස්හින්නට යනකොට ටිකක් පරක්කු වුණා… මොකද එදා හොඳටම මීදුම… කෝච්චිය මග station වල ගොඩක් වෙලා නවත්තගෙන හිටියා… අපි ඉදල්ගස්හින්න station එකෙන් බහින කොට උදේ 6.30 වගේ වුණා.

කෝච්චියේ යන ගමනේ අත්දැකීම් කොහොමද අයියේ?

බුද්ධි අයියා මෙහෙමයි… අපි සීතලේ කාඩ් ගැහුවා… train එකේ  video එහෙමත් ගත්තා… ජනේලෙන් එළියෙ view එක ඉතින් පට්ටම ලස්සනයි ඒක  ඉතින් දකින්නම ඕනි… කෝච්චියේ engine එක මාරු කරන්න නවත්තනවනේ පට්ටිපොලින් අපි එතනින්  පොඩ්ඩක් බැස්සා… කොහොමහරි දුමිඳු එතනින් හෝර්ටන් තැන්නට යන්න පාරකුත් පෙන්නුවා…

 

තමිඳු ඔයාලගේ කෝච්චියේ ගමන ගැනත් කිව්වොත්…

තමිඳු අපිත් අයියලා වගේම කාඩ් ගැහුවා… photos ගැහුවා… මට මතකයි කඩුගන්නාවෙන් පස්සේ වගේ තමයි සීතල වැඩි වෙන්න පටන් ගත්තේ… මේ සීතලේ මඟ Station එකක නැවැත්තුවම උණු උණුවෙන් කිරි කෝපි එකක් බිව්වම අමුතුම  feeling  එකක් තමයි දැනෙන්නේ…

 

යන්න පටන් ගත්ත ගමන ගැන කිව්වමත් කවදද යන්නේ කවදද යන්නේ කියලා මගේ හිත මගෙන්ම අහනවා… හරිම ආස හිතෙනවා ඔයාලා කියන විදිහට…

ඉතින් අයියේ ඉදල්ගස්හින්නෙන් බැහැලා නේද උදේට කන්න එහෙම ඇත්තේ?

සඳපා අයියා ඔව් නංගි අපි  බැස්සාම ස්ටේෂන් එකේ passengersලට පොඩි බීම කඩයක් වගේ තිබ්බා… අපි ඒකෙන් උදේට කෑවා. හොඳටම සීතලයි එතකොට… අපි ඊට පස්සේ ස්ටේෂන් එකේ පිටිපස්සට ගියා පිටිපස්සේ පල්ලමේ තනිකරම මීදුම… මාරම  ලස්සනයි. අපි photos ගත්තා…

බුද්ධි අයියා ඒ කියන්නේ ෆොටෝ එකක් ගන්නත් හෙනම ගේමක් දුන්නා…. හොඳටම මීදුමනේ…

තමිඳු  ඔයාලා train එකෙන් බැස්සට පස්සේ මොකද කළේ?

තමිඳුබැස්ස ගමන්ම ඉදල්ගස්හින්න කන්ද තමයි දැක්කේ… හරිම ලස්සනට පේනවා ස්ටේෂන් එකට. එතන පොඩි කඩයක් තිබ්බා හැබැයි ඒක ඇරලා තිබ්බේ නෑ ඒ වෙලාවේ… අපි ඉතින් ඒක අරිනකල් ස්ටේෂන් එකට වෙලා හිටියා හිටියා. කඩේ ඇරියාම උදේට කාලා දවල්ට කෑම එතනින් ඕඩර් කලා… ඒ කඩේ uncle කිව්වා හැමදාම කඩේ අරින්නෙත් නෑ කියලා… මම හිතන්නේ ඒ දවස්වල කොරෝනා ප්‍රශ්න නිසා වෙන්න ඇති.

ඔව් නේද? නැත්නම් ඒ වගේ කඩයක් වහලා තියන එක පාඩුයිනේ…

අයියලා කාලා එහෙම රේල් හයික් එක පටන් ගත්තා… එහෙමද?

 සඳපා අයියා ඔව්. අපි කාලා, අපිට පොඩි බලු යාලුවෝ දෙන්නෙකුත් හම්බවුණා ඒ දෙන්නාටත් කන්න දුන්නා… මෙහෙමයි රේල් පාරේ එහෙම යන්න දෙන්නෙත් නෑ… ඒකට අවසර ගන්නත් ඕනේ..

 

අවසර ගන්න ඕනි කිව්වේ මොකක්ද අයියේ… පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කරන්න පුලුවන්ද?

බුද්ධි අයියා මෙහෙමයි නංගි රේල් පාර දිගේ මිනිස්සුන්ට ඇවිදින්න තහනම් ඒකට වෙනම අවසර ගන්න ඕනේ CGR එකෙන්. අවසර ගත්තට විතරක් මදි. Train schedule එක ගැන හොඳ අවබෝධයක් තියෙන්නත් ඕනි ඒ වගේම train වල sound එකට පොඩ්ඩක් සංවේදී වෙන්නත් ඕනි.

 

මොකක්ද අයියේ මේ rail hike එකේ මේ තරමටම තියෙන විශේෂත්වය?

සඳපා අයියා ඔව් නංගි ඒක ගොඩක් විශේෂයි මොකද ලංකාවේ  train station දෙකක් අතර වැඩිම බිං ගෙවල් ගාණක් තියෙන්නෙ ඉදල්ගස්හින්න සහ ඔහිය station දෙක අතර… මේ අතර බිං ගෙවල් 14ක් තියෙනවා අංක 35 ඉඳලා අංක 22 වෙනකල්. මේ station දෙක අතර දුර කිලෝ මීටර 9ක් වගේ සාමාන්‍යයෙන් පැය 3ත් 4ත් අතර වෙලාවක් යනවා මේ hike එකට. කොහොම වුණත් සංචාරකයෙක් විදියට ජීවිතේ එක පාරක් හරි විඳින්න ඕන අත්දැකීමක් තමයි මේ කියලා මම නම් කියන්නේ…

ඒ කියන්නේ අපිත් එක්ක ඉන්න හැමෝම මේ ගමන යන්න එකතුවෙයි වගේ…

එතකොට තමිඳු ඔයාලා උදේට කාපු කඩේ ළඟ ඉඳලා කන්දට නගින්න ගිය විදිය ගැන කිව්වොත්.

තමිඳු මෙහෙමයි කඩේ ළඟ පාරක් තියෙනවා ඒක කොන්ක්‍රීට් කරපු පාරක් හැබැයි පාර ගොඩක් හොඳ තත්වෙක නම් නෑ දැන්. කොන්ක්‍රීට් කරපුවා කැඩිලා එහෙම තිබ්බා ඒ පාරෙ පොඩි දුරක් ගියාම තේ වත්තක් මැදින් උඩට යන්න තිබ්බා… අයියලාට වගේම අපිටත් බලු යාලුවෙක් හම්බුණා එයත් අපිත් එක්ක ගමනට එකතු වුණා…

ඔයා මේ කියපු තේ වත්ත මැදින් යනකොට මොනවද දැකපු විශේෂ දේවල්?

තමිඳුකලින් කට්ටිය ඇවිත් camping කරපු තැන් තිබුණා… උඩ බැලුවම කන්ද උඩ හරියේ තියන ෆයිනස් ගස් පේනවා… ඊටත් උඩින් තියන අහස… මුළු අහසම පැහැදිලියි. ජීවිතේට දැකපු ලස්සනම අහස ඒ ගැන නම් වචන නෑ… පහළ බැලුවම ඉදල්ගස්හින්න station එක පේනවා… ආහ් තව දෙයක්, උඩට යන්න යන්න හුළඟ ටික ටික සැර වෙනවා… ඉදල් ගස් හුළඟට වැනෙද්දි එන feeling එකේ පොඩි බයකුත් එක්කම පොඩි සතුටකුත් තිබුණා මේ සුන්දරත්වය තියෙන්නේ අපේ ලංකාවේම විතරක් නිසා…

ඔයා කිව්වනේ camping කරපු තැන් තිබුණා කියලා.. කොහොමද හරියටම කියන්නේ ඒවා camping කරපු තැන් කියලා මොනවා හරි විශේෂත්වයක් තියෙනවද ඒ තැන්වල?

තමිඳු ඔව් දකින ඕනෙම කෙනෙක්ට අඳුරගන්න පුලුවන් ඒවා camping කරපු තැන් කියලා මොකද ඒ තැන්වල තැනිතලා බිමක් තිබුණේ… ගිනිමැල ගහලා ඉතුරු වුණ දර ගොඩවල් තිබුණා… තව කෙනෙක්ට ගියාම ලේසියෙන්ම ඒ තැන්වල tent ගහගන්න පුලුවන්…

 

එහෙනම් අලුතින්ම යන කෙනෙක්ට ගොඩක් ලේසියි නේද?

දැන් අයියේ අයියලා මෙහෙම රේල් පාර දිගේ යනකොට බිං ගෙවල් ගොඩක් හම්බුණානේ මේවා අතරින් දිගම බිං ගේ මොකක්ද කියලා මතකද?

බුද්ධි අයියා ඔව් නංගි මගේ මතකේ හැටියට නම් අංක 29 තිබුණ බිං ගේ තමයි දිගම බිං ගේ ඒකේ එක පැත්තකින් ඇතුල් වුණාම අනිත් කොන පේන්නේ නැති තරම් දිගයි. යනවා යනවා යනවා යනවා ඉවරයක් නෑ… කළුවරයි කියන්නේ තිත්තම කළුවරයි ටෝච් එකක් නැත්තං අඟලක් දුරවත් පේන්නේ නෑ… වැටෙන්නත් පුළුවන් ඒ නිසා අනිවාර්යෙන්ම ටෝච් එකක් ඕනි මේ ගමනට… දිග බිං ගෙවල් නම් පට්ට ගඳයි වවුලෝ ජරා කරලා…


 ඒ උමඟ ඇතුළේ ගොඩක් පරිස්සමින් යන්න ඕනි ඒ කියන්නේ…

තමිඳු, තේ වත්ත පාස් කලාට පස්සේ ගමන ගැන කිව්වොත්…

තමිඳු එතනින් තව ටිකක් උඩට යනකොට තව තැනිතලා බිමක් තිබුණා… එතනත් camping වලට තමයි හොඳම… අපි ටිකක් වෙලා එතන නැවතිලා මහන්සි ඇරලා එතැනින් වම් අත පැත්තට තිබුණ කඳු මුදුනට නගින්න පටන් ගත්තා… උඩට යන්න යන්න අමුතුම සීතලක් දැනෙන්නේ… උඩටම ගියාට පස්සෙ එක පාරටම ලොකු මීදුමක් ආවා… ළඟ ඉන්න කෙනා පේන්නෙත් නැති තරමටම මීදුම ඝනයි. ඊට පස්සේ ටික වෙලාවකින් පොද වැටෙන්න පටන් ගත්තා… ආපහු ටිකකින් ඉර එළිය වැටුණා… මේ වගේ ක්ෂණිකව වෙනස් වෙන කාලගුණයක් තමයි තියෙන්නේ… මේ හරියෙ ඉන්නකොට වටපිට බැලුවම අපි නිකන් වලාකුළු වලටත් වඩා උඩින් ඉන්නවා වගේ තමයි දැනෙන්නේ… අපි ටික වෙලාවක් උඩ ඉඳලා ෆොටෝස් අරන් පහළට බැස්සා… ආපහු අපි ආවේ අපිට කලින් හම්බවුණ තැනිතලා බිමටමයි ඒ හරියට ආවම තව කට්ටියකුත් ආවා කන්ද නැගගෙන…

 

ඒ කියන්නේ අනිත් තැන් වගේ නෙමෙයි ඉදල්ගස්හින්නට ඕනිම වෙලාවක මීදුම එන්න පුලුවන්… හරි පුදුම කාළගුණයක්…

මම දැකලා තියෙන විදියටනම් අයියේ බිං ගෙවල් හදලා තියෙන්නේ හරියටම කෝච්චියේ  size එකටම වගේ… වැඩිපුර පොඩි ඉඩයි තියෙන්නේ… අයියලා බිං ගෙයක් ඇතුළෙන් යනකොට කෝච්චියක් එහෙම ආවේ නැද්ද? මෙහෙම බිං ගෙයක් ඇතුළින්  යනකොට කෝච්චියක් ආවොත් ඇතුළේ ඉන්න කෙනෙක්ට ආරක්ෂාවක් තියෙනවද?

සඳපා අයියා අපි කලින් කිව්වා වගේ නංගි මේක ගොඩක් පරිස්සමෙන් යන්න ඕනි ගමනක් ඒ වගේම train schedule එක ගැන හොඳ අවබෝධයකින් ඉන්න ඕනි… අපි මේ ගමන පටන් ගත්තේ train නැති පැය තුනක වගේ වෙලාවක් බලලා ඒ වෙලාවේ කොහොමහරි බිං ගෙවල් ටික පාස් කරගන්න තමයි අපි try එක දුන්නෙ… හැබැයි ගමන මැදදි රේල් පාරේ බඩගාගෙන photos  ගත්තා… වීඩියෝ කළා… ඒ නිසා පොඩි පරක්කුවක් වුණා.. අන්තිම බිං ගෙට ඇතුළු වෙන්න හදනකොටම වගේ කෝච්චියක් එන සද්දයක් ආවා අපි බිං ගේ ඇතුළට නොයා එළියෙ ඉඳලා බලන් හිටියා… මොකද ඇතුලෙ ගොඩක් අයට එක පාර ලොකු ආරක්ෂාවක් නෑ… බිං ගෙවල් ඇතුළෙ man hole කියලා එකක් තියෙනවා train එකක් එනකොට අනිවාර්යෙන්ම මේ man hole එකක් ඇතුළට යන්න ඕනේ… තව වැදගත් දෙයක් තමයි හැම බිං ගේකම මේ man hole එක තිබුණේ නෑ… සාපේක්ෂව දිග බිං ගෙවල් වල විතරයි මේ man hole එක තිබුණේ…

ඒ කියන්නේ හොඳම දේ train එකක් එන වෙලාවට බිං ගෙයින් එළියේ ඉන්න… ඇතුළට යන්න කලිනුත් train schedule එක ආපහු බලන එක කෝකටත් හොඳයි…

තමිඳු, ඔයා කලින් කිව්වනේ ඔයාලා වම් පැත්තට නැග්ගෙ කියල දකුණු පැත්තෙ මොනවද තිබ්බේ කියලා දැක්කාද?

තමිඳු ඇත්තටම දකුණු පැත්තේ තිබ්බේ ගොඩක් බෑවුම වැඩි කන්දක්  සාමාන්‍යයෙන් කට්ටිය ඒ කන්ද නගින්නෙ නෑ… අපි ඉතින් පොඩ්ඩක්  අමාරුවෙන් බිම අල්ල අල්ල කන්ද නැගලා, කන්ද උඩටම ගියා… ඒ මුදුනෙන් දෙපැත්තක් තිබුණා… එකක් කෙලින්ම ලොකු ප්‍රපාතයක් අනිත් පැත්ත වැහෙන්නම ෆයිනස් ගස් එක්ක බෑවුමක්…

සාමාන්‍යයෙන් මේ ඉදල්ගස්හින්න කන්ද නගින්න කොච්චර වෙලාවක් යනවද?

තමිඳු සාමාන්‍යයෙන් නම් විනාඩි 40 ක් වගේ තමයි යන්නේ අපිට පැයක් විතර ගියා අපි හෙමින් හෙමින් photos ගහන ගමන් නැගපු නිසා… ගොඩක් පුරුදු කෙනෙක්ට නම් විනාඩි 30 ක වගේ වෙලාවක් යන්නේ කියලා අපිට පහළදි හම්බුණ uncle කෙනෙක් කිව්වා…

ඒ කියන්නේ අමාරු ගමනක්මත් නෙමෙයි නේද?

අයියේ මේ rail hike එක යනකොට දැකපු දේවල් ගැන විස්තර කළොත්…

බුද්ධි අයියාමේක නංගි සංවේදී පරිසර කලාපයක්… තේ වතු ෆයිනස් ගස් තමයි ගොඩක්ම තිබුණේ… මාරම ලස්සනයි මීදුමත් එක්ක… අපි යන්නේ හෝර්ටන් තැන්න රක්ෂිතය ඇතුළෙන් වගේ තමයි… මම හිතන්නේ ඉදල්ගස්හින්න තමයි ලංකාවේ තියෙන  ලස්සනම ස්ටේෂන් එක… ඒ වගේම ඉස්සර හදපු ෆිල්ම් වල places වගේ ඒවා තිබුණා… මාර view එකක් තියෙන නිසා හින්දි ෆිල්ම් එකක් වගේ ගහන්නත් පුලුවන්…

 

තමිඳු, ඔයා මුලින්ම කිව්වනේ ඔයාලත් එක දවසින් ගිහින් එන්න තමයි ගියේ කියලා… උඩට ගියාට පස්සේ නිකමටවත් හිතුනෙ නැද්ද රෑට ඉඳලා යන්න තිබුණා නම් හොඳයි කියලා…

තමිඳු  – මොකද නැත්තෙ අපි තුන්දෙනාටම ඒක හිතුනා ඒත් ඒ දවස් වල කන්ද උඩ නවතින එක තහනම් කරලා තිබුණේ… කලින් camping ආපු කට්ටිය කුණු දාලා ගිහිල්ලා ප්‍රශ්නයක් වෙලා… අපිට තව කරන්න වැඩ ගොඩකුත් තිබුණා… ඒ නිසා ඉතින් නවතින්න හිතුනත් නැවතුනේ නෑ… හැබැයි පස්සේ දවසක අනිවාර්යෙන්ම ගිහින් නැවතිලා ඉඳලා තමයි එන්නේ…

 ඔයාලා යනකොටත් කලින් ආපු අය දාලා ගිය කුණු තිබුණද?

තමිඳු  – එහෙම නම් ගොඩක් කුණු දාලා ගිහින් තිබුණේ නෑ… තැන් දෙක තුනක වගේ පොලිතින් කවර තිබුණා… අපි ඒ ටික එකතු කරලා පහළට අරන් ආවා… මම නම් හිතන්නේ නෑ මේ වගේ පොඩි දෙයක් නිසා camping තහනම්  කරන්න ඇති කියලා… තව මොනවා හරි හේතු ඇති… කලින් මීටත් වඩා පරිසරේ විනාශ වෙලා තියෙන්න ඇති… ටික කාලෙකට camping තහනම් කරපු නිසා දැන් කන්ද උඩ පිරිසිදුව තියනවා…

 

මේ වගේ දේවල් වලින් වෙන්නේ තව කෙනෙක්ට මේ පරිසරයේ සුන්දරත්වය විඳින්න තියන අවස්ථාව නැති වෙන එක…

අන්තිම බිං ගේත් pass කලාට පස්සෙ වුණ දේවල් විස්තර කළොත් අයියේ…

සඳපා අයියාඅපි ඔහිය station එකට එනකොට වෙලාව උදේ 11.30 ට 12ට  විතර ඇති… අන්තිම බිං ගේ ළඟදි අපිව පාස් කරගෙන ගිය කෝච්චිය එතන නවත්තලා තිබුණා… මෙතනින් තමයි කතාවේ හොඳම ටික පටන් ගන්නේ එතන ඉදලා කිලෝමීටර් තුනක් විතර ඉස්සරහින් කෝච්චියක් පීලි පැනලා… කෝච්චියක් පීලි පැන්නම අයින් කරන්න එන්න තියන කෝච්චිය දැන් බදුල්ලේ ලු…  ඒක බදුල්ලෙ ඉඳල ඔහියට එනකොට හවස 4.30 විතර වෙනවා… අස් කරලා ඔක්කොම කරලා ඉවර වෙනකොට රෑ 9.30 වගේ වෙයි කිව්වා…

අයියලා ගෙදර එන්න හිතාගෙන ගියෙත් කෝච්චියේමද?

බුද්ධි අයියා ඔව් නංගි… දැන් මේක වුණාට පස්සේ කෝච්චියේ යන්න ඉන්න බෑනේ… අපි බැලුවා බස් එකක් තියෙන වෙලාවක්… ඔහියේ ඉඳලා යන්න එකම එක බස් එකයි තිබ්බේ… වැලිමඩ ඉඳලා ඒක එන්නේ… 02.20 ට තමයි බස් එක එන්න තියෙන්නෙ… ඒකත් ඉතින් ඩ්‍රයිවර් හිටියොත් තමයි නැත්නම් ඒකත් නෑ ඒක නැති වුණොත් ඉතින් රෑ 9.30 වෙනකල් ඉඳලා තමයි ගෙදර යන්න වෙන්නේ…

 

දැන් අයියලට ගෙදර එන්න 02.20 වෙනකල් ඉන්න ඕනිනේ මේ වෙලාව වෙනකල් අයියලා ස්ටේෂන් එකට වෙලා හිටියද?

සඳපා අයියා අපි ළඟ තිබුණ කඩේකට ගිහින් පොල් රොටි කෑවා ඊට පස්සේ කට්ටිය කතා වුණා නාමු කියලා… වෙන කරන්න දේකුත් නෑනේ ඉතින් උස්සලා ටයර් මාරු කරන්නයැ කෝච්චියේ…  ආ තව සීන් එකක් වුනා… අපිට train එකේ driver ව සෙට් වුණා.. චානකයි ඩ්‍රයිවරුයි පට්ට ටෝක්ස් ටිකක් තමයි දුන්නෙ… චානක ඉතින් කතා කරන්න ගත්තම කෝච්චිය වගේනෙ නවත්තන්නෙත් නෑනේ…

 

අයියලා කිව්වනේ නාන්න කතා වුණා කියලා අයියලාට නාන්න තැනක් හම්බ වුණාද?

බුද්ධි අයියා අපි ඇහුවම කඩේ ඉන්න කෙනෙක් තමයි කිව්වේ නාන්න තැනක් තියෙනවා කියලා… කන්දක් බැහැලා කන්දක් නැග්ගම වගේ තමයි හම්බවුණේ පොඩි දොළ පාරක් කොහොමහරි නාන්න තිබුණ හොඳම පොට් එක අපිට අල්ලගන්න බැරි වුණා වෙන කට්ටියක් අපිට කලින් එතනට ගිහින් තිබුණා… නෑවා කියන්නේ නෑවම නෙමෙයි මූණ අත පය හේදුවා…

 

අයියලා නාන්න ගිහින් බස් එකට වෙලාවට ආවද ?

සඳපා අයියා ඔව් නංගි, බස් එකත් වෙලාවටම ආවා වැලිමඩ යන CTB බස් එකක්. බස් එක යන හරිය වෙනම සයිකල් එකක් අරන් යන්න තිබුණා නම් හොඳයි කියලා හිතුනා ඒ කියන්නේ බස් එක යන්නේ මාරම ලස්සන පාරක අපි පස්සේ දවසක ආපහු යන්නත් කතා වුණා… බස් එක බොරලන්දේ නතර  කලාම එතනින් හපුතලේ බස් එක අරන් හපුතලෙන් තමයි කොළඹට එන්න ආවේ…

 

හොඳ වෙලාවට බස් එක තිබුණේ නැත්නම් ඉතින් රෑ 9.30 වෙනකල් අයියලා station එකේ…

තමිඳු, ඔයාලා කන්ද නැගලා පහළට බහිනකොට වෙලාව කීය වගේ වුණාද?

තමිඳුවෙලාව නම් හරියටම මතක නෑ… අපි ගෙදර එන්න හිතාගෙන ගියෙත් බදුල්ලෙන් හවස 5.50 ට එන night mail එකේ… කොහොමහරි අපිට තව ගොඩක් වෙලාව තිබුණා… ඒ නිසා තුන් දෙනත් එක්ක කතා වෙලා දෙමෝදර loop එක බලන්න යන්න තීරණේ කළා… දවල්ට order කරපු කෑම ටිකත් අරන් අපි පොඩි  train එකක දෙමෝදරට ගියා… මේ යන අතරමඟදි ඇල්ලෙදි 9 arch bridge එක බලාගන්න පුලුවන් වුණා… අපි ආපු පොඩි  train එක දෙමෝදර station එක යට බිං ගේ ඇතුළින් එළියට එනවා බලලා… දවල්ට කාලා, ඊළඟ කෝච්චියෙන් අපි බදුල්ලට ගියා.

 

මොකක්ද තමිඳු ඒ station එක යට බිං ගෙයක් ගැන කියපු කතාව?

තමිඳුමම දන්න විදියට නම් මෙහෙමයි, එතන තියෙන්නේ loop එකක්… මේ loop එක හදන්න මූලිකම හේතුව වෙලා තියෙන්නේ ඌව කලාපයේ තේ නිශ්පාදන කොළඹට ප්‍රවාහනය කරන එක. ජනප්‍රවාද වල හැටියට නම් දෙමෝදරින් රේල් පාර ඉස්සරහට ගෙනියන්නේ කොහොමද කියලා ඉංජිනේරුවෝ කල්පනා කරනකොට ගොවියෙක් ජටාව බැඳලා තිබුණ විදිය දැකලා ඒ විදියට රේල් පාර හදන්න යෝජනා කරලා තියනවා… මෙතනදී රේල් පාර station එක පහු කරලා loop එක වටේ ගිහින් station එක යටින් තියන අංක 42 බිං ගෙයින් තමයි මතු වෙන්නේ… loop එකේ  දිග අඩි 441යි… දෙමෝදර දුම්රිය ස්ථානය හරියටම බිං ගෙට උඩින් තියෙන්නේ… ඒ වගේම ඒක loop එකේ හරස් ලක්ෂ්‍යයේ කේන්ද්‍රයත් වෙනවා… බිං ගෙයක් උඩින් හරියටම දුම්රිය ස්ථානයක් තියන ලෝකේ එකම loop එක තමයි මේ…

ඒකනම් බලන්න යන්නම වටිනවා…

අයියලා ගොඩක් හයික් ගිහින් තියෙනවනේ ඒවට සාපේක්ෂව මේ rail hike එකේ වෙනස මොකක්ද? කියලා මම ඇහුවොත්?

බුද්ධි අයියාමෙහෙමනෙ නංගි, ලංකාවේ ඕනිම කෙනෙක්ගෙන් ඇහුවොත් කෝච්චියේ යන්න හොඳම route එක කියන්නේ බදුල්ල තමයි… කොච්චර ගියත් කවදාවත් එපා වෙන්නේ නෑ… තාමත් ආසයි මීදුම අතරින් ඉර පායනවා බලන්න… මීදුම නැති වෙනවා බලන්න… අනික අපි නයිට් මේල් එකේ යනකොට බලන් යන ටික ඇවිදන් යන ගමන් බලද්දි අමුතුම ෆීලින් එකක් තියෙනවා කෝච්චිවල යන්න තිබුණ ආසාවයි බිං ගෙවල් ඇතුළේ photos ගන්න ඕනි කියන target එකයි තිබුණා… මේක අපේ ගවරවිල ගමන වගේ අමාරු ගමනක් නෙමෙයිනේ… ඒක නං ගැහැණු ළමයෙක්ට යනවා තියා හිතන්නවත් අමාරුයි… ඒත් මේක ඕනිම කෙනෙක්ට අවසර ගත්තට පස්සේ යන්න පුලුවන් ගමනක්… මේකෙ ගොඩක්ම තියෙන්නෙ වටපිටාවේ ලස්සන බලන්න තමයි.

අයියලට target එකක් තිබුණ කිව්වනේ photos ගන්න ඒකට මොකක් හරි technique  එකක් use කලාද?  මොකද, කෝච්චිය යන එක… බිං ගේ ඇතුළින් එළියට එන එක… ලස්සනටම capture කරගන්න ඕනිනේ…

බුද්ධි අයියාදුමිඳු නම් රේල් පාරේ සිල්පර කොටන් උඩ බඩගාගෙනත් ෆොටෝස් ගත්තා… එහෙම ඉතින් special technique එකකුත් නෑ… දුමිඳු කොහොමහරි ලෙන්ස් දෙකක් අරන් ගියා ලෙන්ස් මාරු කර කර තමයි photos ගැහුවෙ… ඉදල්ගස්හින්නේදී  photos ගහන්න හැදුවා… මීදුම නිසා photos ගහන්නත් අමාරුයි… පොඩ්ඩක් මීදුම අඩු වුණාම තමයි photos ගැහුවෙ… අනික lens එක පරිස්සම් කරගන්නත් ඕනි… මීදුම කියන්නේ වතුරනේ… වතුර නිසා lens එක පුස් කන්න පුලුවන්…

 

තමිඳු, ඔයාලා ගෙදර එන්න හිටපු night mail එක අල්ලගන්න පුලුවන් වුණාද ඔයාලට?

තමිඳුඔව්… අපි ගිය train එක බදුල්ලට ගියා 5ට වගේ… night mail එකත් හරියටම 5.50ට වගේ බදුල්ලෙන් පිටත් වුණා… ඒ සුන්දර පරිසරයෙන් මිදිලා ආයෙත් අපි කොළඹට එනකොට පහුවදා උදේ වෙලා තිබුණා…

 

 අයියේ, තමිඳු කලින් කිව්වනේ කන්ද උඩ නම් මිනිස්සු කුණු දාලා ප්‍රශ්නයක් වෙලා කියලා රේල් පාර වටේ පරිසරයත් ඒ වගේ විනාශ වෙලා තිබුණාද?

සඳපා අයියාම්ම්… පරිසරය විනාශ වෙලා කියලා එහෙම ලොකුවට පේන්න දෙයක් තිබුණෙ නෑ… මෙතන අවසර අරන් යන්න තියෙන නිසා මිනිස්සු යනවා අඩුයිනේ… හානි වුණානම් හානි වෙලා තියෙන්නේ ඉස්සර මේවා හදනකොට වුණ දේවල් තමයි

බුද්ධි අයියා කොච්චර ප්‍රසිද්ධ වුනත්  ඒ පැත්තටම තියෙන්නෙ ඉදල්ගස්හින්න station එක විතරයි ඔහියත් එහෙමයි ඝණ කැලෑවක් තියෙන්නෙ… ඔහියේ ඉඳලා තියෙන්නෙත් එක බස් එකක් විතරයි ඒකත් sure නෑ… ඒ නිසා පරිසර දූෂණයක් ලොකුවට නෑ රේල්  පාරේ තිබුණෙ train එකෙන් ලීක් වුණ තෙල් විතරමයි…

 

තමිඳු, මම ඔයාගෙන් අයියලාගෙන් කලින් අහපු ප්‍රශ්නෙම ඇහුවොත්… ඔයා ගිහින් තියන hike වලට සාපේක්ෂව මේ hike එකේ වෙනස මොකක්ද?

තමිඳුnormally මේ hike එක අමාරු නෑ ඉතින් අනිත් ඒවා වගේ… විශේෂ දෙයක් තමයි මේ ඉදල් ගස් අතරින් දැනෙන මීදුම, මම මීට කලින් වෙන කොහෙදිවත් විඳලා තිබුණේ නෑ…

 

අයියේ, අන්තිම ප්‍රශ්නේ විදියට මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. rail hike එකක් යන කෙනෙක්ට කියන්න ඕන විශේෂ දෙයක් තියෙනවද?

සඳපා අයියා අපිනම් කියන්නේ අනිවාර්යෙන්ම අවසර අරන් යන්න කියලා තමයි. හොරෙන් ගිහින් අහු වුණොත් එහෙම කෙලින්ම උසාවි දානවා ඊට පස්සේ උසාවි ගානේ යන්නයි කරදර ගොඩයි ඒ නිසා අවසර අරන් යන එක තමයි හොඳම දැන් ඉස්සරට වඩා නීති තදයි.

බුද්ධි අයියා ඒ වගේම මේ ගමන ගොඩක් පරිස්සමෙන් ගිහින් එන්න ඕනි ගමනක් හොඳ අවධානයකින් යන්න ඕන.. පරිසරය විනාශ කරන්නෙ නැතුව පරිසරයේ ලස්සනත් විඳලා තව කෙනෙක්ටත් ආපහු විඳින්න අවස්ථාව දීලා එන්න…

 

තමිඳු, ඔයාට මොනවා හරි දෙයක් කියන්න තියෙනවද?

තමිඳුමට කියන්න තියෙන්නේ… කන්ද මුදුනට ගියාම ගොඩක් පරිස්සම් වෙන්න එතනින් පහළට වැටෙන්න පුලුවන්… තමන් අරන් යන හැම දෙයක්ම ආපහු අරන් එන්න… ඒ වගේම තමන් විඳපු පරිසරය විනාශ කරන්න තරම් ආත්මාර්ථකාමී වෙන්න එපා… අපි දුර දිග නොබලා කරන දේවල් නිසා අනාගතේදී තව කෙනෙක්ට මේ වගේ තැනක සුන්දරත්වය ප්‍රායෝගිකව විඳින්න බැරි වෙයි photos, videos වලට විතරක් සීමා වෙන්න වෙයි…

 

නැවතත් මෙවැනිම සුන්දර ස්ථානයක ආ ගිය තොරතුරු අපිත් එක්ක බෙදාගන්න එක්වෙයි කියන බලාපොරොත්තුවෙන්… මෙතරම් කාර්යබහුල දිනයක, පුරා හෝරාවක් මුළුල්ලේ අපත් සමඟ අත්දැකීම් බෙදාගන්න එක්වුණු අයියලා දෙන්නාටත්, තමිඳු ඔයාටත් Colombo Beacon වෙනුවෙන් මම ස්තූතිවන්ත වෙනවා…

මෙතෙකින් නිමාව දකින්නේ රූ ධාරා නව වැනි ගමනාන්තය සුන්දර ඉදල්ගස්හින්නයි

එසේනම් නැවත හමුවෙමු සතියක විරාමයකින්…

 

විශේෂ ස්තූතිය – 

  • බුද්ධි ඕෂධ
  • රන්දික සඳපා
  • තමිඳු සත්රුවන්
  • ධනුක මුතුමාල
  • සසංක සමරතුංග
  • කසුන් විදුරුවන්
  • චානක සඳරුවන්
  • දක්ෂිකා කිත්මිණී
  • ඉසුරු දුලංජන්
  • චාමික මධුවන්ත
  • රජීන්ද්‍ර කිමල්

 

සේයා රූ – 

  • දුමිඳු ආරියවංශ
  • සලිත දුල්ශාන්
 
Photo editting 
 
  • Dumindu Ariyawansha
  • Nisal Vimukthi
 
 
Design by : Nisal Vimukthi

 

Reference :

Images :

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

කෞෂිණී හිමංෂිකා

විද්‍යා පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment