විශ්ව විද්‍යාලය

යථාර්ථවාදී කොළොම්පුර විදු බිම…

කොළොම්පුර අහස යටට නන්නාඳුනන මූණු පොඩි රැසක් පුංචි මුතු ඇටයෙ හතර දිග් භාගයෙන් අවුරුද්දක් අවුරුද්දක් පාසා රොද බැඳ ගෙන එකට එක් රොක්වෙන්නේ පුරා දෙවසරකට වැඩි උසස් පෙළ ජීවිතයේ අති විශිෂ්ට ප්‍රතිඵලයනුත් අතැතිව යි.

එමෙන්ම කොළොම්පුර අහසට ආයුබෝවන් කියමින් කොළොම්පුර අහසින් අවුරුද්දක් අවුරුද්දක් පාසා දැනුමින්, අත්දැකීමෙන්, හැකියාවෙන් මෙන්ම ආධ්‍යාත්මයෙනුත් සුපෝෂිත ලොවක් දිනන දිලෙන මිණි කැට වැඩ ලෝකයේ දොරඟුළු විවර කර ගන්නේ වසර ගණනාවක සරසවි දිවියේ දැවැන්තම හීනය වුන අපේක්ෂිත උපාධියත් අතැතිව ම ය.

සාක්ෂාත් වුන හීනයේ ඇරඹුමත් අවසානයත් අතර ගෙවෙන හෝරාවක් හෝරාවක් පාසා ගෙවුණු කාල රාමු සියුම් අධ්‍යයනයකින් එකින් එක විශ්ලේෂණය කළහොත් කොළොම්පුර විද්‍යාර්ථියකු ලෙසින් අභිසෙස් ලැබීම කෙතරම් නම් ගෞරවාන්විත දැ යි චින්තන හැකියාව මොට නොවූ ඕනෑම පුද්ගලයකුට වැටහෙනු නො අනුමානය.

පිහිණීමේ දුෂ්කරතාවය අවබෝධ වනුයේ දියට බැස පිහිණුමට උත්සාහ කළ තැනැත්තකුට ය. ගිරි තරණයේ දුෂ්කරතාවය වැටහෙනුයේ කටු අකුළු වන ලැහැබ මැදින් ගිරි ශිඛරය තරණය කළ පුද්ගලයකුට ය. එලෙසින් ම විශ්ව විද්‍යාල දිවිය පුරා උපාධිධාරියකු ලෙස අබිසෙස් ලබන්නෙකු හා අබිසෙස් ලැබූවෙකු පමණක් ම ඒ වෙනුවෙන් වන්නා වූ වෙහෙස හඳුනන්නේ ය. ඉදින් සමාජය ඉදිරියේ යම් පුද්ගලයකුට සිය ඇඟිල්ල දිගු කරලීමට ප්‍රථමයෙන් අප අනිවාර්යයෙන්ම ඒ වෙනුවෙන් යම් තාක් නොව, පරිපූර්ණ වශයෙන්ම සුදුසුකම් ඇත්තෙක් දැයි දෙවරක් නොව දස දහස් වාරයක් සිතා බැලිය යුතුමය.

යම් කර්තව්‍යයක් වෙනුවෙන් අත්‍යන්ත කැප කිරීම් දහසක් සිදු කරමින් නිදි වර්ජිත රාත්‍රීන් අනේක ගණනක් පසු කරමින් දිවා රාත්‍රී වෙහෙසව, තම තම සරසවි සිහිනය මල් ඵල ගන්වා ගනු වස් වෙහෙස මහන්සි වන්නා වූ සොයුරු සොයුරියන් රාජ්‍ය විශ්ව විද්‍යාලයකට නම් අරුමයක් නොවන්නකි. නිදසුන් අවැසි කවරෙකු හෝ වේ නම් රාජ්‍ය විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ගේ නේවාසිකාගාරයකට වරක් ගොස් බැලීම වටින්නේ ය. එවිට ඕනා තරමක් වූ නිදසුන් හඳුනා ගැනීම අපහසු කර්තව්‍යයක් නම් නොවන්නේ ය.

කොළොම්පුර සරසවි විද්‍යා පීඨ සිසුන් ද එලෙස ම ය. Report, assignments, quiz වලින් නම් ඔවුනට අඩුවක් නැත්තේ ම ය. අඳුරු වැටෙන්න ඔන්න මෙන්න වන තෙක් in class ය. උදේ වරුවේම lectures ය. සවස් වරුවේ practical class ය.

සවස් වරුවේ practicalවල reports එළිවන පාන්දර බාර දිය යුතු අවස්ථා දුලබ නොවන්නකි. ඉදින් බහුතරයක් සිසුන් නිශාචරයන් මෙනි.

සිසුන්ගේ whatsapp groupවලට ද නිවි සැනසිල්ලක් ඇත්තේ ම නැත. විටෙක උදේ lecturesවල ගැටලු සාකච්ඡාවන් ය. තවත් විටෙක සවස practical වල දත්ත හුවමාරු වීම් ය. තවත් විටක practicalවලදී එක් එක්කෙනාට ලැබුණා වූ observationවල උභතෝකෝටික පරස්පරතා ය. මේ සියල්ලම විචාරාත්මකව අධ්‍යයනයේ නොයෙදුනේ නම් mid exam, end exam වලට දෙවියන්ගේම පිහිට ම ය. දෙවියන්ට වුවත් කළ හැක්කක් නොමැති බව result ලැබෙන කාලයට සක් සුදක් සේ ම පැහැදිලි වන්නේ ම ය. ඉදින් නිදි වර්ජිත රාත්‍රීන් උරුම වීම අරුමයක් නොවන්නකි.

හිටපු හැටියේ කඩා පාත් වන quiz වලින් බේරීමට දෛනික සතතාභ්‍යාසයේ යෙදිය යුතුමය. නැතහොත් ඒවාගේ ද ඵල විපාකයන් විඳීමට සිදු වනුයේ ලැබෙන්නා වූ GPA එකට ය.

සමහර රාජ්‍ය විශ්ව විද්‍යාලයන් හි දෙවසරක් පුරා අධ්‍යයනයේ යෙදෙන විෂය නිර්දේශය සමහර විෂයන් සඳහා නිම කරලීමට අපට හිමි වනුයේ වසරක් වැනි කෙටි කාලයකි. ඉදින් ඒ නිසාවෙන් ම සිව් වසර සම්පූර්ණ වත්ම සමාජය ඉදිරියේ අපේ සිසුන් දැනුමින් මුලසුන් දරනුයේ නිතරඟයෙනි. මන්ද යත් කෙටි සිව් වසර තුල පුළුල් විෂය නිර්දේශයක් ආවරණය කර ඔවුන් සිය උපාධිය පරිපූර්ණ කරන නිසාවෙනි. ඉදින් ඒ වෙනුවෙන් විශ්ව විද්‍යාල පරිපාලනයට අප හිස නවා ආචාර කළ යුතුය. මන්ද යත් ගෙවන්නා වූ සිව් වසර වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔවුන් ඔවුනගේ සිසුනට ඵලදායී කර ඇති හෙයිනි.

නාසා ඇතුළු ආයතන බොහොමයක ඉහළ තනතුරු රැසක් අප විශ්ව විද්‍යාලයේ උපාධිධාරීන් විසින් හෙබවීමට හේතුව ඔවුන්ගේ ඒ කැප කිරීමත් ඒ දැනුමින් සන්නද්ධ සුදුසුකම් පරිපූර්ණ කරලීමත් ය. ඉදින් ලෝ පුරා දක්ෂයින් බහුතරයක් කොළොම්පුර සරසවි මෑණියන්ගේ සෙවණේ හැදී වැඩුණු දරු දැරියෝ බව ඔවුන් කට පුරා කියා සිටින්නේ ආඩම්බරයෙනි. මන්ද යත් ලබා ගත්තා වූ උපාධි සහතිකය වෙනුවෙන් ගෙවූ දිවියේ සැබෑ අත්දැකීම විඳ ඇත්තේ ඔවුන් පමණක් ම බව ඔවුන් දන්නා බැවිනි. තබන තබන පියවරක් පාසා ජය ඔල්වරසන් නද ඔවුන් වෙනුවෙන් ම සනිටුහන් වනුයේ ද ඒ නිසාවෙනි.

කොළොම්පුර සරසවි බිමේ විද්‍යා පීඨ සිසුන් හුදෙක් පොත පතටම සීමා වූවන් නම් නොවේ. දහසක් වැඩ රාජකාරී මධ්‍යයේ වුව ද ඔවුන් හරි අපූරුවට තම තම සහජ දක්ෂතා මනා ලෙස කළමණාකරණය කර ගනිමින් මුවහත් කර ගනිති. ඒ වෙනුවෙන් විශ්ව විද්‍යාලය තුලින් ම ලැබෙන්නා වූ පන්නරය ද අති මහත් ය.

තම සහෝදර සහෝදරියන් අතර එකිනෙකා සතු අමිල දැනුම නොමිලේ හුවමාරු වනුයේ දශමයකුදු ලෝභී චේතනාවක් සිත් කොනකවත් නොදරමිනි. එහෙයින් දක්ෂයින් අති දක්ෂයින් බවට පත්ව සමාජ ගත වීමට එකී සහෝදර බැඳීම හේතුවක් නොවන්නේ යැයි කවරෙකු හෝ පවසන්නේ නම් එය හුදෙක් නිශ්ඵල වදනක් පමණක් ම වනු ඇත. ක්‍රීඩා වේවා වෙනත් දක්ෂතාවයක් වේවා ඒ කිනම් දක්ෂතාවයක් වුව ද මුවහත් කර ගැනුමට ඇඳුරු මඬුල්ලෙන් ද ලැබෙනුයේ මහඟු දායකත්වයකි.

ඉතින් මෙකී නොකී දහසක් කැප කිරීම් මැද අවසානයේ තමා සතු වන්නා වූ උපාධි සහතිකය හුදෙක් වටිනාකම් අඩු යැයි හුවා දැක්වීමට යමෙකු උත්සාහ දරනුයේ නම් නිසැකයෙන්ම එහි යටි අරමුණක් නොතිබීමට කිසිදු ඉඩක් නැත.

ඉතින්… එන්න… දකින්න… කොළොම්පුර විද්‍යා පීඨ සිසුනගේ ඒ අත්‍යන්ත කැප කිරීම්වල යථාර්ථ ස්වභාවය…

අවසන් වරට ද කීමට ඉතිරිව ඇත්තේ ඔබ යමෙකුට චෝදනා කර ඇඟිල්ල දිගු කරලීමට ප්‍රථම අපක්ෂපාතී යථාර්ථය දකින්නකු බවට පත් වන්නට කියා ය. එවිට ඔබට ඔබ ඉදිරියේ පවතින්නා වූ තිමිර පට ඉවත ලා යථාර්ථය දැක ගත හැකි වනු ඇත.

හෂී

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

නිර්ණාමික

කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment