ක්‍රීඩා

යමක් වේ නම් එය සුදුස්සාටම ලැබිය යුතුය…..

13 වන වරට පවත්වනු ලබන ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා උළෙලේ රග්බි ශූරතාවය දිනාගනු ලැබුයේ කොළඹ විශ්ව විද්‍යාලයීය රග්බි කණ්ඩායමයි. එය සැබැවින්ම අති විශේෂ එමෙන්ම අති විශිෂ්ට ජයග්‍රහණයක්. දස වසරකට පසු යළිත් රග්බි කිරුළ කොළොම්පුර සරසවි මවුන් තුරුලට ගෙන එන්නට රග්බි කණ්ඩායම මෙතෙක් ආ ගමන පාවඩ එලූ, මල් ඇතිරූ එකක් නොවේ. එය කවුරුන් හෝ විසින් බන්දේසියක තබා දෙන ලද කිරුළකුත් නොවේ. එය සියලු සාමාජිකයන්ගේ දහඩිය, ලේ, කඳුළු ආදී සියක් කැපකිරීම් මධ්‍යයේ පැමිණි අභියෝගාත්මක ගමනක්. අපරාජිත ගමනක්. මෙතෙක් ආ ඒ ගමනේදී, ගෙදර යන්නෙ නැතිව ලැබෙන හැම නිවාඩු දවසකම practice ගියපු, අද මහන්සියි නැවතියන් කියල මුළු ඇඟම කියද්දි හිතේ හයියිට ground එකට බැහැපු, රැයක් දවාලක් ගෙවෙනෙව දැනෙන්නේ නතිව ground එකේ ගත කරපු, වැටිල තමන්වම තුවාල වෙනකොට දැක්කෙ නෑ වගේ නැගිටල දුවපු, හෙට exam තිබුණත් අද practice cut නොකරපු, (අසනීප වෙලා තුවාල වෙලා නැගිටගන්න බැරිව ඉන්න තමන්ගේම කණඩායමේ සාමාජිකයන්ගෙ හීන වෙනුවෙන් තරඟ කරපු) අපේ උන් සැබැවින්ම අපිට ජයග්‍රාහකයන්.

ජයග්‍රාහී රග්බි කණ්ඩායමෙන් අප උගත යුතු දේ බොහෝමයි. ඔවුන් සතු දක්ෂතාවය, ධෛර්ය, අධිෂ්ඨානය, කැපවීම, පුහුණුව අතිශයින්ම කැපී පෙනෙන අතර එය කොළොම්පුර සරසවි නාමය බබළවන්නට හේතු වුණා. නිවරැදි නායකත්වයක් යටතේ, තම වගකීම හොඳින් හඳුනාගත් කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙක්ම එකා මෙන් නිබඳවම මේ සුවිසල් ජයග්‍රහණයට උර දුන්නා සේම ඔවුනොවුන් අතර වූ සමගිය, සහයෝගය මෙන්ම විශ්වාසයත් කිරුළට මඟ පෑදූ බව නොරහසක්. එමෙන්ම ජය පරාජය සම සිතින් දරා ගන්නට ඔවුන් සතු හැකියාව සෑමවිටම ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කළා. කොළොම්පුර රග්බි කණ්ඩායම තමන් ලැබූ පරාජයන් වෙස්වලාගත් ආශිර්වාදයන් ලෙස සලකමින්, දුර්වලතා හඳුනාගමින් ඒවා නිවැරැදි කරගනිමින් තම කණ්ඩායම ජයග්‍රහණයේ මාවතට යොමු කළ නිසාවෙන්ම දස වසරකට පසුව යළිත් කිරුළ තමන් සතු කරගන්නට සමත් වුණා. කිසිවෙකුටත් කිසිවිටෙකත් කොළොම්පුර රග්බි කණ්ඩායමේ දක්ෂතාවය අවතක්සේරු කළ නොහැකි වන පරිදි අවසන් මහා තරඟය දක්වා අපරාජිත සටනක යෙදුණු ඔවුන් මේ කිරුළේ සැබෑ හිමිකරුවන් වීම මැජික් එකක් නොවේ. මන්ද ඔවුන්ට සෑම විටම ඉලක්කයක් තිබුණා, අරමුණක් තිබුණා. එබැවින් ඔවුන් සෑම විටම ක්‍රියා කළේ ඒ අරමුණ වෙනුවෙන්. ඒ ගමනේදී පැමිණි අභියෝග හමුවේ නොනවතින්නටවත්, අපවාද හමුවේ නොසැලී සිටින්නටත් ඒ හිත්වලට තිබුණේ පුදුමාකාර මානසික ශක්තියක්. සරසවි මෑණියන් වෙනුවෙන් ඉටුකළ යුතු මෙහෙවර කිසිවිටෙකත් අමතක නොකළ රග්බි කණ්ඩායමට සියලු දෙනාගේ නිබඳ ශක්තියත් ආශිර්වාදයත් ලැබුණේ එනිසාවෙන්මයි.

ජයග්‍රහණය පිටුපස යෝධ සෙවණැලි බොහොමයක් ඇති. ඇත්තෙන්ම ඒ ගමන අද ඊයේ ඇරඹි එකක් නොවේ. වත්මන් සාමාජිකයන් සේම හිටපු කණ්ඩායම් සාමාජිකයන්ගේත් ලේ නහර තුළ කිඳා බැස ඇති ඒ රග්බි උන්මාදය, පරපුරෙන් පරපුර ආ ගමන පියවරෙන් පියවර දියුණුව කරා රැගෙම ආවා. අවසානයේ පරම්පරා ගණනක හීනය සැබෑවුණා.
රග්බි කිරුළ යනු අපටනම් සැබෑ දක්ෂතාවයක ප්‍රතිඵලයක්. අපේ එවුන්ගේ කැපවීම්වලට වටිනාකමක්.නිරන්තර පුහුණුවීම්වල සාර්ථක නිමාවක්. අවසානයේ එය රග්බි කණ්ඩායම සමඟින් දහසකුත් එකක් වූ කොළොම්පුර සරසවි මෑණියන්ගේ දරුවන් දුටු හීනයක් මල්ඵල දැරීමක්.
කොළොම්පුර රග්බි කණ්ඩායමට සුපුරුදු රිද්මය රැඳුණු, තව තවත් අභිමානවත් ජයග්‍රහණයන් කරා ළඟාවිය හැකි ඉදිරි ගමනකට සුභ පතමු………..

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

සළුනි චනීෂා මධුපංචනී

විද්‍යා පීඨය - උපාධිධාරි
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment