ශ්‍රී ලාංකික අපේ ප්‍රාණය මෙන්ම අපේ හදගැස්ම වන්නේ මේ අපි ඉපදුණු පින්බර භූමියයි. අපේ මාතෘ දේශය තුළ පුරා දශක තුනකට අධික කාලයක් යුධ ගිනිදළු අවුළුවමින් මෙරට හතරකොණම මරණ බියෙන් අස්වැද්දූ එල්. ටී.ටී.ඊ ත්‍රස්තවාදී සංවිධානයේ රුදුරු ඊළාම් සිහිනය මුළුමනින් ම පරාජය කොට යුධ ගිනිදළු නිවා උතුර දකුණ නැවතත් එක්සේසත් කොට අදට වසර එකොළහකි.
මව්බිමේ මුරදේවතාවන් වන් අපේම ආදරණීය වීර රණවිරුවන් කළ ඒ උදාරතර මෙහෙයුමේ ජයග්‍රහණය අද අප සමරන්නේ තවත් එක් ගෝලීය අර්බුදයකට මුහුණ දෙන පසුබිම් වාතාවරණයකදීය. එදත් අදත් අපේ රට තුළ ඕනෑම අස්සක් මුල්ලක් නෑරම ඇති වූ සියළුම අභියෝග බාධක හමුවේ නොසැලී මහා පවුරක් ලෙසින් නැගී සිට ශ්‍රී ලාංකික අප ආරක්ෂා කිරීමට දිවා රෑ වෙහෙසෙන අපේම වීරෝදාර රණවිරුවන් ඇගයීමත් රට දැය වෙනුවෙන් දිවි පිදූ සියලු රණවිරුවන් අනුස්මරණය කිරීමත් අද වැනි දවසක ඔවුන්ට උපහාරයක් ලෙසින් Colombo Beacon අපි මේ ලිපිය මෙලෙස පළ කරමු.
විවිධ ගැටුම් දේශපාලන අස්ථාවර වීම් මධ්‍යයේ උතුර නැගෙනහිර පාලනය වන සමයේ වර්ෂ 1975 ජූලි 26වන දින යාපනයේ පොන්නාලෙයි කෝවිලට එන අතරමග යාපන නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරෙයප්පා මහතා මරා දමමින් එල්.ටී.ටී.ඊ සංවිධානයේ ඊළාම් සිහිනය සඵල කර ගැනීමේ පළමු පියවර ලෙසින් මුළු රට තුළම ආන්දෝලනයක් ඇති කිරීම තිස් වසරක යුද්ධයේ පළමු අඳුරු මතකය ලෙසින් ලාංකික ඉතිහාසයට එක් විය. මෙලෙසින් තිස් වසරක යුද්ධයේ පළමු අඳුරු සිදුවීම මෙය වෙද්දී අපගේ හමුදා සෙබළුන් වහාම ක්‍රියාත්මක වූයේ ත්‍රස්තවාදීන් පරාජය කිරීමේ ඒකායන අරමුණ සිත් තුළ රඳවා ගැනීමෙනි. මෙලෙස දෙපාර්ශ්වයේම පිරිස් ඝාතනය වෙද්දී මීළඟ උච්ඡතම සිදුවීම වන්නේ වර්ෂ 1983 ජූලි 23 දින ත්‍රස්තවාදීන් විසින් හමුදා ට්‍රක් රථයක් ඉලක්ක කොට බිම් බෝම්බයක් පුපුරුවා හැරීමයි.
පහළොස් දෙනෙකුගෙන් යුතු වූ එම ට්‍රක් රථයේ දහතුන් දෙනෙකුගේම දිවි අවාසනාවන්ත අයුරින් බිලි ගත්තේ මෙරට තුළ තව තවත් යුධ ගිනි ඇවිළීමේ භයානක සංධිස්ථානයකට පාර කපමිනි. මෙම සාපරාධී අමානුෂික ඝාතනය රට තුළ ව්‍යාප්ත වීමත් සමඟ වියරු වැටුණු සිංහල අන්තවාදීහු කොළඹ දමිළ කඩ විනාශ කර දමිළ මිනිසුන් අමු අමුවේ මරාදැමීමට තරම් සැහැසි වූහ. මෙලෙස ඇරඹී “කළු ජූලිය” රට තුළ ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූයේ මව්බිමේ කීර්තිය ජාත්‍යන්තර වශයෙන් ද අවමානයට ලක් වීමේ ආරම්භයක් ලෙසිනි. ත්‍රස්තවාදීන් ඔවුන්ගේ පිරිස් ඉන්දියාව , ඔස්ට්‍රේලියාව , ඔස්ට්‍රියාව , ඇමෙරිකාව ආදී රටවල සරණාගතයන් ලෙසින් අතහැර දැම්මේ ශ්‍රී ලංකාව තුළ ජාති වාදී කැරළි කෝලාහල හමුවේ නිදහසේ ජීවත් වීමට තරම් වාතාවරණයක් නැති බව මුළු ලෝකයටම මවා පාමිනි. මෙයින් පසු තව තවත් හිස එසවූ ත්‍රස්තවාදීන් ආයුධ සන්නද්ධ කල්ලි ගැසී රට පුරා යුධ බිය ඇති කර උතුර නැගෙනහිර සිය අයිතියට නතු කර ගනිමින් ඊළාම් රාජ්‍යයක් සඳහා අරගලය අරඹන්නට විය.
මෙලෙස දෙපිරිසෙහිම මිනිසුන් දහස් ගණනින් මිය යාම මේ මව්බිම තුළ සුලබ දෙයක් විය. ත්‍රස්තවාදීන්ගේ මිලේච්ඡ ක්‍රියා හමුවේ ශ්‍රී ලාංකික අහිංසක ජනතාව , දේශපාලන නායකයින් , දස දහස් යුධ විරුවන් හට සිය ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු විය. මෙලෙස ගත වූ ශ්‍රී ලංකාව තුළ සුදු කොඩිය සංකේතයක් බඳු විය. දිනෙන් දින නිදහසේ ආලෝකය අප රට තුළින් පළා යද්දී යුධ අන්ධකාරය මුළු රට වෙළා ගනිද්දී තවත් එක් අවාසනාවන්ත සිදුවීමක් යුධ අරගලයේ හැරවුම් ලක්ෂයක් ලෙසින් මෙරට ඉතිහාසයට එක් විය. රට පුරා බෝම්බ පුපුරුවා හරිමින් වෙඩි හඬ දෝංකාරය දෙමින් රට තුළ එකම යුධ පිටියක් වූ අවධියක ත්‍රස්තවාදීන්ගේ ඊළඟ ඉලක්කය වූයේ නැගෙනහිර මාවිල්ආරු සොරොව්ව ඔවුන්ගේ අණසකට යටත් කර ගැනීමයි. මෙය වසා දැමීමත් සමග නැගෙනහිර ගොවි ජනතාව ඇතුළු සාමාන්‍ය ජනතාව තව තවත් යුධ ගින්නෙන් බැට කන්නට විය. මෙම ජලාශයෙන් පෝෂණය වූ කුඹුරු ඉඩම් අක්කර ගනනින් විය. ජලය ලබා ගත් පිරිසද සුළු පටු නොවීය. තත්ත්වය මෙසේ තිබියදී සොරොව්ව වසා දැමීම ඉමහත් දුෂ්කරතාවයක් විය. මෙය විවෘත කරන ලෙස ත්‍රස්තවාදීන්ගෙන් විවිධ පාර්ශව ඉල්ලීම් කළ ද නින්දිත අන්තවාදී පිරිසක් වූ ඔවුන් එම ඉල්ලීම් කිසිවකට කන් දීමට තරම් මානුෂික නොවීය.
තත්ත්වය තව තවත් උච්ච වන සීමාවේ දී එවකට ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ නායකත්වයත් ආරක්ෂක ලේකම්ව සිටි වත්මන් ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ මෙහෙයවීමත් යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා ඇතුළු ත්‍රිවිධ හමුදාපති වරුන්ගේ අභීත මෙහෙයුම් ඔස්සේ මාවිල්ආරු නිදහස් කර ගැනීමේ මානුෂීය ක්‍රියාන්විතය ආරම්භ කරන ලදී. 2006 වසරේ ජූලි 26 පටන් මානුෂීය මෙහෙයුම් දිගින් දිගටම සිදු වෙද්දී අගෝස්තු 8 වන දින මාවිල්ආරු සොරොව්ව ඇතුළු ප්‍රාණ ඇපකරුවන් ලෙසින් රඳවා සිටි දමිළ ජනතාව ද මුදා ගනිමින් මෙරට ඉතිහාසයේ විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ අභියෝගය ජය ගත්තේ ත්‍රස්තවාදීන් හට රතු එළියක් නිකුත් කිරීමෙනි.
මෙමගින් නොනැවතුණ මෙරට වීරෝදාර සෙබළුන් ගොඩින් මෙන්ම ගුවනින් සයුරෙන් සිය නිර්භයේ ජය කෙහෙළි නංවන්නට සමත් වූයේ වාකරේ තොප්පිගල , සිලාවතුර , පුනරීන් ආදී උතුරු නැගෙනහිර ත්‍රස්තවාදී බල ප්‍රදේශ සාර්ථක අන්දමින් මුදා ගැනීමෙනි. එලෙසම දිවා රෑ නොබලා අව් වැසි නොතකා මරුමුව ඉදිරියට ම ගිය මෙරට හමුදා සෙබළු 2009 වසරේ මැයි 18දින රුදුරු ත්‍රස්තවාදී නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු මිලේච්ඡ ත්‍රස්තවාදී පිළිලය මෙරටින් සම්පූර්ණයෙන් ම උදුරා දැමීමට සමත් විය. රටක් වශයෙන් ලැබූ ඉහළම විජයග්‍රහණය ලෙසින් මෙම දිනය මෙරට ඉතිහාසගත වූයේ ශ්‍රී ලාංකික අපට නැවතත් සාමකාමී නිවහල් දේශයක් උරුම කර දීමෙනි.
අපට මෙවන් නිදහස් නිවහල් රටක් නැවතත් ලබා දීම පිටුපස ඇත්තේ අපේම සහෝදර වීර සෙබළුන්ගේ ප්‍රාණයයි , ඔවුන්ගේ රුධිරයයි , ඔවුන්ගේ නිර්භීතකමයි. තිස් වසරක් පුරාවට පැවතුන යුද්ධය අපට අහිමි කළේ අපේම අහිංසක ජනතාවයි. මවකට සිය පුතණුවන්ය. බිරිඳකට සිය ආදරබර ස්වාමියාය. දරුවකුට සිය වීර පියාණන් ය.
නමුත් ඔවුන් එදා සිය ජීවිත කැප කළේ අප ගැනම සිතාය. අපේ අනාගතය ගැන සිතාය. අද වන් දිනක ඒ මිය ගිය වීර සෙබළුන් සේම මේ රට රුදුරු ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීමට කටයුතු කල සියළුම රණවිරුවන්ටත් එවකට නායකත්වය දුන් නායකයින්ටත් අපගේ කෘතඥතාව පළ කර සිටීම යුතුකමක් වන්නේමය. දශක තුනක් තිස්සේ පැවති මේ ඊළාම් අරගලය හමුවේ සිය ජීවිත නිකරුණේ පොළවට යට වූ අහිංසක සිංහල , දෙමළ , මුස්ලිම් , බර්ගර් ජනතාව අදටත් නිශ්චිත වශයෙන් ගණන් බලා නොමැත. ලක්ෂ ගණනින් ජනතාවගේ ජීවිත ත්‍රස්තවාදී මිලේච්ඡ අධමයින් උදුරා ගත්තේ සිත් පිත් නැති තිරිසනුන් සේය.
මෙලෙස දීර්ඝ යුධ සමයකට මුහුණ දී අපමණ පීඩනයන්ගෙන් හෙම්බත්ව සිට නැවතත් හිස එස වූ ශ්‍රී ලාංකික අපට පසුගිය වසරේ නැවතත් ISIS ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වූයේ දරුණු ප්‍රහාරයකි. මෙහිදී ද අපේ ආරක්ෂාවට නොබියව ඉදිරිපත් වූයේ අපේම උදාර සෙබළුන් ය. ඉදින් , මේ සා පරිත්‍යාගයන් කොට දිනාගත් දේශය තුළ නැවත තවත් සාපරාධී ක්‍රියාවන් නොවීමට වග බලා ගනිමින් රට දෙකඩ නොවීමට ඉඩ නොතබමින් නිදහස් නිවහල් ශ්‍රී ලංකාවක් ජාති ආගම් භේද නොසලකමින් එකම මවකගේ දරුවන් සේ ශ්‍රී ලාංකීයයන් ලෙසින් සහෝදරත්වයෙන් කටයුතු කිරීම අප සතු වගකීමක් වන්නේ “ගිනිපෙනෙල්ලෙන් බැට කෑ මිනිසා කලාමැදිරි එළියටත් බයයි” යන පිරුළ යළි යළිත් මතකයට කැන්දමිනි.
Design by – Bimal Navin
Leave a Comment