දැනුම

යොවුන් හදවත්වල ආදරණීය පෙරවදන් තැබූ නූතන ගී හඬ

 “පෙර වදනක් වී මගේ කතාවට 
පටුන ලියන්නට හීන එවා
පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට
හිස් පිටුවක් ඉඩ තබා ගියා

හමුවීම්, වෙන්වීම් අතර නොනැවතී දෝලනය වන ජීවිතය දෙස බලා සිටීම හැර අපට කළ හැක්කක් නොමැත යැයි අපේක්ෂා භංගත්වයට පත් වූවකු හට සිතීමට හැකි වුවද, අරමුණු මතින් ජීවිතය දිනන්නට වෙර දරන, අපේ කාලයේ යෞවනත්වයට ජීවිතය යනු, පොතකි. ආදරණීයම මතක, වේදනාබර රිදවීම් සියුම් ලෙස ලියා තැබූ මතක සටහනකි ජීවිතය. එවන් ජීවිතයේ පෙරවදන ලියා තැබූ හීන එකවරම අහිමි වූ කළ පොතක් වුව පිටු හිස් වන අයුරින්ම ආදරය අහිමි වූ තාරුණ්‍ය ද පසුවදන් ලියාගත නොහැකිව ඔත්පලව ගල් ගැසී ගිය වේදනාබර හැඟීමකින්, හිස්ව, පෙරමග බලන අයුරු වෙනස් රසවින්දනයකට රැගෙන ගිය නව පරපුරේ ගායකයෙකු ලෙස සනුක වික්‍රමසිංහ අපට හඳුන්වා දීමට හැකිය. 

 ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පෙරදිග තූර්ය වාදක කණ්ඩායමේ නායකයෙකු ලෙස 1955-1980 අතර කාලයේ සේවය කළ මෙන්ම, සංගීත ගුරුවරයෙකු ද වූ දයා වික්‍රමසිංහගේ මුණුබුරෙකු වන සනුක  ගායකයෙකු, ගීත රචකයෙකු සහ දක්ෂ බේස් ගිටාර් වාදකයෙකු වන සංගීත් වික්‍රමසිංහ හා රේණුකා යන දෙදෙනාගේ පළමු පුත්‍රයා ය. 1992 දෙසැම්බර් මාසයේ 11 වන දින උපත ලැබූ මොහු සංගීතය ලෙයින්ම උරුම කරගෙන පැමිණි ආදණීය චරිතයක් විය.

    තාත්තගෙ නම භාවිතා නොකර දක්ෂතාවයෙන් මිනිස්සු අතරට ආවා”

එක වසරෙ සිට පහ වසර දක්වා ගෝතමී කනිෂ්ඨ විද්‍යාලයෙන් ද, පහ වසරෙ ශිෂ්‍යත්ව  විභාගය සමත් වී ඇතුළත් වූ රාජකීය විද්‍යාලයෙන්ද අධ්‍යාපනය ලැබූ මොහු යහළුවන් අතර නම් සන්නා, සනා, සනුකයා යන නම් වලින් හඳුන්වනු ලබන ආදරණීය චරිතයකි. පාසල් අධ්‍යාපනය නිමා කළ පසු උපතින් උරුම කරගත් සංගීතයට පියවර තැබූ සිහින කුමරා යහළුවන් කිහිපදෙනෙකු සමඟ එකතු වී ‘ග්ලෝරි’ නමින් සංගීත කණ්ඩායමක් ආරම්භ කරන්නට විය. විවිධ උත්සව අවස්ථා හා විවිධ ප්‍රසංගවල සංගීත සපයමින් හා එම අවස්ථා Youtube  චැනලය හරහා ද ප්‍රදර්ශනය කරන්නට වූ නිසාම මේ හරහා ඔවුන් වටා යම් ප්‍රේක්ෂක පිරිසක් ගොඩනැගෙන්නට ද විය.

කුඩා කාලයේ සිටම සංගීතයට ලැදි සනුක නිතරම පියාගේ සංගීත වැඩ සමඟ ජීවත් වූ නිසාවෙන්දෝ සංගීතයට කැමැත්තක්, ආදරයක් දක්වන්නට පෙළඹෙන්නට ඇතැයි ද සිතිය හැකිය.

අමරණාත් රණතුංග මහතා සමීපයේ සිටිය දී ක්ලැසිකල් ගිටාර් වාදනය ඉගෙනගත් අතර තම සීයාගෙන් රාගධාරී සංගීතය ද සුළු ප්‍රමාණයක් ඉගෙනගෙන ඇත. මොහුගේ පළමු සංගීත අධ්‍යක්ෂණය යෂාන්ගේ ‘සිත්තමක් වාගේ’ ගීතය වේ. 

වර්තමානයේ බොහෝ සේ ජනප්‍රිය වූ ‘පෙරවදනක්, සරාගයේ, අවසන් සටන, චාඕ මල්ලි‘ වැනි ගීත තුළින් රසික රසිකාවියන් අතරට පැමිණි මොහු ඒ ප්‍රතිචාර හමුවේ ආඩම්බරකාරයෙකු නොවී ගී ප්‍රසංග සඳහා ලැබෙන ඇරයුම් එකක් අතපසු නොකර සහභාගී වීමට තරම් නිහතමානී පුද්ගලයෙක් විය. 

“මම ගොඩක් ආස ගෘහස්ථ ප්‍රසංගවලට. හැබැයි මම එළිමහන් ප්‍රසංග, ගෘහස්ථ කියල බෙදාගෙන නැහැ. ආරාධනා ලැබුනම ඒවට සම්බන්ධ වෙනවා.”

යෞවනයේ සිහින කුමරා ලෙස බොහෝ පිරිසකගේ අවදානය ලබාගත් සනුකගේ පවුලේ විස්තර පිළිබඳ කතා කළහොත්, ඔහුගේ පියා, මව සහ සීයා පිළිබඳ ඉහත සඳහන් වූවත් සහෝදරයා පිළිබඳ වැඩි විස්තරයක් නොවන බැවින් ඔහු පිළිබඳ  මෙලෙස සටහනක් තැබීමට සිතුවා. ඔහු නමින් සමිත වික්‍රමසිංහ වේ. විදේශීය රටක ඔටෝ මොබයිල් ඉංජිනේරු අංශයෙන් වැඩිදුර අධ්‍යාපනය හදාරනු ලබන්නෙකු වේ.

“අනාථ වූ වෙලේ කුණාටු සාගරේ
කාසි නිසා අපි විඳෙව්වා
ඉතාලි බෝඩරේ පැන්නා කඳු දිගේ
කොළයක් හෙව්වා පාර පුරා”

කාසි සොයා එතෙර ගිය යෞවන ජීවිතවල වෙහෙසකර  අසුන්දරත්වයේ වේදනාව ගීතයෙන් ගැයූ සනුක වික්‍රමසිංහයන්ට ඔහුගේ නම ලැබුණ ආකාරය නම් මදක් වෙනස් ස්වරූපයක් ඇත. ඒ රේණුකා සහ සංගීත් පෙම්වතුන් වී සිටින කාලයේ සිටම විවාහයෙන් පසු ලැබෙන දරුවා පුතෙකු වුණොත් සංගීත් නමේ මුල් අකුර ද, රේණුකා නමේ අවසන් අකුර ද එකතු කර නමක් යෙදීමට කතිකා කරගෙන සිටි අතර එහි ප්‍රතිඵලයක් ලෙස සනුක කියන නම ලැබුණු බව පවසා ඇත.

වර්තමානයේ බොහෝ සේ සමාජ මාධ්‍යය ප්‍රචලිත යුගයක එය අවියක් ලෙස ගනිමින් සනුක ද තම ගීත ප්‍රථමව ඔහුගේ Youtube චැනලය තුළින් ප්‍රදර්ශනය කර විශාල ප්‍රේක්ෂක පිරිසක් අතරට ගමන් කරන්නට විය. ඉන් පසුව ගුවන්විදුලිය හා රූපවාහිනී නාලිකාවලින් තුළින් ඒ ගීත ප්‍රචාරණය වේ. 

“කාමරයේ මුළු පුරා නෙක සළු පිළි තනිවෙලා
මා සිතින් හඬනවා දෙස බල බලා
මං මුලා වූ සිතින් මා මල් සුවඳක් විඳිනවා
නැති ඉඩක් ඇති රුවක් හා මා වෙලී
උණුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගියා
ඔබේ නම සොයනවා තාමත් 
නිය සිතුවම් පුරා…”

තම ගීතවල ඇති වෙනස් වෙනස් හැඩතල නිසාම ප්‍රේක්ෂකයන්ගෙන් විටෙක ගැරහීම් ද හිමි වූ සනුකගේ සරාගයේ ගීතය ද එවැන්නකි. පෙම්වතුන්ගේ සරාගී රැයක විඳි සුවය මෙන්ම, ඉන් පසුව ඇගේ අහඹු නික්ම යෑමෙන් විඳින තනිකම නිය සිතුවම් තුළින් නැවත නැවතත් මතකයට නැගෙන අයුරින් වර්තමාන බොහෝ ගායකයන් කියන විරහවම ප්‍රකාශ කළ ද, මෙවැනි නව ගී සංකල්පනා ගෙන ඒම නිසා ප්‍රේක්ෂක හදවත් වලට ගයන ගායකයෙකු ලෙස සනුක වික්‍රමසිංහයන් හැඳින්විය හැකිය.

උමා අසෙනි විසින් පද රචනය කළ ‘පෙරවදනක්’ ගීතය තුළින් සංගීත ක්ෂේත්‍රයේ ගායකයෙකු වශයෙන් දිවිය ආරම්භ කරමින් පැමිණි අතර පසුව මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘විජයබා කොල්ලය’ චිත්‍රපටයේ ද ගීත ගායනයට එකතු වී ඇත. එහිදී රෝහණ වීරසිංහයන්ගේ සමීපයේ ගුරුහරුකම් ලබමින් කටයුතු කරගෙන යාමට ද වාසනාවන්ත වී ඇත. 

කොරෝනා සමයේ නිවසටම කොටු වූ බොහෝ කලාකරුවන් මෙන්ම සනුක ද, කාලය අපතේ නොහරිමින් අලුත් යමක් රසිකයන්ට දායාද කරන්නට සූදානම් විය. එය ‘බැති ගී දයාව’ නමින් එළි දැක්වූ ඇල්බමයයි. දයා වික්‍රමසිංහ ලියන ලද වචන සහ තනු නිර්මාණය කරපු ගීතවලින් පෝෂණය වූ මේ ගීත ඇල්බමයේ සංගීත ඛණ්ඩ නිර්මාණය සංගීත් වික්‍රමසිංහ අතින් හැඩවැඩ ගැන් වී තිබීම ද සුවිශේෂයකි. 

දයා වික්‍රමසිංහගේ නිර්මාණවල ඇති පද රචනය සහ සංගීතය මෙවන් යුගයක අහන්න, දකින්න නැති තරම්ය. වෙනස් වන යුගයක  පැරණි දේවල් වර්තමානයට ගැලපෙන ලෙස සකස් කිරීම මදක්  අසීරු කාර්යයකි. ඒත් ඒ අසීරු වැඩ කටයුත්තට සූදානම් වූ සනුක මේ ගීත හරහා අපූරු වෙනස්ම අත්දැකීම් සමුදායක් හිමි කරදෙන්නට විය. 

මෙම බැති ගී දයාවට සංගීත් වික්‍රමසිංහ හා වින්ඩි ගුණතිලක ගායනයෙන් එකතු වන අතර පසුබිම් ගායනයට සිරස නාලිකාවේ විකාශනය වූ වොයිස් ටීන් හි සනුක විනිශ්චවරයෙකු ලෙස සිටින කාලයේ ඔහුගේ කණ්ඩායමේ සිටි හශේන්, හේසර, දුල්මින්, දසිත්, පැතුම්, හසංගි, සියුමිනී, ලිහිණි, නර්තනා සහ ඉසුරින්දි එකතු වී ඇත. ඒ සඳහා සනුකගේ වාද්‍ය වෘන්දය හා රූප රචනයට ප්‍රසාද් අලුත්වත්තගේ අධ්‍යක්ෂණයෙන් ‘vihayas’ කණ්ඩායම හා නිෂ්පාදන කළමනාකරණයෙන් ‘U Rasta’ ද එකතු වී ඇත.

ටෙලිනාට්‍ය තේමා ගීත, චිත්‍රපට පසුබිම් ගීත තුළින් ද රසිකයන්ට දැක ගැනීමට, හඬ රසවිඳීමට හැකි වූ සනුක යනු, වර්තමානයේ සංගීත ප්‍රසංගවල නැතුවම බැරි හඬකි. කලා පවුලකින් ආභාසය ලැබූ මොහු තමන්ගේ මහන්සියෙන්ම තනිව ගමනක් යන්නට උත්සාහවන්ත වූ අතර එහි මිහිරි ප්‍රතිඵලයන් ද ලබමින් දිනෙන් දින දියුණුවට පත්වන අයුරු දැකගැනීමට හැකිය. 

අරමුණු මතින් ජීවිතයේ ජයග්‍රහණයන් සොයා යන තුරුණු වියේ ගායක සනුක, අද ඔහුගේ 29වන උපන් දිනය සමරනු ලබයි. රටක් ආදරණීය හඬින් වසඟ කරගත් ඒ ගායකයාට සුබම සුබ උපන් දිනයක් වේවායි Colombo Beacon අපේ පැතුමයි.

Design by : Shanaka Vishwantha

References :

Images :

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

තුෂාරි සංජීවනී

ශාස්ත්‍ර පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment