“රණ දෙරණේ සක්විති – සූර වීර සෙන්පති
නමට ලොවම පුද දෙති – ගරු ඩෙන්සිල් කොබ්බෑකඩුව
බලකායට අධිපති – නිහතමානි ගුණ ඇති
තෙදැති බලැති විකුමැති – දැනුනා ඔබ නොමැති පාඩුව ”
තිස් වසරක් ලංකාවේ පැවති කුරිරු ත්‍රස්තවාදය තිඹිරි ගෙයිදීම අවසන් කිරීමට මහත් වෑයමක් දැරූ නමුත් අවසානයේ අවාසනාවන්ත ලෙස අභිරහසක් ඉතිරි කරමින් දැයෙන් සමුගත් ලක් දෙරණේ අභීත සෙන්පතියෙකු වූ ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා පිළිබඳ ජේ. ඩී. සුමනපාල මහතාගේ රචනයෙන් හා ස්ටැන්ලි පීරිස් මහතාගේ සංගීතයෙන් ඇන්ටන් ජෝන්ස් මහතා ගායනා කරන ඉහත ගීතයෙන්, කොබ්බෑකඩුව සෙන්පතියානන් හමුදාවේ සාමාන්‍ය සෙබළු අතර පමණක් නොව සාමාන්‍ය ජනතාවගේ පවා කෙතරම් ආදරයට පත් වූවෙක්දැයි මනාවට පැහැදිලි වෙයි.
ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑකඩුව 1940 ජූලි මස 27 වැනිදා මහනුවර ගුන්නෑපාන පමුණුගම වලව්වේදී දෙල්දෙණියේ ලොකු බණ්ඩා කොබ්බෑකඩුව මහතාට සහ අයෝනා රත්වත්තේ මහත්මියට දාව උපත ලැබීය. තම මූලික අධ්‍යාපනය මහනුවර හිල්වුඩ් විද්‍යාලයෙන් ලබාගන්නා මෙතුමා ඉන් අනතුරුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඇතුළත් විය. පාසල් සමයේ අධ්‍යාපනයට අමතරව ක්‍රීඩාවටද දස්කම් පෑ මොහු රග්බි, ක්‍රිකට්, හොකී යන කණ්ඩායම් වල සාමාජිකයෙක්ද විය. පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළත් වන මෙතුමා 1960 වසරේ දී කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ඇතුළත් විය.
තම මූලික පුහුණුව දියතලාව හමුදා කඳවුරේ ලබන මෙතුමා එහි දී දැක්වූ විශේෂ දක්ෂතා මත වැඩිදුර පුහුණු වීම් සඳහා මහා බ්‍රිතාන්‍යයේ රාජකීය හමුදා ඇකඩමියට ඇතුළත් වීමට වරම් හිමි කරගත්තේය. එම පුහුණුව සාර්ථකව අවසන් කරන එතුමා නැවත 1962 දී ලංකාවට පැමිණ දෙවන ලුතිනන්වරයෙකු වශයෙන් උසස් වීම් ලබා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායට සම්බන්ධ විය.
1965 දී බලයට පත් ඩඩ්ලි සේනානායක මහතාගේ ආණ්ඩුව අත්සන් කළ ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුමෙන් රටේ ඇති වූ නොසන්සුන්තාවය නිසා 1966 වසරේ දී ඇති වීමට ගිය හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ බවට අභූත චෝදනා එල්ල කරමින් මෙතුමා අනිවාර්ය නිවාඩු යවනු ලැබීය. නමුත් 1970 දී සිරිමාවෝ මැතිනියගේ රජය බලයට පත් වීමෙන් අනතුරුව මෙතුමා නැවත සේවයට කැඳවනු ලැබීය. කොබ්බෑකඩුව මහතා එම වසරේම දෙසැම්බර් මාසයේදී ලිලී රත්වත්තේ මෙනවිය සමග යුග දිවියට ඇතුළත් විය.
1975 වසරේ යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ඝාතනය කිරීමෙන් ඇරඹුණු උතුරේ ත්‍රස්තවාදී අරගලය 70 දශකයේ අවසානය වන විට වඩාත් තීව්‍ර මට්ටමේ පැවතුණි. 1983 වසරේ හමුදා සෙබළුන් 13 දෙනෙකු ඝාතනය කිරීමත් සමඟ ඇති වූ කළු ජූලිය නිසා එම අරගලයන් වඩාත් ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත්තේය.
මෙසේ උතුරුකරයේ ඇවිලීගිය ත්‍රස්තවාදීන් මර්දනයට වගකීම පැවරුණේ සෙන්පති කොබ්බෑකඩුව ප්‍රමුඛ වීරෝදාර රණවිරුවන්ටයි.
ඒ අනුව එවකට බ්‍රිගේඩියර් වරයෙකු ලෙස සිටි කොබ්බෑකඩුව මහතා කොටි ත්‍රස්තවාදය මෙරටින් අතුගා දැමීමේ අරමුණින් යුතුව 1987 දී “වඩමාරච්චි මෙහෙයුම” ඇරැඹූ අතර මේ සඳහා එවකට කර්නල්වරයෙකුව සිටි විජය විමලරත්න මහතා සහාය ලබා දුනි. මෙම දෙදෙනාගේ සුසංයෝගය ශ්‍රී ලංකා හමුදාවට විශාල ශක්තියක් වූවා සේම ත්‍රස්තවාදීන්ට මරුපහරක් විය.
ගැමුණු හා ගජබා යන රෙජිමේන්තු භටයන් 8000ක් සම්බන්ධ වූ මෙම මෙහෙයුමට ලැබුණු නිවැරදි නායකත්වය හා මගපෙන්වීමෙන් කොටි නායකයා ඇතුළු ත්‍රස්තවාදීන් යාපනයට පමණක් සීමා කිරීමට ශ්‍රී ලංකා හමුදාවට හැකි විය. නමුත් ජාතියේ අවාසනාවට ඉන්දියාව විසින් ලංකාවේ ගුවන් කලාපය ආක්‍රමණය කරමින් එල්ල කළ බලපෑම් හමුවේ එකල පාලකයන් එම මෙහෙයුම නවතා දැමීමට කටයුතු කළේය.
ඉන් අනතුරුව 1989 වසරේදී එංගලන්තයේ සෑන්ඩර්ස්වල පුහුණුව ලබා නැවත පැමිණි මෙතුමාට එවකට දකුණේ පැවති භීෂණය තුරන් කිරීමට භාරවිය. නමුත් වැඩි කල් නොගොස් නැවතත් එතුමාව උතුරේ රාජකාරි සඳහා කැඳවනු ලැබීය. 1990 වසර කොටි සංවිධානය හා රජය අතර සාම සාකච්ඡා පැවති සමයක් විය. නමුත් සාම සාකච්ඡා වලට මුවා වී ත්‍රස්තවාදීන් නැගෙනහිර පළාතේ බලය තහවුරු කරමින් පැවතුණි. නැගෙනහිර පළාතේ පොලීසි වලට පහර දී ඒවායේ සිටි පොලිස් නිලධාරින් විශාල ප්‍රමාණයක් ඝාතනයට කළේය. එම අවස්ථාවේ නැගෙනහිර බලය නැවත තහවුරු කිරීම සඳහා කොබ්බෑකඩුව මහතාට වගකීම පැවරුණි. ඒ අනුව නැගෙනහිර පළාත කොටස් හතරකට බෙදා “ක්ලීන් ස්වීප්” මෙහෙයුම සාර්ථකව අවසන් කිරීමට කොබ්බෑකඩුව මහතා සමත් විය.
ක්ලීන් ස්වීප් මෙහෙයුමෙන් අනතුරුව 1991 වසරේදී කොටින් විසින් අල්ලා ගත් අලිමංකඩ කඳවුර මුදා ගැනීම සඳහා ආරම්භ කරන ලද “බලවේගය” මෙහෙයුමට නායකත්වය දෙනු ලැබුවේද ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතායි. එම මෙහෙයුමේදී යුද්ධ ටැංකි හෝ බර අවි භාවිත නොකර නැවත අලිමංකඩ කඳවුර තමාන් සතු කර ගැනීමට හමුදාව සමත් විය.
ඩෙන්සිල් කොබ්බෑකඩුව සෙන්පතියා රණ ශූරයෙකු මෙන්ම සොඳුරු හදවතක් සහිත මිනිසෙකුද විය. එක් එක් දේශපාලන හේතූන් මත හමුදා සෙබළුන් කඳවුරු වලට පමණක් සීමාකොට තිබූ අවදියේ කඳවුරෙන් කඳවුරට ගොස් හමුදා සොල්දාදුවන්ට පියෙකු මෙන් ආමන්ත්‍රණය කරමින් ඔවුන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කිරීමට මෙතුමා සමත් විය. එතුමා හමුදා සෙබළුන්ට ‘ළමයි’ ලෙස ලෙන්ගතුව ආමන්ත්‍රණය කළ බව සියල්ලන්ම දන්නා කරුණකි. එකල කොබ්බෑකඩුව මහතා තම කඳවුරට පැමිණෙන දිනය සෙබළුන්ට ඉතාම සතුටුදායක දිනයක් විය. කොබ්බෑකඩුව මහතා සෙබළුන්ගේ සිතෙහි කෙතරම් ගෞරවයක් උපයාගෙන සිටියේදැයි කිවහොත් එකල එතුමා සමඟ මෙහෙයුම් වලට සහභාගි වූ සෙබළුන් “සර් එක්ක යුද්ධෙට ගිහිල්ලා මැරුණත් සැපයි” යන්න තේමා පාඨයක් ලෙස භාවිත කළේය.
සොඳුරු මෙම සෙන්පතියා තමාගේ ළමයින්ට මෙන් සෙබළුන්ට සැලකූ බවට මෙම කතාවෙන් වඩාත් පැහැදිලි වෙයි. එනම් සෑම අවස්ථාවකම තමා නිවාඩුවට නිවසට යන විටත් නැවත නිවාඩුව අවසන් වී නැවත කඳවුරට පැමිණෙන විටත් අතරමග මාර්ගයේ පිහිටි කජු වෙළඳ සැලකින් කජු මිලදී ගැනීමට මෙම සෙන්පතියා පුරුදුව සිටියා. නමුත් තමාගෙන් කජු රැගෙන යන මෙම හමුදා නිලධාරියා කවුරුන්දැයි එම වෙළඳ සැලේ හිමිකාරිය දැන සිටියේ නැහැ. වරක් ඇය සරදමට මෙන් කොබ්බෑකඩුව මහතාගෙන් මෙසේ අසනවා. “ සර් හැමදාම යද්දී කිලෝ ගණන් කජු ගෙනියන්නෙ විකුණන්නද? ” එහිදී කොබ්බෑකඩුව මහතාගේ පිළිතුර වූයේ “කෑම්ප් එකෙ ඉදල ගෙදර යද්දී කජු ගෙනියන්නෙ ගෙදර ඉන්න ළමයින්ට, ගෙදර ඉදල කෑම්ප් එකට යද්දී කජු ගෙනියන්නෙ කෑම්ප් එකේ ඉන්න ළමයින්ට”
කොබ්බෑකඩුව සෙනවිතුමාගේ මෙම නිහතමානී ගුණයන් හේතුවෙන් හමුදා සෙබළුන් අතර පමණක් නොව සාමාන්‍ය ජනතාව අතරද කෙතරම් ජනප්‍රියත්වයට පත් වූවාදයත් එතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි දහස් සංඛ්‍යාත ජනතාව ඒ සඳහා සාක්ෂි දරයි.
ත්‍රස්තවාදීන් මුලිනුපුටා දැමීම සඳහා කොබ්බෑකඩුව මහතා තවත් හමුදා නිලධාරින් කිහිප දෙනෙක් සමඟ “ෆයිනල් කවුන්ට් ඩවුන්” නම් මෙහෙයුමක් 1992 වන විට සැලසුම් කරමින් පැවතුනි. එම මෙහෙයුමේ ඉදිරි සැලසුම් ගැන රහස් සාකච්ඡාවක් 1998 අගෝස්තු මස 8 වන දින කයිට්ස්හි අරාලි තුඩුවේදී පැවැත්වීමය. එම සාකච්ඡා අවසන් කර නැවත පැමිණෙන විට අවාසනාවන්ත ලෙස මෙම මහා සෙන්පතියා ගමන් ගත් රථය පීඩන බෝම්බයකට හසු වී විනාශ විය.
එම අවස්ථාවේ බරපතළ තුවාල ලබන මෙතුමා ගුවනින් පලාලි රෝහලට ඇතුළත් කෙරිනි. එහිදී මූලික ප්‍රතිකාර ලබන මෙතුමාට වැඩිදුර ප්‍රතිකාර කිරීම සඳහා ඒ වන විටත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරුන් සූදානම්ව සිටියේය. නමුත් එතුමා ප්‍රතිකාර සඳහා රැගෙන ගිය හෙලිකොප්ටරය කොළඹ අහස පුරා රවුම් ගසා අවසානයේ රැගෙන ගියේ කොළඹ ජාතික රෝහල වෙතටයි. එහිදී වෛද්‍යවරුන් එතුමාගේ ජීවිතය රැකගැනීමට කෙතරම් උත්සාහයන් දැරුවද ඒ සියල්ල අපතේ හරිමින් පස්වරු 2.30ට පමණ මෙම අභීත සෙන්පතියානන් මෙලොවින් සමුගත්තෙ ලක්වාසීන් ශෝකයේ ගිල්වමිනි.
කොබ්බෑකඩුව මහතාගේ මරණය පිළිබඳව වගකීම එක එල්ලේම කොටි ත්‍රස්තවාදීන් වෙත යොමු වුවද එම මරණය සියලුදෙනාගේම සැකයට භාජනය වූවක් විය. එයට බලපෑ ප්‍රධානතම හේතුව වන්නේ එතුමාව රෝහල් ගත කිරීමට ගත වූ ප්‍රමාදයයි. එනිසා මෙම ඝාතනය පිළිබඳව සොයා බැලීමට දේශීය මෙන්ම විදේශීය පරීක්ෂකයන්ද සහභාගි විය. දේශීය පරීක්ෂකයන් මෙය බිම් බෝම්බ පිපිරීමක් ලෙස සඳහන් කරත් විදේශීය පරීක්ෂකයන්ගේ අදහස වූයේ මෙය රථයේ සවි කර තිබූ බෝම්බයක් නිසා ඇති වූ පිපිරීමක් බවයි. ඉන් අනතුරුව 1994 බලයට පත් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ රජයෙන් කොබ්බෑකඩුව ඝාතනය පිළිබඳ සෙවීමට කොමිසමක් පත් කළද එහිදීද සැලකිය යුතු යමක් අනාවරණය නොවීය.
කාගේ හෝ වරදින් ජාතියේ අවාසනාවට දැයට අහිමි වූ මෙම අභීත ලංකා පුත්‍රයා තම දිවි ගමන නිමා කරන විට ශ්‍රී ලංකා ජනරජ සන්නද්ධ සේවා පදක්කම, ජනාධිපති සමාරම්භක පදක්කම, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා පදක්කම්, වඩමාරච්චි මෙහෙයුම් පදක්කම, රණවික්‍රම පදක්කම, රණශූර පදක්කම (දෙවරක්), විශිෂ්ට සේවා විභූෂණ පදක්කම, උත්තම සේවා පදක්කම මෙන්ම උත්තම පූජා ප්‍රණාම සම්මානය වැනි පදක්කම් හා සම්මාන රාශියක් හිමි කරගෙන තිබිණි.
සොදුරු හදවතක් ඇති මෙම අභීත සෙන්පතියා හදිසියේ දිවි ගමන අවසන් කළද එතුමාගේ රණශූරත්වය හා ලක්මවට එතුමා කළ සේවය නිසා ලාංකීයන්ගේ මතකයේ සදා රැඳෙනවා නොඅනුමානයි.
Design by – Shanaka Vishwantha
Reference :
- රණමග ඔස්සේ නන්දිකඩාල්
- https://bit.ly/3iN0fgp
- https://bit.ly/3BB7Ua2
- https://bit.ly/372WrSI
- https://bit.ly/3rEA9jM
- https://bit.ly/3kUnXKh
- https://bit.ly/3x5NfaE
Image :
Leave a Comment