දැනුම

රණ මයුරාධිපති වැඩසිටි කන්ද

මිහිපිට සුන්දරත්වයේ ජීවමාන දෙව්ලොවක් වේ නම් එහි අභිසෙස් සොයා යන්නෙකුට, තම දෙනුවන් අදහාගත නොහැකි ගමනාන්තයක සිරි විඳින්නට, අනභිභවනීය නවාතැන අන්කවරක්වත් නොව ඉන්දියන් සාගරයේ මුතු ධරණියම පමණකි. මුතු ධරණියේ සැඟවුණු සොබා ශ්‍රී සොයා යන රූ ධාරා පහළොස්වන ගමනාන්තය, අද ඔබව රැගෙන යන්නේ සුන්දර දකුණුලක මාගම් පුරවරයටයි.

රමණීය කරදිය වළල්ලකින් වට වූ ලංකාද්වීපයේ නෙක නෙක සොබා සුන්දරත්වයන්  විඳගන්නා නිමේෂයේ දී නිවර්තන කටුක උණුසුම් දේශගුණයකට උරුමකම් කියනා රුහුණු මාගම් පත්තුවේ මොනරාගල දිස්ත්‍රික්කයට අයත් රණ මයුරන්ට වාස භූමියක් බඳු කතරගම පුද බිම භක්තිය මුසු වූ සොඳුරු වන්දනීය පුද බිමක් ලෙස දේශීය මෙන්ම විදේශීය බැතිමතුන්ගේ ද ජනාදරය  දිනාගන්නට සමත් ව ඇති බව නොරහසකි. මෙහි පැමිණෙන බැතිමතුන්ගේ නෙත් සිත් ඇදී යන තවත් සොඳුරු ඉසව්වකි පූජා භූමියට සැතපුම් තුනක් පමණ මෙපිටින් දකුණු දිශාවේ  පිහිටි හරිත වර්ණ කටුක වන ලැහැබකින් හෙබි අලි, ඇතුන්, කොටි, වලසුන් මෙන්ම සුරතල් වඳුරු රංචු ආදියෙන් අලංකෘත සොබාදහම් මාතාවගේ විශ්මිත නිමැවුමක් බඳු ය වැඩසිටි කන්ද. මේ පිළිබඳ කරුණු සොයා යාමේ දී ජනප්‍රවාද, පිළිගත් මතිමතාන්තර රාශියක් අධ්‍යයනයට හැකි වුවද ඉන් බිඳක් මෙලෙස දිග හැරීමට මම සිතා ගතිමි.

මුහුදු මට්ටමේ සිට අඩි 1000ක් පමණ උසින් පිහිටි වැඩසිටි කන්දේ උන්නතිය උදෙසා රත්මලානේ ශ්‍රී සිද්ධාර්ථ හිමියන් හෙවත් වැඩසිටි කන්දේ සිද්ධාර්ථ හිමියන් දිවිය ම කැප කළ අතර ඉන් පසු වර්තමාන විහාරාධිපති අමරපුර සිරි සද්ධම්ම වංස මහා නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක ශාස්ත්‍රපති හීල්ලේ ඤාණානන්ද ස්වාමින් වහන්සේ සංවර්ධන කටයුතු මෙන්ම ආරක්ෂක කටයුතු ද වගකීම් උසුලා සිදු කරන සේක.

ප්‍රදේශවාසී ගැමියන් විසින් මෙන්ම ලෝකවාසී ජනී ජනයා වැඩසිටි කන්ද ලෙස හඳුන්වන මෙහි පැරණි වටිනාකම් සොයා යාමේ දී එකල වැඩසිටි කන්දට භාවිත වූ නම් කිහිපයක් පිළිබඳ කරුණු හෙළි විය. වැඩහිඳි කන්ද පසුව වැඩසිටි කන්ද ලෙස නම් වූ බව ද හේම කූඨය, කෛලාශ කූඨය, සිංහාසන කන්ද, මැදුම් කන්ද ආදී නම්වලින් මෙන්ම හින්දු ජනයා ඒළු මලේ නමින්ද හඳුන්වා ඇති බව ජනප්‍රවාදයේ වේ.

මුහුණු සයක් හා අත් දොළසකින් යුතු රණ මයුර අසුනක වැඩ හිඳි කතරගම දෙවියන් හා තවත් දෙවිවරු පිරිසක් සෝවාන් ඵල පිහිටා මතු බුදු වීමේ අරමුණින් පැමිණ වැඩ සිටියා වූ කන්ද පසු කාලීන ව වැඩසිටි කන්ද ලෙස ප්‍රචලිත වූ බව ජනප්‍රවාදයේ පවතී. එමෙන්ම සුර අසුර යුද්ධයේ දී ස්කන්ධ කුමරාගේ මව වූ පාර්වති හෙවත් උමා දේවිය තම සිරුරෙන් මවා දුන් දිව්‍යමය වේලායුධයෙන් තාරක රජු පරදා පැමිණ එම ආයුධය තැන්පත් කළ ස්ථානය හේම කූඨය ලෙස නම් ලැබූ බව තවත් ජන මතයකි. මෙම වේලායුධය හා දක්ෂිණ කෛලාශනය තැන්පත් කර ඇති හෙයින් කෛලාශ කූඨය යන නම ද ලැබී ඇති බව සිද්ධාර්ථ හිමියන් රචිත ‘කන්ද කුමාර පූජමාලා’ නම් ග්‍රන්ථයේ සඳහන් ව ඇත. තවද ජනප්‍රවාද අනුව දුටුගැමුණු කුමරු හෝ මහාසේන රජු කලක් මෙම කන්දේ වැඩ විසූ බවත් එතුමන් ස්වර්ණමය සිංහාසනයක් මත හිඳ ගත් බව ද එම නිසා මෙම කන්ද සිංහාසන කන්ද නමින් හැඳින්වූ බව ද වේ. ජනප්‍රවාදය අනුව ස්කන්ධ කුමරු ‘බරනෙත, ශරවනභව, කුමාර, සුබ්‍රමනියම්, ශන්මුක මුරුගන්, වේලන්’ යන නම්වලින් ද හඳුන්වා ඇත.

තවත් අපූරු කතන්දරයකි. එනම් වැඩසිටි කන්ද තවත් කඳු සයකට මැදි ව, රමණීය ව, ආරක්ෂිත ව පිහිටා තිබීම සොබාදහම් මාතාවගේ දායාදයකි. කඩවර කන්ද, ප්‍රකාශ කන්ද, උමං කන්ද, උයන් කන්ද, බණ්ඩාර කන්ද, කුමාර කන්ද යන කඳු හයට මැදි ව ඇති හෙයින් මෙයට මැදුම් හෙළ යන නම් පටබැඳී ඇත.

සැබවින්ම ජනප්‍රවාද පුවත් හරහා අපේ හෙළ ඉතිහාසය බොහෝ සේ පෝෂණය වී ඇත. වැඩසිටි කන්ද හා බැඳුන අලංකාර කතාන්දර ද මෙලෙස පිරික්සා බැලීම හරහා වටිනා ඓතිහාසික සිද්ධි මතු කරගැනීමට හැකි විය. දුටුගැමුණු රජු එළාර රජු සමඟ යුධ වැදීමට ප්‍රථම මෙම කන්දට භරණ නම් සෙන්පතියකු සමඟ පැමිණ භාරයක් වී ඇති බව ද මතයකි. එම මතය සනාථ කරමින් යුද්ධය ජය ගෙන පැමිණ එහි වැඩ වසනා දෙවිඳුන්ට දෙවොලක් තනා දීමට පොරොන්දු වී ඇති බව ද ජනප්‍රවාදයේ එයි. එහි දී යුද්ධය ජය ගෙන පැමිණ දෙවොලට සුදුසු ස්ථාන පිරික්සන කල රජු මෙම කන්දේ සිට විදින ලද ඊතලය ගොස් බිම පතිත වූ ස්ථානය වත්මන් කතරගම දේවල භූමිය විය. මෙම මතය යම් දුරකට සපථ කරමින් කන්දේ සිට බැලූ කල කිරි වෙහෙර සහ කතරගම දේවාලය එකම සරල රේඛාවක පිහිටීම පුදුමයට පත් කරන්නක් විය. 

පැරණි  දෙවොලක නටඹුන් දර්ශනය වන බැවින් මෙහි ඈත අතීතයේ සිට දෙවොලක් පැවතුණු බවට සාක්ෂි හමුවේ. වැඩසිටි කඳු මුදුනට නැගි කල එහි ආනන්ද බෝධි ශාඛාවක්, ජය ශ්‍රී මහා බෝධි ශාඛා දෙකක් රෝපණ කර තිබෙන අයුරු දැක වැඳ පුදා ගත හැකි ය. අලංකාර බුද්ධ මන්දිරයක්, සුදෝ සුදු දාගැබක්, මහා විෂ්ණු, ඊශ්වර, වල්ලි අම්මා ආදී දෙවොල් වැඳ පුදා ගැනීමට අවස්ථාව උදා වී ඇත. බැතිමතුන්ගේ හා එහි නිරතුරුව රැඳෙන සියල්ලන්ගේ ම පහසුවට සනීපාරක්ෂක පහසුකම් හැකි අයුරින් සපයා දීමට ද සලසා ඇති අයුරු අගය කළ යුතු පින්වන්ත ක්‍රියාවකි. කඳු මුදුනට නැග සිරි අසිරි විඳ, වැඳුම් පිදුම් කරන්නට නොහැකි වයෝවෘද්ධ බැතිමතුන්ගේ පහසුවට මළුව දක්වා ගමන් කිරීමට රථ වාහන සේවාවක් වර්තමානයේ සලසා ඇත. 

මෙවැනි උතුම් පින් බිමක් වැඳ, නැවුම් සුළං ධාරාවක පහස ලැබ, රුහුණේ හෙළ අසිරිය නෙත් පුරා දැක බලා ගෙන යන ගමනේ මඟ සලකුණු තබා යාම අවශ්‍ය නොවේ. එනිසා තම තමන් රැගෙන පැමිණි පොලිතින්, ප්ලාස්ටික් වැනි දෑ අක්‍රමවත් ව පරිසරයට මුදා නොහැර සුන්දර පරිසරය රැක ගන්නට අනාගත පරපුරට ඉතිරි කර තබන්නට වගකීම අප සියලුදෙනාගේ යුතුකමකි. 

නෙක නෙක රූ රටා මවන මේ සුන්දර ධරණී තලයේ තවත් මෙතරම් විශ්මිත් තැන කොතෙකුත් සැඟවී ඇතිද? ඉතින් මිතුරනි, මෙතෙකැයි කියා නිම කළ නොහැකි අනභිභවනීය පින් කෙතක් වූ සිව්හෙළයේ සිරි අසිරි සොයා යන Colombo Beacon රූ ධාරා තුළින් අදට අවසරයි සමුගන්නට… හමුවෙමු තවත් ලිපියක් තුළින් මෙවැනිම වූ සොඳුරු ඉසව්වක නිම්වළලු සොයා යන්නට, එතෙක් ඔබට සුව විරාමයක්…


Design by – Pathum Lakshan

Reference:

  • පුදබිම අද්දර සිංහාසන කන්ද | Mihithuru, 2021
  • බැතිමතුන්ගේ බලාපොරොත්තු ඉටුකරන ඓතිහාසික වැඩසිටිකන්ද – 2021)

Image:

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

තුෂාරි සංජීවනී

ශාස්ත්‍ර පීඨය - පළමු වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment