දැනුම

රඹුටන්

හෙළදිව සාරය සොයායන Colombo Beacon ‘සුව ධරණි’ සුව චාරිකාව, මෙවර පදික වේදිකාවට ගොඩවැදුනේ මේ දිනවල පළතුරු ලොවේ සුපිරි තරුව සොයාගෙනයි. රතු පාටින් දිදුලන පලතුරු ලොවේ තරුව රඹුටන්හි ගුණ වයන්නටයි මෙවර පරිච්ජේදය වෙන්වන්නේ….

රඹුටන්

ඉංග්‍රීසි නාමය :- Rambutan
උද්භිද නාමය :- Nephelium lappaceum

ශ්‍රී ලංකාවේ වගාකර ඇති ස්ථීර පළතුරු බෝග අතුරින් දෙවන ස්ථානය හිමිවන්නේ රඹුටන් සඳහායි. මුහුදු මට්ටමේ සිට උස මීටර 450 පමණ දක්වා උස් වූ ප්‍රදේශ රඹුටන් වගාව සදහා සුදුසු වේ. රඹුටන් වගාව සඳහා පහතරට තෙත් කලාපය වඩාත් සුදුසු වන අතර ප්‍රධාන වශයෙන් එම කලාපයට අයත් කොළඹ, කළුතර, ගම්පහ ප්‍රදේශ වල දක්නට ලැබේ. මීට අමතරව කෑගල්ල, රත්නපුර, ගාල්ල මාතර ආදී ප්‍රදේශ වල ද දක්නට ලැබේ.

රඹුටන් සැපින්ඩේසියේ(Sapindaceae) කුලයට අයත් නිවර්තන කලාපීය සදාහරිත ශාකයකි. මෙය සම්භවය වී ඇත්තේ මලයාසියාවේ ලෙස සැලකේ. දකුණු ආසියාවේ නැගෙනහිර කලාපයේ රටවල ප්‍රධාන වශයෙන් ද, තව ද නිවර්තන කලාපයට අයත් අප්‍රිකාවේ, දකුණු ඇමරිකාවේ හා කැරබියන් දූපත් වල ද වගා කෙරේ.

රඹුටන් වගාවේ මල් හටගැනීම උත්තේජනය කිරීම සඳහා සති 2-3ක වියළි කාලගුණික තත්වයක් අවශ්‍ය වේ. පෙබරවාරි, මාර්තු කාලවල මල් හටගන්නා නමුදු, එම කාලයේ වර්ෂාව ලැබුනහොත් මල් උත්තේජනය වීම වෙනුවට අතු හටගැනීම සිදුවේ. එබැවින් රඹුටන්වල ඵලදාව සදහා දේශගුණික තත්ත්වය බෙහෙවින් බලපායි.

රඹුටන් අප දන්නේ ඌෂ්ණාධික පළතුරක් වශයෙන් පමණි. නමුත් අප නොදන්නා කාරණයක් වන්නේ රඹුටන් යනු පෝෂ්‍ය ගුණයෙන් ඉහළ පළතුරු ලැයිස්තුවේ ඉහලින්ම පවතින පළතුරක් බවයි.

රඹුටන් රතු රුධිරාණු සෛල වර්ධකයක් ලෙස ක්‍රියාකරන්නේ රඹුටන් මගින් ශරීරයට අවශ්‍ය යකඩ ප්‍රමාණය ඉක්මනින්ම ලබාගත හැකි නිසාය. එම ගුණය නිසා නීරක්තතාවය ද වලකී. රඹුටන් ආහාරයට ගැනීමෙන් රුධිරගත සීනී මට්ටම සීග්‍රයෙන් පහළ වැටේ. එමනිසා රඹුටන් යනු දියවැඩියා රෝගීන්ට දිව ඔසුවකි.

රඹුටන්වල පොස්පරස්, කැල්සියම් අන්තර්ගත නිසා වකුගඩුවල අපද්‍රව්‍ය ඉවත්කිරීමේ විශේෂ ගුණයකින් යුක්තය. එමනිසා වකුගඩු රෝගීන්ට රඹුටන් ආහාරයට ගැනීම ගුණදායකය. ප්‍රතිශක්තිය ඉහල නැංවීමට ද රඹුටන් වලට හැකිය.

මෙන්න මේ කාරණය දැනගත්විට කාන්තා ඔබ නම් අද සිට රඹුටන් වැඩි වැඩියෙන් ආහාරයට ගැනීමට සිතයි. රඹුටන්වල ඇති විශේෂ ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා සමේ රැලිගතිය, එල්ලා වැටීම වලක්වා සමට දීප්තිමත් පෙනුමක් ලබාදීම සිදු වේ. පොස්පරස්, යකඩ, පොටෑසියම්, මැග්නීසියම්, මැංගනීස් රඹුටන්හි අන්තර්ගත නිසා හිසකෙස් කැඩීයාම, හිසකෙස් ගැලවීයාම පාලනය කර සුන්දර ශක්‍තිමත් කෙස් කළඹක් ලබාදේ.

රඹුටන් කැල්සියම් අධික පළතුරක් නිසා අස්ථි ආශ්‍රිත වේදනා තත්ත්ව සහ ආබාධ සඳහා ගුණදායක වේ. විශේෂයෙන් ආර්ථව අභාවයට පත් කාන්තාවන්ට ඇතිවන කොන්ද ආශ්‍රිත වේදනා, සන්ධි ආශ්‍රිත කැඩීම් බිදීම් පාලනයට රඹුටන් ඉස්තරම් ය.

සින්ක්, මැග්නීසියම්, මැංගනීස් ආදී දුලබ පෝශ්‍ය පදාර්ථ බහුල නිසා ගත වෙහෙසා කටයුතු කරන අයට රඹුටන් ආහාරයට ගැනීම ගුණය. ආහාර අජීර්ණ තත්ත්ව, අතීසාරයට පිළියමක් ලෙස රඹුටන් යොදාගනී.

අධික තරබාරුවෙන් පීඩා විඳින්නන්ට රඹුටන් ඉතා යෝග්‍ය වන්නේ රඹුටන් වල ඇති මේද අවශෝෂණ ගුණයත්, එහි කැලරි හා කාබෝහයිඩ්‍රේට සීමිත ප්‍රමාණයක් අඩංගු වීමත් නිසාය. අනවශ්‍ය මේද කොටස් ඉවත් කිරීමේ විශේෂ හැකියාවක් පවතින්නේ රඹුටන් ඇට වලටයි.

රඹුටන් අධික හිසරදය මට්ටු කරන අපූරු ඖෂධයකි. රඹුටන් මද ගෙන තරමක් තලා තලපයක් ලෙස නළලේ තබා ගැනීමෙන් අධික හිසරදය ක්ෂණයෙන් තුරන් කළ හැක.

තවද නූතන පරීක්ෂණ මගින් ඔප්පු වී ඇත්තේ රඹුටන්, ශුක්‍රාණු වර්ධනයටත් පිළිකා සෛල නාශනයටත් ඉතා අනර්ඝ බවයි.

රඹුටන් ආහාරයට ගැනීමේ දී ලෙල්ල කටින් නොකඩන්නට අපි අනිවාර්යයෙන්ම වගබලා ගත යුතුය. එවිට උගුරේ ආසාදනයන්, උගුර රතුවීම් වැනි තත්ව වළක්වා ගත හැක.

රඹුටන් ලෙල්ල නිසි පරිදි බැහැර කරන්නට ද අප වගකීමෙන් කටයුතු කළ යුතුයි. නැතිනම් ලෙල්ලෙහි වැසි වතුර එකතු වී ඩෙංගු මාරයා හිස එසවීමට ද ඉඩකඩ සැලසීමට හැක.

Design by Samith Kanshadha

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

පියුමි මධුභාෂිණී

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment