සාමාන්‍ය

රසික හදවත් මිලියනයක හිමිකාරිය

“යොහානි” මේ නම ඇහුවම, අද දන්නෙ නැති කෙනෙක් නැති තරම්. මේ දිනවල සමාජ මාධ්‍ය වල ප්‍රසිද්ධම චරිතයක්. ඒ වෙන හේතුවක්  නිසා නෙවෙයි යූ ටියුබ් චැනල් සබ්ස්ක්‍රයිබ්ස් මිලියනය ඉක්ම වූ පළමු ශ්‍රී ලාංකික මියුසික් ආර්ටිස්ට් වීම නිසා… ඒ නිසා අද සමාජ මාධ්‍ය වල වැඩිපුරම කතා බහට ලක්වෙන ප්‍රධාන මාතෘකාවක් තමා යොහානි. අවුරුදු 28ක් වගේ පොඩි වයසකදී මේ තරම් දුරක් එන්න ලැබීම ඇය ලද විශාල ජයග්‍රහණයක්. ඇත්ත වශයෙන්ම කීවොත් ඇය ආ මග මල් මාවතක් නෙවෙයි. ගල් බොරළු වලින් පිරුණු දුෂ්කර මාවතක්. මේ ඇගේ කතාවයි.

“වෙඩි නොවදින වව්නියාව
මතකද නංගිගෙ හිනාව” 

මේ පද පෙළ ඔබට හුරු පුරුදු බවට කිසිම සැකයක් නැහැ. ඔව්, මේ යොහානිගේ “රැව්වත් දෑසින්” ගීතයේ මා සිත් ගත් පද පෙළයි. එයින් කියැවෙන්නෙම ඇගේ පියාණන්  ගැනයි. මේ සින්දුව ඔබ එක්වරක් හෝ අසා තිබේ නම්, ගීතයට පාදක වූ කතාවේ පොඩි කෙල්ලගෙ පියා හමුදා නිලධාරියෙක් බව පසක් වීමට ඔබට ලොකු වෙලාවක් ගතවන්නේ නැහැ. මේ ඇගේ පියා වෙනුවෙන්ම ඇය ගෑයූ ගීතයක්. ඇගේම අනර්ඝ නිර්මාණයක්. විශ්‍රාමික ජෙනරාල් ප්‍රසන්නද සිල්වා, ඔබට මේ නම අමතක නෑ කියල මා විශ්වාස කරනවා. 30 වසරක යුද්ධයේ දී විශාල කාර්‍ය භාරයක් කළ දැවැන්තම සෙන්පතියෙක්. එම සූරවීර මිනිසාගේ වැඩිමහල් දියණියයි මේ අද අපි අතර කතා බහට ලක් වෙන යොහානි.

කුඩා අවධියේ සිටම සංගීතයට නැඹුරු වුණු  මේ සූරවීර කෙල්ල, එක්තරා යූ ටියුබ් සම්මුඛ සාකච්ඡාවක කියනවා; “අම්මා තමයි මට මුලින්ම පියානෝ එක ගහන්න පුරුදු කළේ…” සෑම මවක්ම වගේ ඇගේ මවත් ඇයට මේ ගමන එන්නට යෝධ ශක්තියක් වූවා කියන්නට තවත් උදාහරණ කුමටද? දියණියන් දෙදෙනෙකු වූ පවුලක “අක්කා” වන මැය සැබැවින්ම අද සමාජයේ නව පරපුරේ කෙල්ලන්ට ලොකු ආදර්ශයක් වනු නොඅනුමානය. ඇගේ නැගැණිය රුසියාවේ  උසස් අධ්‍යාපනය හදාරන්නියක්.

කොළඹ ඇය උපන් ගමයි. කොළඹ විශාකා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරූ ඇය, උසස් අධ්‍යාපනය සඳහා එන්ගලන්තය බලා ගමන් අරඹනවා. පසුව නැවතත් ලංකාවට පැමිණෙන්නේ කොතලාවල විශ්ව විද්‍යාලයෙන් නැවත උපාධියක් කීරීමේ අපේක්ෂාවෙන්. ඒ ඉලක්ක සේරම හොඳින් සපුරා ගන්නා ඇය, මාස්ටර්ස්  සිහිනය සපුරා ගැනීමට ඕස්ට්‍රේලියාව බලා පිටත් වෙනවා. ගිණුම්කරණයෙන් ප්‍රථම පන්ති උපාධියක් හිමිකර ගන්නා ඇය, දක්ෂ උගත් තරුණියක් කියන්නට තවත් උපමා රූපක කුමකටද?

මා පෙර කීවා වගෙ ඇය සංගීතයට යොමු වෙන්නේ කුඩා කාලයේදීමයි. ඇය විටක පවසනවා “මම යූ ටියුබ් එකෙනුයි ගිටාර් ගහන්න පුරුදු වුනේ…” නමුත් ඇය ගායනයට යොමු වෙන්නේ විශ්ව විද්‍යාලයේ ඉද්දී. හිපොප්, පොප් වගේ දේවල් ඇය ඉගෙන ගෙන තියෙන්නේ තනියම. ඒ වගේම ඇය විදේශ ගතව සිටින විට ඡායාරූපකරණය වගේ දේවල් කරලා තියෙනවා. මෙයින් මනාව පැහැදිලි වෙනවා ඇය මේ ගමන තම උත්සාහයෙන් කැපවීමෙන් ආ ගමනක් බව. තවද විදෙස් රටවල සංචාරයෙන් ඇයට සංගීතය පැත්තෙන් උසස් අය හමුවෙලා තියෙනවා. ඒ සෑම අත්දැකීමක්ම අද ඇය මේ සිටිනා තැනට එන්න උපකාර වෙලා තියෙනවා කිවොත් මා නිවැරදියි.

යොහානි ගැන මා පෙර කීවා වගේම, ඇය ජීවිතේ දුක් කම්කටොලු හිතින් විඳ දරාගෙන කාගෙන ඉස්සරහට ගිය චරිතයක්. ඇගේ පියා හමුදා සේවයේ ඉන්න විට යුද්ධ අවධියේ ඇයට, මවට, සොයුරියට ගොඩාක්  අපහසුතා වලට මුහුණ පාන්න වෙලා තියෙනවා. යූ ටියුබ් සම්මුඛ සාකච්ඡා කීපයකම ඇය ඒ බව ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම මා කලින් කී ඇගේ “රැව්වත් දෑසින්” ගීතයේ, 

“පියතුමනි අපිට පද හැදුවා බේගල් තැනුවා
ඔබ ළඟ නැති හින්දා අපි වින්දා මව නින්දා වින්දා
මම ඒ දෙස බලන් රහසින් ඉකි බින්ඳා” 

යන පැදි පෙළ ඊට හොඳම නිදසුනක්. සැමියා ළඟ නැතිව ගැහැණු දරුවන් දෙදෙනෙක් උස් මහත් කරන්න ඒ අම්මා දරපු වෑයම ඈ ඇගේ කට හඬින්ම ගයද්දී ඒ මවට කෙතරම් සතුටු ඇතිද? ඒ පියා කෙතරම් ආඩම්බර වෙනවා ඇතිද?

ඇගේ යූ ටියුබ් චැනලය පටන් ගන්නේ 2016/03/01 වෙනිදා, දැන් 2021 මාස 8ක් ගෙවිලා මේ තරම් ටික කාලෙකින් ඇය ලද ජයග්‍රහණය ප්‍රවීණ ලාංකික සංගීත ශිල්පියෙකුටවත් ගැනීමට නොහැකි වෙලා තියෙනවා.

ඇය රසිකයන් අතරට යන්න තෝරාගන්නා ලද අවිය සමාජ මාධ්‍ය. කවර්ස් වලින් තමා ඇය නිර්මාණ පටන් ගන්නේ. ඇය නවක ශිල්පිනියක් හැටියට මේ දේ කරද්දී ගොඩාක් දේවල් හරි ඉක්මනට ඉගෙනගන්න වෙලා තියෙනවා. ඕනිම කෙනෙක් විශේෂයෙන් කෙල්ලෙක් ඉස්සරහට යද්දී කකුලෙන් අදින, පද හදන, මඩ ගහන මිනිස්සු වැඩියි මේ සමාජයේ. විශේෂයෙන් වත්මන් ශ්‍රී ලංකාවේ. අකමැත්තෙන් වුනත් ඒක කියන්න වෙනවා. ඉතින් යොහානිටත් මේ අභියෝග බාධක නින්දා ප්‍රශංසා වලට මුහුණ පාන්න වෙලා තියෙනවා. ඒක හැටි. අපිට කාටවත් වෙනස් කරන්න බෑ ඒවා කාගෙන ඉවසා දරාගෙන ඉස්සරහට යන්න ඕනි අපි. හොඳම උදාහරණය වෙන කවුරුත් නෙවෙයි අපේ කතා නායිකාව යොහානිම තමා.

ඇයට ආපු එක චෝදනාවක් තමා කෙල්ලෙක් රැප් සින්දු කියන එක සංස්කෘතියට පටැහැනියි කියපු එක, ඒ වගේම ඇගේ ශරීරය හැසිරීම කොල්ලෙක් වගේ කියපු එක. ඒ වගේම අනුන්ගෙ සින්දු කියනවා කියපු එක. මේ සෑම දේකටම වගේ ඇය පිළිතුරු දී තිබුනා.

ඒ වගේම, ඕනිම කෙල්ලෙක් කාන්තාවක් ප්‍රසිද්ධ වෙලා දියුණු වෙද්දී අනිවාර්යයෙන්ම වගේ මුහුණ පාන්න වෙන ගැටලුවක් තමා “Cyberbullying” කියන්නේ. ඇයටද එවැනි සිද්ධීන් වලට මුහුණ දෙන්න වුනා. කුණු රසය හොයන මේ වත්මන් සමාජයේ ඇත්ත මෙයයි. මේ සිදුවීම් වෙනස් කිරීමට අපහසුයි. ඒ අවස්ථාවේ ඇය ගොඩක්ම මානසික වශයෙන් පසු බෑමකට ලක් වුනා කියලා ඇය පැවසුවා.

ඒ වගේම උපාධි ගණනාවක් තියෙන දියණියක් ඒ සියල්ල අතහැර දමා සංගීතයට නැඹුරු වෙනවට දෙමාපියන් කැමැත්තක් දක්වන්නේ නැහැ. හැම අම්ම කෙනෙක්ගෙම තාත්තා කෙනෙක්ගෙම හීනයක් තමා තම දරුවා සමාජයේ උසස්ම තැනක දුක් විඳින්නේ නැතිව හොඳට ඉන්නවා දකින එක. ඉතින් ආරම්භයේදී ඇගේ මාපියන් පවා අකමැති වෙලා තියෙනවා ඇගේ මේ සංගීත ගමනට. පබ් වල සින්දු කියලා තියෙනවා ඇය මාස 08ක් එක දිගට. එයින් හම්බුන මුදලින් තමා ඇය ගිටාර් එකක් පියානෝ එකක් පවා අරන් තියෙන්නෙත්. පෙටා ඉෆෙක්ට්ස්ලා තමයි ඇයට සහයෝගය දීලා තියෙන්නෙ. ළඟදි ඇගේ මියුසික් ඇල්බම් එකක් එළි දැක්වෙයි කියලා ආරංචියකුත් තියෙනව. එ‍යින් පසුවත් ඇය තව තවත් ජනප්‍රිය වේවි. ඉහත මා කී නින්දා අපහාස වලින් වැටී ඇය ඇගේ හීන ඉලක්ක අතරමග දමා පැන දිව්වේ නැහැ. ඇය සෑම නින්දාවක්ම අපහාසයක්ම උපේක්ෂාවෙන් දරාගෙන ඉස්සරහට ගියා. ඇය අද දිනලා ඉවරයි.

ආයේ, සිත දැවුනා, වියෝලේ වියෝලේ වැනි ගීත ඉහත මා සඳහන් කළ රැව්වත් දෑසින් වගේම ජනප්‍රිය වුනා.

මේ නුදුරේ වුන සිද්ධියක් නම්; සදීශන් සහ දුලාන් සමඟ ඇය කළ “මැණිකේ මගේ හිතේ” කවර් එක ඔර්ජිනල්ම ගීතයට වඩා ජනප්‍රිය වීමයි. ලංකාවේ  පමණක් නොව ඉන්දියාවේ පවා එය ජනප්‍රිය වුනා. මීට වසරකට පමණ පෙර සදීශ් සහ දුලාන් කළ ඔර්ජිනල් ගීතයට වීව්ස් මිලියන 13ක් පමණ වෙද්දී, යොහානි කළ මේ කවර් එකට වීව්ස් මිලියන 40ක් වගෙ දැනට ඉක්මවලා තියෙනවා. ලංකාවේ මෙම සිංහල ගීතය ඉන්දියාවේ වයිරල් වුනා. බොලිවුඩ් තරු පවා මේ ගැන අදහස් දක්වලා තියෙනවා. අමිතාබ් බච්චන් පවසලා තියෙනවා “මේ සින්දුව අහන්නේ නැතිව ඉන්න බැහැ කියල”. සිද්ධාර්ත් නිගම් ඒ ගීතයට ටික්ටොක් එකක් කරලා තියෙනවා. ඇය කොටින්ම කීවොත් මැණිකක්. ඇය නිසා සිංහල ගීත ජාත්‍යන්තරයට යනවා. මේ ගීතයට පිටරවල යූ ටියුබර්ස්ලා  පවා රියැක්ෂන් වීඩියෝ හදලා තියෙනවා.

2025 වෙද්දී ලංකාවට මොන දේ වුනත් යොහානි අනිවාර්යයෙන්ම අන්තර්ජාතික තරුවක් වෙනවා. ඒක ඒකාන්තයි.

අද තරුණ දරුවන්ට විශේෂයෙන් ගැහැණු ළමයින්ට ඇගේ චරිතය විශාල ආදර්ශයක්. ප්‍රේම සම්බන්ධයක් බිඳ වැටුණු විගස ජීවිතය තොර කරගන්නා මෝඩ දරුවන් සිටින සමාජයක ඇය තාරකාවක්. 

ඉතින් ඇයගේ ඉදිරි ගමනට සුභ පතන ගමන්ම ඇගේ ගීතයක කොටසකින්ම මා නවතින්නම්.

“එදා හිටපු කෙල්ල තමයි තාමත් හිත යට
ගැට ගහගෙන මේ වෑයම නොවේ රජ වන්නට”

Image reference : https://bit.ly/2WdM3Fk 

Design By Achintha Lakshan

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

කෝකිලා සනෝජි

විද්‍යා පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment