Interview

රාවණා, නොකි පුරාවතේ නොදුටු පැතිකඩ

කොළඹ විශ්ව විද්‍යාලයේ නව නිර්මාණයක් ගැන දැන් දැන් සැමොගෙම කතාබහට ලක් වෙනවා. ඒ පිලිබඳ තතු සොයා ගැනීමේ අරමුණින් එහි සංවිධායක නීති පීඨයේ කථිකාචාර්යවරියක් සහ අන්තරී ජාතික අංශයේ අධ්‍යක්ෂකවරිය වන ආචාර්ය කෝකිලා කෝණසිංහ මහත්මිය සමග Colombo Beacon අපි පිළිසඳරක යෙදුනා.

01.මේ දවස් වල විශේෂ වැඩකට සුදානම් වෙනවානෙ. ඒ ගැන සදහන් කරමු.

ඔව්. ඒ තමයි රාවණ , නොකී පුරාවත. එකට මම සම්බන්ධ වෙන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ කලා මණ්ඩලයේ හිටපු සභාපති විදිහට. අපට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විශ්ව විද්‍යාලයේ කලා කුසලතාවයන් නංවනු පිණිස ව්‍යාපෘතියක් කිරීම සදහා ලැබුණු අරමුදලක් තිබුනා. එවිට විශ්ව විද්‍යාලයේ උප කුලපතිතුමාගේ උපදෙස් මත මෙතෙක් කිසිම විශ්ව විද්‍යාලයකින් නොකළ දෙයකට එම අරමුදල යොදවන්න තීරණය කලා. මෙම කර්තව්‍ය තමයි අපේ විශේෂ අලුත් වැඩේ. අපි තීරණය කලා ballet opera එකක් කරන්න. මේ සදහා විශේෂ කලා කුසලතවයන් තිබෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් audition එකකින් තොරාගෙන, ඔවුන්ට මුල සිටම opera ගායනය සහ නර්තනය පාඨමාලාවක් ලෙස හැදෑරීමට අවස්ථාවක් ලබා දුන්නා. එයිනුත් තෝරාගත් අයගෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ අවුරුදු 150ක ඉතිහාසයේ නොකළ, අපේම කියලා නාට්‍යයක් නිර්මාණය කලා. ඒක රාවණා නොකී පුරාවත කියලා ballet opera එකක් විදිහට රඟ දක්වනවා.

02.කිවෙනි වතාවටද මෙය වේදිකා ගත වෙන්නේ?

මෙය දැන් දෙවන වතාවට තමයි වේදිකාගත වෙන්නේ. අපි කොළඹ විශ්ව විද්‍යාලයේ ආරාධිතයන්ට ජනවාරි මස 08 වෙනිදා පළමු වතාවට නෙළුම් පොකුණේදි වේදිකාගත උනා. දෙවන වතාවට ජූනි මස 02 වෙනිදා සවස 6.30 ට නැවතත් නෙළුම් පොකුණේදී මහජන ප්‍රදර්ශනය සදහා වේදිකාගත කරනවා.

03.මෙය සංවිධානය කරන්නේ කවුද?

ප්‍රධාන වශයෙන් කොලඹ විශ්ව විද්‍යාලයේ කලා මණ්ඩලයේ විශාල සහයෝගයක් දක්වනවා. නමුත් මේ සදහා කොළඹ විශ්ව විද්‍යාලයෙන් නිෂ්පාදන කණ්ඩායමක් ඉන්නවා. එහි විද්‍යා පිඨයේ අංජන මහතා, ගයනි මහත්මිය, දිලුශාන් මහතා, දිල්හාරි මහත්මිය, ශ්‍රීපාලි මණ්ඩපයෙන් කථිකාචාර්යය තුමිඳු මහතා සහ මම සම්බන්ධ වෙනවා.ඊට අමතරව අපිට ශිෂ්‍ය කණ්ඩායමක් සහ තවත් කථිකාචාර්යවරුන් කීපදෙනෙක් සම්බන්ද වෙනවා. මෙහි නාට්‍ය නර්තනය හා සංගීත නිර්මාණය Ranara academy හි අධ්‍යක්ෂිකා තනුජා බන්දුල මහත්මිය විසින් සිදු කරනනවා. මෙහි ඉතාම් වටිනා සහා ඉතාම රමණිය තිර පිටපත් රචනා කලේ කෘහස්ත ලේඛක භද්‍ර ජි මහින්ද ජයතිලක මහතා.

04.මේ පිළිබඳ මුල්ම අදහස අවේ කාටද?

මේ පිලිබඳ මුල්ම අදහස කීපදෙනෙක් එකතු වෙලා තමයි අවේ. එක් අයෙකුගේ කියල අයිතිවාසිකමක් කියන්න බෑ. උප කුලපතිතුමගේ අදහසක් තිබුනා මෙතෙක් සිදු නොවුණු විශ්මිත වැඩක් කරමු කියලා. එවිට අපිට එකවර මතක් උනෙ මනමේ, සිංහබාහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තියනවා, අපිට අපේ කියන්න නිර්මාණයක් ලෝකෙට දායාද කරලා නැ කියන එක. අපි හැමතිස්සෙම විශ්ව විද්‍යාල ප්‍රජාව විදිහට හිතන්න ඕනේ අපි නිදහස් අධ්‍යපනයේ දරුවෝ විදිහට යමක් පෙරලා රටට සමාජයට ලබා දෙන්න ඕනේ කියලා. ඒ නිසා අපි තීරණය කලා මොනවහරි දෙයක් සමාජයට පුද කරන්න ඕන කියලා. මේක තමයි අපි පුද කරන දේ. මෙක විශේෂම දෙයක්. මේක ඔපෙරා සහ බැලේ යන අංග දෙකම එකතු කරලා හදන ලද ලංකාවේ විශ්ව විද්‍යාලයකින් ප්‍රථම වතාවට කරන නිර්මාණයක්.

05.රාවණ, නොකී පුරාවත opera ballet එක සංවිධානය කිරීමේ අරමුණ මොකද්ද?

ප්‍රධාන අරමුණ  වුනේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කලා කුසලතාවයන් ඔප්නැංවීම. ඒ වගේම තමයි විශේෂයෙන් මේ නිර්මාණයේ තියන කතා පුරාවතින් අපි කියන්නේ නොකී පුරාවතක්. ඉතින් එක මේතාක් රාවණා ගැන නොකියූ, අපි දන්න පුරාවතට වඩා වෙනස් විශේෂ දෙයක්. මෙය හැමෝටම අලුත් අත්දැකීමක් වෙනවා නියතයි. ඉන්දියාව ගත්තම, ඔවුන් වාල්මිකී විසින් රචිත රාමායනය කියන ග්‍රන්ථයේ තිබෙන රාම-රාවණා පුවත ඉදිරි පරම්පරා වලට ගෙන යනවා. ඔවුන්ගේ ලේ වල රාමායනය තියනවා. ඒ වගේම රාමා කියන පුද්ගලයා දෙවියෙක් විදිහටත් රාවණා කියන පුද්ගලයා යක්ෂයෙක් විදිහටත් අදහනවා. එතකොට අපි රාවණා ගැන දැනගන්නේ ඒ විදිහට අහුලා ගත්ත ප්‍රවෘත්ති වලින්. අපි දඩු මොණරෙ ගැන දැනගන්නෙත් එහෙමයි. ශ්‍රී ලාංකිකයන් විදිහට මේ වෙනකන් රාවණා දෙස හරි බැලීමට ප්‍රථිපලදායි උත්සාහයක් දරලා නෑ. අපි මේ කරන්නේ ඒක. ඉතින් කොළඹ විශ්ව විද්‍යාලය කරන විශේෂ දෙයක් තමයි මේක. රාවණා පුවතට වෙනස් මුහුණුවරක් ලබා දි තිබෙනවා. රාවණාගේ දක්ෂතා දහය, දඩු මොණරය වගේ සුවිශේෂී දේවල් opera එකේ රග දක්වනවා. ඉතින් මේ පුරාවත සමාජයට ගෙන යාම තමයි අපේ අරමුණ වෙන්නේ.

06.රාවණ, නොකී පුරවත වගේ opera ballet එකකින් විශ්ව විද්‍යාල සිසුන්ට තියන වැදගත්කම මොකද්ද?

විශ්ව විද්‍යාල ශිෂ්‍යා කියන්නේ ශ්‍රී ලාංකිකයෙක්. ඔවුන්ට තියනවා ඉතිහාසය ගැන ලෝකයට කියන්න වගකීමක්. මම හිතන්නේ ඒ වගකීම ඉටු කරන එක අවස්ථාවක් මේක. අනිත් කරුණ තමයි තමන්ගේ සහෝදර සහෝදරයින් සම්බන්ද වෙන මේ නිර්මාණය එළි දක්වන්නේ කොහොමද කියල බලන්න ලැබෙන එක. ඒක විශ්ව විද්‍යාල සිසුන්ට ලැබෙන ඉමහත් භාග්‍යක්. විශේෂයෙන්ම මෙතන වැඩිපුරම වෛද්‍ය සහ නීති පිඨ වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගී වෙනවා. ඔවුන් මානසික සහ කායික වශයෙන් දැඩි ලෙස අධ්‍යාපන කටයුතු වල නිරත වෙන අය. නමුත් ඔවුන් මෙහි රග දක්වන්නේ ඉපදුන දවසේ ඉදන් balleට කරපු අය වගේ. ඔවුන් මෙහි රග දක්වන එක වචනෙන් කියන්න බැරි චිත්තාකර්ශනිය අවස්ථාවක්.

07.Ballet එකෙන් සමාජයට දෙන පණිවිඩය මොකද්ද?

විශාල පණිවිඩයක් දෙනවා. මෙහි මුල ඉදල අගටම කතා කරන්නේ රාවණා ගැන. රාවණාගේ මේතාක් සමාජීය, ආර්ථිකමය, සංස්කෘතික හා ආගමික වශයෙන් දෙනු ලැබූ වැරදි අර්ථ නිරුපන වලට අභියෝග කරලා, රාවණා සදහා නිවැරදි අර්ථකථනයක් දීම මෙහිදී සිදු වෙනවා. රාවණා කියන්නේ ලංකාවේ හිටපු එකම අනාගමික ජාතික වීරයෙක්. අපි පෙනී සිටින්නේ ඒ වගේ වීරයෙක් වෙනුවෙනුයි. ඒ නිසා මේ පණිවිඩය සමාජගත කිරීම ඉතා වැදගත්. ඒ වගේම මෙහි රාවණාගේ අවිහිංසාවාදය සහ ඒ තුලින් ඔහු මිනිසුන්ගේ හදවත් ජයගත්තේ කෙසේද යන්න වග මනාව නිරූපණය වෙනවා.

08.මේ event එකට තියෙන්නේ ඉතා සුළු කාලයක්. ඒ වෙනුවෙන් තියන සුදානම ගැන සදහන් කරමු.

සිසු සිසුවියන්, කථිකාචාර්යවරුන් සහ මෙතනට සම්බන්ධ සියලු දෙන දිවා රැ නොබලා වැඩ කරනවා. Ballet එකේ සිසු දරු දැරියන් එක දිගටම පුහුණුවීම් කටයුතු වල නිරත වෙනවා.මේ සදහා විශාල වශයෙන් මාධ්‍ය අනුග්‍රහය ලබා ගන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. මොකද මෙම පණිවිඩය ජනතාව තුලට රැගෙන යා යුතුම නිසා. ඒ සදහා පසුගිය මැයි මස  23 වන දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. එහිදී අපි අපේ පණිවිඩය ගෙන යනු ලැබුවා. ඊට අමතරව අපි ප්‍රවේශ පත්‍ර අලෙවිය, වෙනත් සංවිධාන කටයුතු සියල්ලටම එකට පෙළ ගැසී සම්බන්ධ වෙලා සිටිනවා.

09.Opera Ballet එක ගැන විස්තර සදහන් කරමු.

රාවණ, නොකී පුරාවත පැවැත්වෙන්නේ ජූනි මස 02වන දින සවස 6.30 ටනෙළුම් පොකුණ රඟහලේදී. විශේෂ ආරාධිත අමුත්තන් ලෙස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිලිබඳ ආමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමා, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා සහ භද්‍ර ජි ජයතිලක මහතා සහභාගී වෙනවා. ප්‍රවේශ පත්‍ර කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාල මන්දිරයෙන් (College House) ලබාගත හැකි.රුපියල් 500, 1000, 2000 සහ 5000 වශයෙන් ප්‍රවේශ පත්‍ර තිබෙනවා. මේ සදහා ඕනෑම කෙනෙකුට සහභාගී විය හැකි.

10.මේ event එකට බොහෝ පිරිසකගේ සහයෝගය ලැබෙනවා ඇති. ඒ ගැන විශේෂයෙන් මතක් කරමු.

මුලින්ම මේකට සම්බන්ධ වෙන cast එක මතක් කල යුතුයි. අපේ මේ දු දරුවන් එකම විදියට ballet එකට මහන්සි වෙනවා. ඒ නිසා විශේෂයෙන් cast එක මතක් කල යුතුයි. Ranara academy එකේ තනුජා බන්දුල මහත්මිය මතක් කල යුතුයි. ඇය තමයි මෙහි අධ්‍යක්‍ෂක සහ choreographer. ඒ වගේම Ranara academy එකේ අධ්‍යක්‍ෂකතුමාවත් මතක් කල යුතුයි. තිර පිටපත් රචනා කල භද්‍ර ජි ජයතිලක මැතිතුමා, අපේ කණ්ඩායම ඇතුළු කොළඹ විශ්ව විද්‍යාලයේ සහය දුන් සියලු දෙනාට ස්තුතිය පුද කර සිටිනවා. විශේෂයෙන් ඉතා ගෞරවයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්‍යය ලක්ෂ්මන් දිසානායක මහතාව සිහිපත් කල යුතුයි. මේ රාවණා නිර්මාණය මේ විදියට එළි දකිනවානම් ඒ එතුමා නිසා. දැවැන්ත ශක්තියක් ලෙස පිටුපසින් සිටින්නේ එතුමා. ඉතින් ඒක විශේෂයෙන් සදහන් කල යුතුයි. ඒ වගේම ලේඛකාධිකාරීතුමා සහ මුල්යාධිකාරීතුමියව මෙහිදී සිහිපත් කල යුතුයි.

11.අවසාන වශයෙන් රාවණ, නොකී පුරාවත ගැන කියන්න තියෙන්නේ මොනාද?

කියන්න තියන එකම දේ තමයි මේ තාක් කල් වාල්මිකී කියපු මතවාදය පිලි අරගෙන හිටිය අපි හැමෝම තවත් විදිහකින්, තවත් දෘෂ්ටි කෝණයකින් මේක දකින්න එන්න කියලා නිහතමානිව ආරාධනා කරනවා. නෙළුම් පොකුණට ඇවිත් මෙය නරඹන්න, එතොට ඔබට වෙනත් මානයකින් සැඟවුනු දෙයක් ගැන බලන්න පුළුවන් වෙයි. සමහරවිට මේක අනාගතයේ මොනයම් හෝ සොයා ගැනීමකට මඟ පෑදීමක් වෙන්නත් පුළුවන්. ඒ ගැන විශේෂ බලාපොරොත්තුවක් අපේ හිතේ තියනවා. ඒ වගේම අපි හිතන් ඉන්නවා මෙය පාසල් දරුවන් වෙත රැගෙන යන්න. මම හිතනවා අධාපන අමාත්‍යංශ නිලධාරීන් ඉතා සැලකිල්ලෙන් බැලිය යුතු දෙයක්. බලලා එය විෂය පද්ධතියට ඇතුලත් කල යුතුයි කියලා. අපේ ඉතිහාසය පටන් ගන්නේ මහාවංශයෙන් කියලයි අපි හිතන්නේ. මම හිතන්නේ එක අපෙන් වෙච්ච ලොකු වැරද්දක්. ඊට එහා අපිට ඓතිහාසික තොරතුරු තියනවා. නමුත් අපි එතනින් එහාට යන්නේ නෑ. ඉතින් මේක හොද අවස්ථාවක් ඒ පැත්තට යන්න.

රාවණ, නොකී පුරාවත

ශ්‍රී ලාංකිකයෙක් ලෙස අපගේ ඉතිහාසය නිවැරදිව දැනගැනීම එය ඉදිරි පරම්පරා වලට ගෙන යැමට අපට වගකීමක් තිබෙනවා. ඒ වගකීම ඉටු කරන්න, රාවණාගේ නුදුටු ලෝකය දකින්න එන්න. ඔබ සැමට Colombo Beacon වෙතින් ආරාධනා.

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

නෙත්මි දයාරත්න

විද්‍යා පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

About the author

කාවින්ද ලියනගේ

විද්‍යා පීඨය - අවසන් වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment