දැනුම

රැඩිකල් පත්තිනි

“මුළු හදින්ම මම ඇයට පෙම් කොට
අනාගත පෙම් සිහින මැව්වෙමි
මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට
අයිති වුණ හැටි බලා දුක් වෙමි”

නාරද දිසාසේකරයන් විසින් ගායනා කරන මෙම ගීතය විරහව උපරිම මට්ටමකට ගෙන ආ ගීතයකි. අංගොඩ මානසික රෝහලේ ප්‍රේමය නිසා තම ජීවිතය අඳුරු කරගත් බොහෝ රෝගීන්ගේ මුවග රැඳුණු ගීතයක් බවට ද මෙය පත්ව තිබූ බව කියැ වේ. මෙම ගීතයේ ඇති සංවේදීභාවය නිසාම මෙම ගීතය ප්‍රචාරණය කිරීම නවත්වන ලෙස එකල සමාජයෙන් කාරුණික ඉල්ලීමක් ද විය.

මේ 1950 දශකයේ කරළියට පැමිණි ගීතය කි. නමුත් එහි විරහව තවමත් ජීවමාන ය. ගීතය පැරණි වුව ත් එහි අර්ථය වර්තමානයේ ද සිදුවෙමින් පවති යි. මේ සූදානම එවැනිම වූ නවතම ගීතයක සුලමුල සොයා යාමට යි.

කිසියම් වරදක් වූ විට වරදකාර පාර්ශවයට දෝෂාරෝපණය එල්ල වීම සාමාන්‍ය පොදු ධර්මතාවය යි. ඔහු හෝ ඇය එම වරද සිදු කිරීමට හේතුව කුමක් වුව ත් එය එසේම ය. ප්‍රේමයේ දී ද එසේම ය. මතුපිටින් කෙතරම් සුන්දර වුව ත් යම් හෙයකින් දුම්රිය පීලි පනින්නේ නම් ඉන් සිදුවන බලපෑම අතිමහත් ය. සැකය, මුලා කිරීම, ප්‍රතික්ෂේප කිරීම ආදී නොයෙකුත් පීඩනයන්ට ලක්ව අවසානයේ ප්‍රේමයේ ශේෂයන් පමණක් ඉතිරිව සුසුම් ලන්නන් කොතෙකුත් අප දැක ඇත.

තරිඳු දම්සරගේ පද රචනයෙන්, සංගීත මුසුවෙන් හා ගායනයෙන් වර්ණවත් වූ රැඩිකල් පත්තිනී ගීතය ද එවැනිම වූ තම ප්‍රේමය ගිලිහුණු තරුණයෙකු විසින් එල්ල කරන දෝෂාරෝපණයක් රැගත් වෙනස්ම ආරයක ගීතයකි. මේ ඇරඹෙන්නේ එම ගීතයේ ගැඹුරට කිමිදෙමින් එහි අර්ථය මතු කර ගැනීමේ චාරිකාව යි.

“ජීවිතේ හොඳම කාර්තුවේ
මං ඉන්නේ දැන් දිගම තත්පරේ
මල් ලියකම් කර ඔප දැමූ ආදරේ
ඔබමයි හැඩි කළේ රැඩිකල් පත්තිනී”

ඕනෑම මිනිසෙකුගේ ජීවිතය උපතේ සිට මරණය දක්වා ගෙවී යන්නේ විවිධ කාල පරාසයන් ඔස්සේ ය. එම කාල පරාසයන් අතරින් වසන්ත කාලය ලෙස හඳුනාගත හැකි වන්නේ තරුණ කාලය යි. එම කාලයේ ඇති සුන්දරත්වය සැමදෙනාටම එක ලෙස බලපෑවේ නැතත් එය ඉතා දිගු තත්පරයක් ලෙස හැඟෙන්නේ බොහෝ අත්දැකීම් ජීවිතයට එකතු කරගන්නා මොහොත එම කාලය බැවිනි. ආදරයේ පිනි වැසි ජීවිතය තෙමාගෙන ඇද හැලීමට ආරම්භ වන්නේ ද මෙකල ය. තරුණයෙකු හා තරුණියක අතර ප්‍රේමයක් ඇති වීම ස්වභාවික කාරණය කි. එය ඉතා සුන්දර හැඟීම කි. නමුත් යම් හෙයකින් දෙදෙනාගෙන් එක් අයෙක් ඊට පිටුපෑවහොත් අගතියට පත් වන්නේ අවංක වූ පාර්ශවය යි.

“මල් ලියකම් කර ඔප දැමූ ආදරේ
ඔබමය හැඩි කළේ රැඩිකල් පත්තිනී”

ආදරයක් වර්ණවත් වී ඔපමට්ටම් වන්නේ එහි ඇති අව්‍යාජ වූ අවංක භාවය තුළිනි. මෙම ගීතයෙන් කියවෙන තරුණයා ද පවසන්නේ තමා, තම ප්‍රේමය හැඩ වැඩ දමා ඔප දැමීමට ගත් උත්සාහය යි. ඔහුගේ ප්‍රේමය අගනා බුරුත ලීයෙන් කැපූ කැටයමක් නම් එහි මල් ලියකම් යොදා හැඩ කිරීමට ඔහු ගත් වෙහෙස දන්නේ ඔහුම පමණි. නමුත් අවසානයේ දී එය හැඩිකර දැමූ වරදකාරිය වන්නේ ඔහුගේ පෙම්වතිය යි. ඔහු විසින් රැඩිකල් පත්තිනි ලෙස ඇයට දෝෂාරෝපණය එල්ල කරන්නේ එබැවිනි.

රැඩිකල් පත්තිනිය යනු කවුරුන් ද? ඔහු තම පෙම්වතියට ඒ ආකාරයට ආමන්ත්‍රණය කරන්නේ කුමන හේතුවක් නිසා ද? එවැනි ගැටලුවක් ඔබට මතු වනු නොඅනුමාන ය.

පත්තිනිය යනු, බොහෝ දෙනා දේවත්වයෙන් ගරු බුහුමන් දක්වන තැනැත්තියකි.  අද සමාජයේ ද කිසියම් කාන්තාවක් සත්‍ය වශයෙන්ම සමාජය තුළ ඉතා නිවැරදි පිළිවෙත් අනුගමනය කරමින් ආදර්ශවත් ලෙස ජීවත් වන්නේ නම් හෝ එසේත් නැතිනම් එසේ ජීවත් වන බවට අඟවන්නට උත්සාහ කරන අවස්ථාවල දී  “එයා හිතන් ඉන්නේ පත්තිනි අම්මා කියල ද දන්නේ නෑ…” මෙවැනි වදන් එල්ලවනු දැකගත හැකි ය. සැබැවින්ම මේ පත්තිනි මෑණියන් යනු කවුරුන් ද?

ඉතා සුන්දර ලඳක් වූ පත්තිනි දේවිය විවාහ වී සිටියේ පලග නම් තරුණයකු සමඟ ය. ඇය තම සැමියාට ඉතා පතිභක්තියෙන් යුතුව සැලකූ අතර මහත් සේ ආදරය කළා ය. නමුත් පලග නම් ඇයගේ සැමියාට අනියම් සම්බන්ධයක් තිබූ අතර ඔහු සූදු කෙළියට ද පුරුදු වූ තැනැත්තෙකි. මේ තත්ත්වයන් යටතේ මුදල් අගහිඟකම් හේතුවෙන් පත්තිනිය විසින් තම පා සළඹ සිය සැමියාට ලබා දුන්නේ එය විකුණා මුදල් ලබා ගැනීමට යි. නමුත් එය රැගෙන යන විට මදුරාපුර රාජ සේවකයින් විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ එය මදුරාපුර දේවියගේ පාසළඹ යැයි වරදවා වටහා ගැනීම තුළිනි. කෙසේ හෝ අවසානයේ ඔහුට මරණ දණ්ඩනය හිමි විය.

මෙම පුවත ආරංචි වූ පත්තිනි දේවිය තම සැමියාට නිරපරාදයේ මරණය හිමිකර දුන් සියල්ලන්ගෙන්ම පලි ගැනීමට තීරණය කළේ තම පතිභක්තිය නාමයෙනි. ඇය තම වම් පියයුර කඩා පඬිපුර පොළොවේ ගසමින් මුළු පඬිපුරයටම ශාප කළ බවත් ඉන් මුළු පඬිපුරම ගිනි ගත් බවත් ඉතිහාස කතාවල කියවෙයි.

එසේ නම් එවැනි පතිභක්තිය වෙනුවෙන් කැප වූ කාන්තාවක් මෙම ගීතයේ සඳහන් තරුණයා විසින් තම පෙම්වතියට සමාන කරන්නේ මන් ද? ඔහු එහි දී පවසන්නේ සාමාන්‍ය පත්තිනිය ගැන නොව රැඩිකල් පත්තිනියක් පිළිබඳව යි. සැබැවින්ම පත්තිනිය හා රැඩිකල් පත්තිනි අතර ඇති වෙනස කුමක්දැයි පැහැදිලි කරගත යුතු ය.

රැඩිකල් ‍යන වචනය අප කාටත් හුරු පුරුදු වචනය කි. කිසියම් විෂය ක්ෂේත්‍රයක් තුළ පවතින සමාජ මතයන්ට ප්‍රතිවිරුද්ධ හෝ ඊට පටහැනි මතයක් දරන්නේ නම් ඔහු හෝ ඇය රැඩිකල්වාදියෙකු ලෙස සලක යි. ඒ අනුව බලන විට පත්තිනිය මෙන් තම පතිවත රැකගත්තත් ඇයගේ ඇති ප්‍රතිවිරුද්ධ මතවාද ඔහුගේ මතයන් සමඟ ඝට්ටනය වීමක් සිදු වූ නිසා ඔහුගේ ප්‍රේමයට කණකොකා හැඬ වූ බවක් මෙහි දී අර්ථ ගන්ව යි.

සමහරුන් ප්‍රේමයට ද්‍රෝහී වන්නේ වෙනත් අනියම් සම්බන්ධතාවයන් තිබීම හේතුවෙනි. නමුත් මෙම ගීතයට අනුව ඔහු විසින් ඇයට රැඩිකල් පත්තිනිය යනුවෙන් ආමන්ත්‍රණය කිරීම තුළ ඇය විසින් වෙනත් හේතුවක් පාදක කොටගෙන ඔහුව ප්‍රතික්ෂේප කළ ස්වරූපයක් දැකිය හැකි ය. මන්දයත් පත්තිනිය කිසිවිටකත් පතිවත බිලි නොදුන් නිසා ය. ඇතැම්විට එය එම තරුණයාගේ වරදක් විය හැකි ය. එසේත් නැතිනම් දෙදෙනාගේම අදහස් වල ඇති වූ පරස්පර විරෝධීතාවයක් විය හැකි ය. කෙසේ වුව ත් ඔහු ගීතය පුරාවටම කියා සිටින්නේ ඔහුට ඉන් සිදු වූ බලපෑම පිළිබඳව යි.

“ගොළු මුහුදේ මළ බැඳි රසයෙන්
නැව් බඳ දිරුවේ නුඹගේ ජපයෙන්
වාලුක කතරේ රළු බිම් පත්ලේ
දිය හැංගුවේ නුඹගේ බලයෙන්”

අප කවුරුත් සත්සමුදුර යන වදන අසා ඇත. මෙම සත්සමුදුර යන වචනය තුළින් මුහුදු හතක් ගැන කියවෙයි. ධීවර කර්මාන්තයේ දී ධීවරයන් විසින් සත්සමුදුර යන වචන බහුලවම භාවිතා කරයි. එම මුහුදු හත නම් කහ මුහුද, කොළ මුහුද, නලමාලි මුහුද, රතු මුහුද, කළු මුහුද, සුදු මුහුද හා අවසාන වශයෙන් ගොළු මුහුද යි. මෙම ගොළු මුහුද එතරම් හඬක් නොනගන නිස්කලංක වූ ගැඹුරු මුහුදු කලාපය කි. මෙම ගොළු මුහුද තුළ හිම මිදෙන බව ද කියවෙයි.

ඒ අනුව මෙම ගීතයට අනුකූලව බලන විට මෙම තරුණයා විසින් තමාව සමාන කර ඇත්තේ නෞකාවකට ය. කෙතරම් බාධක පැමිණියත් නෞකාවක් තම ගමනාන්තය වෙත යෑමට දැඩි උත්සාහයක් දරයි.  නමුත් මෙම ගොළු මුහුද කෙතරම් නිහඬ වුව ත් කෙතරම් ගැඹුරු වුව ත් එහි මළ බැඳි රසය හෙවත් අධික ලවණතාවය සැඟවිය නොහැකිය. ඒ අනුව මෙම නැවේ බඳ කොටස දිරා ඇත්තේ මෙම ගොළු මුහුදේ ඇති අධික ලවණතාවය ත්, මුහුදු රළ වල පීඩනය හෙවත් ගීතයේ සඳහන් පරිදි ජප කිරීමෙනි. ඒ අනුව ඔහු මෙම ගොළු මුහුදට සමාන කර ඇත්තේ තම පෙම්වතිය යි.

වාලුකා කාන්තාරයේ වුව ද වසර ගණනාවකට පසු වර්ෂාව ඇද හැලෙයි. එහෙත් මෙම තරුණයා තම පෙම්වතියට චෝදනා එල්ල කරන්නේ එම ඇදහැළුණු වර්ෂාවේ දිය බිංදු හෙවත් තම ජීවිතයේ වසන්ත කාලය හංගා තමාව රළු බිමක් බවට පත් කළේ ඇය බවට යි.

“හදවත ගලවලා ගින්නෙහි අවුලලා
එය දැක හිනැහුණා රැඩිකල් පත්තිනී”

මෙම වචන තුළින් එම තරුණයාගේ සිතෙහි ඇය පිළිබඳව පවතින අසීමිත වූ වෛරයත් සමඟ මුසු වූ වේදනාව මනාව කියවෙයි. හදවතක් ගලවා ගැනීම පහසු නැත. ඒ අනුව මෙම තරුණයා  පවසා සිටින්නේ ඔහු විසින් මුළු හදවතින්ම ඇයට කළ ආදරය නොසලකා හරිමින් අවසානයේ එය ගිනි ගොඩක් බවට පත් කරමින් මුළුමනින්ම විනාශ කර දැමුවේ රැඩිකල් පත්තිනිය හෙවත් තම පෙම්වතිය බවයි.

“අටවක අහසේ සඳ වහගන්නට
මේ කුළු එව්වේ නුඹගේ හුස්මෙන්
හදවත කළු වී කඩතොලු වෙන්නට
මට දුම් එව්වේ නුඹගේ දෙතොලින්”

 අටවක පොහොය දිනයට චන්ද්‍රයාගේ දර්ශනය වන්නේ අඩක් පමණක් ය. එම නිසා ඉතා ඉක්මනින්ම වළාකුළු වලට වැසී යා හැකි ය. ඒ අනුව මෙම තරුණයාගේ ජීවිතය ද විවිධ බාධක තිබූ පරිපූර්ණ නොවූ තත්වයක තිබෙන්නට ඇත. ඔහුගේ පෙම්වතිය වෙතින් එල්ල වූ පීඩනය තුළින් එම අඩ සඳ ද වැසී ගොස් ඇත. එහි දී ද චෝදනාව මූලිකවම එල්ල වී ඇත්තේ එම තරුණිය වෙතට යි.

දුම් පානය කිරීමෙන් එහි අනිසි ප්‍රතිඵල සෘජුවම එල්ල වන්නේ පෙනහළු වලට යි. ඒ ඔස්සේ එය හදවතට ද බලපෑම් එල්ල කරයි. ඒ අනුව මෙම තරුණයාගේ හදවත අඳුරු පැතිකඩකට ඇද දමා හදවත පලුදු වීමට තරම් ප්‍රබල දුමාරයක් හෙවත් බලපෑමක් එල්ල කර ඇත්තේ මෙම රැඩිකල් පත්තිනිගේ දෙතොලෙනි. එනම් මෙහි දී මෙම තරුණයා තම පෙම්වතියව දකින්නේ ජීවිතයක් පවා විනාශ කළ හැකි දරුණු තැනැත්තියක් ලෙස ය.

“පේවී උන්නු ප්‍රේමේ ලේ ධාතුවේ
වස කවලම් කළේ රැඩිකල් පත්තිනී”

පිරිසිදු සිතුවිලි ඇතිව යම් කිසි ක්‍රියාවක් සිදු කරන විට එය සිදු කරන්නේ හදවතින්ම එයටම පෙවී ය. මෙම තරුණයා ද තම ලේවල නාමයෙන් කිසිදු කිලිටක් එක්වීමට ඉඩ නොතබාම තම ප්‍රේමය රැක ගැනීමට උත්සාහ ගෙන ඇති නමුත් අවසානයේ දී තම  පෙම්වතිය එයට වස කවලම් කර ඇති බව කියා සිටින්නේ ඉතා ශෝකයෙනි. එනම් තමා විසින් රැකගත් ප්‍රේමය අපවිත්‍ර කළ බව යි.

සැබැවින්ම ප්‍රේමයට මෙතරම් සැහැසි විය හැකි ද? ගීතය පුරාවටම තරුණයා විසින් තම පෙම්වතියට චෝදනා එල්ල කරන්නේ ඇයගේ දරුණු බව පිළිබඳව විවිධ වූ උපමාවන් මගිනි. ඒ කිසිදු අවස්ථාවක දී තමාගේ වරදක් ඔහු පෙන්වා දී නැත. මෙමගින් පැහැදිලි වන්නේ ඔහු ඉතා දරුණු ආකාරයෙන්ම තම හදවත බිඳ ගෙන ඇති ආකාරයයි. ඔහුගේ ජීවිතයේ හොඳම කාලය එම තරුණිය නිසා විනාශ වී ගොස් ඇති බව ඔහු විසින් කියා පාන්නේ වෙනස් ආකාරයකට ය. ඔහුට ඇයව පෙනෙන්නේ ඉතා දරුණු තැනැත්තියක් ලෙස පමණක්ම ය. අවසාන වශයෙන් පැවසීමට ඇත්තේ කඳුළුවල තෙතමනය හඳුනන්නේ වේදනාවෙන් බැට කෑ අයෙක් පමණක්ම ය. ඒ අනුව මෙම ගීතයේ දී ද වරදකරු කවුරුන් දැයි හඳුනන්නේ ද ඔහු හෝ ඇයගේ හෘද සාක්ෂිය පමණක්ම ය.

Design by : Pathum Lakshan

References :

Images :

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

කේතනී පූර්ණිමා

ශාස්ත්‍ර පීඨය - තෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment