දැනුම

රිටිගල කඳු පාමුල සිට මුදුනතට වරුවක්

විඩාබර මනසට විවේකයක්…
දෑසට නෙත්කළු දසුනක්…
සිත නවාතැන් සොයන්නේ…
හරිත තුරු ලතා – සිහින් දිය පහසක 
සිසිලස දවටා ගත්,
මඳ නළ…

සතියක විරාමයකින් අනතුරුව නැවතත් ඔබ හමුවට අලුත්ම ගමනාන්තයකින්…

Colombo Beacon අපි මෙවර රූ ධාරා ඔස්සේ මතකාවර්ජනය සඳහා වස්තුබීජය කර ගනුයේ පුරාවිද්‍යාත්මක වටිනාකමින් අනූන සුන්දර පරිසරයක්. ඓතිහාසික මෙන්ම පාරසරික වටිනාකම් රැසක් මෙන්ම, ජනප්‍රවාද රැසක් ද හිමි සුන්දර රිටිගල කන්ද ළඟයි අද ගමනාන්තය.

*******************************************************************

හබරණ – අනුරාධපුර මාර්ගයේ මරදන්කඩවල පසුකල විට ඔබට හමුවන්නේ ගලපිටගල ගම්මානය. එතැන් සිට මඳ දුරක් ගමන් කළ පසු රිටිගල කඳු පාමුලට ළඟා වෙන්න පුළුවන්. කඳු පාමුල වාහනය නවතා රිටිගල කන්ද නගින්නට පටන් ගැනීමට එහි යන ඔබට අවස්ථාව උදා වෙනවා.

https://bit.ly/33D5dW7

ඖෂධ කන්ද, කොඩිගල කන්ද, උණ කන්ද, ආඬියා කන්ද, පලතුරු කන්ද, අමරාපති කන්ද හා උල්පත්කන්ද ලෙසින් නම් ලත් කඳු හතක් පිරිවරා ගෙන රිටිගල යෝධයා අහස් කුස සිඹිනවා. රජරට හුදෙකලා කඳු අතරින් උසම කන්ද තමයි මේ රිටිගල කන්ද.

රිටිගල කන්ද පාමුල සිට පුරාවිද්‍යා කාර්යාලය පසුකර ඉහළට ගමන් කරන අපිට පළමුවෙන්ම හමුවෙන්නේ බන්දා පොකුණ, එහෙමත් නැත්නම් බැන්දා පොකුණ ලෙසින් විවිධ නම්වලින් හඳුන්වන විශාල පොකුණක්. ගල් පතුරු එකතු කර පඩිපෙළක් ආකාරයට තබා නිම කරන ලද මෙම පොකුණෙහි අද දක්නට ඇත්තේ එක් කොටසක් පමණක් වුවත් මෙම ගල් පොකුණ අක්කර 4 ක් පුරා විහිදි පැවති බව කියැවෙනවා. මෙය භික්ෂූන්  වහන්සේලාට පැන් පහසුව සඳහා යොදා ගන්නට ඇතැයි විශ්වාස කරන්නක්. ගල් පතුරු ආධාරයෙන් කන්දේ ඉහළ සිට පැමිණෙන ජලධාරා විශේෂ තාක්ෂණය ඔස්සේ මෙම පොකුණට එකතු කර ඇති බවට සාක්ෂි හමු වී තිබෙන බව සඳහන්. මල්වතු ඔයට ගලා බසින ජල ධාරා කිහිපයකම උපත වන්නේ මෙම කඳු මුදුනයි. වන වැස්ම ඊසාන දිග මෝසමින්‍ සාරවත් වන අතර නිරිතදිග මෝසමින් මෙහි බටහිර කොටස පෝෂණය ලබනවා.

බන්දා පොකුණ

බුදුදහම ලංකාවට පැමිණෙන්නේ දේවානම්පියතිස්ස රජු සමයේ දී යි. ලංකාවේ භික්ෂු ශාසනය අරිට්ඨ කුමරු පැවිදි වීමෙන් ආරම්භ වූ බවත්, අරිට්ඨ කුමරු පැවිදි විමෙන් පසු භාවනාව සඳහා රිටිගල කන්ද ආශ්‍රිත ප්‍රදේශය යොදාගෙන ඇති බවටත් මහාවංශයේ සඳහන් වෙනවා. මෙම කන්ද ආශ්‍රිතව පිහිටි මෙම ආරාම සංකීර්ණයේ රහත් භික්ෂූන් වහන්සේලා පන්සිය දෙනෙක් වැඩ සිටි බවට මහාවංශය හා චූලවංශය සාක්ෂි දරනවා. අරිට්ඨ කුමරු පැවිදි වීමෙන් පසු භාවනාව සඳහා යොදාගත් නිසාවෙන් එය අරිට්ඨ පබ්බත නමින් ද හඳුන්වන බව සඳහන්. මෙය ලක්දිව ඉදි වූ ප්‍රථම ආරාම සංකීර්ණය වීම ද සුවිශේෂී කරුණක්.

තවත් ඉදිරියට යද්දි අපිට දකින්න ලැබෙන්නේ සුවිශාල ගල් පතුරු, සමතල බිමක තබා ඇති ආකාරය. කෙටි බැමි ද ඒ වටේට පවතිනවා. මින් ගොඩනැගිල්ලක් පැවති බවට නටඹුන්‍ හමුවෙනවා. පළමු සේන රජු දවස පාංසුකූලික භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ඉදිකළ ආරාම සංකීර්ණය ලෙස මෙය හඳුන්වන්න පුළුවන් බව සඳහන්. සිදුකරන ලද පුරාවිද්‍යාත්මක ගවේෂණයන්ට අනුව මේ ආකාරයේ තවත් කුටි හා කටාරම් කෙටූ ගල් ලෙන් ද රිටිගල කන්ද පුරාම හමුව තිබෙනවා. පසු කලෙක සිදු වූ චෝල ආක්‍රමණ හේතුවෙන් අවාසනාවන්ත ලෙස මෙම ආරාම සංකීර්ණ විනාශයට පත් වෙනවා. ඒ නිසාවෙන් දැනට අපිට දකින්නච වෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සොයා ගෙන ඇති එහි නටඹුන් පමණයි.

පැතලි ගල් පතුරු යොදාගනිමින් නිමවා ඇති කඳු මුදුනට දිවෙන මාර්ගය ද ගල් වඩුවන්ගේ කදිම නිර්මාණක් ලෙස සලකනවා. ගල් පාලම් ද, පඩි පෙළවල් ද එම මාර්ගයේ දක්නට ලැබෙනවා. තව ද මෙහි නිර්මිත කවාකාර සමතලා කොටස් ගිමන්හල් ලෙසින් හඳුන්වනු ලබනවා. අපිට ඉදිරි ගමන් මගේ දී මෙවන් ගිමන්හල්  තුනක්ම දැක ගන්න පුළුවන්.

ගිමන්හල
ගල් පාලම

රිටිගල කන්ද තරණයේ දී ඊළඟට මුණ ගැසෙන නැවතුම්පළ තමයි ගිලන් වූ භික්ෂූන් වහන්සේලාට පහසුව සැලසූ උන් වහන්සේලාට බෙහෙත් කළ රෝහල. නැතහොත් ජන්ථාගාරය. දැනට සොයාගෙන ඇති පරිදි බෙහෙත් ඇඹරුම් ගල්, බෙහෙත් ඔරු,  තවද අඩි දෙකහමාරක් පමණ උසැති හතරැස් ගල් ටැංකි මෙහි දී දකින්නට හැකියි.

මෙම පරිසර පද්ධතියේ ඇති ශාක අතරින් 48%ක් පමණ ඉතා දුර්ලභ ඖෂධීය ශාක බව සොයා ගෙන තිබෙනවා.

ලංකාවේ දැඩි රක්ෂිත ලෙස නම් කරපු රක්ෂිත තුනක් පවතින අතර රිටිගල රක්ෂිතය කියන්නෙත් ඒ අතරින් එකක්. වියළි කලාපයේ දක්නට ලැබෙන වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර අතරින් මෙය ඉතා සුවිශේෂ ස්ථානයක් හිමිකර ගෙන තිබෙනවා. මෙහි දී වියළි කලාපයේ සිටින සෑම සත්ත්ව විශේෂයක්මත් මෙන්ම, ශාක විශේෂයක් ද දැක ගන්නට ලැබීම සුවිශේෂීතම ලක්ෂණයක්. විශේෂ දේශගුණික විපර්යාස නිසාම මෙහි පහත රට තෙත් කලාපයේ දක්නට ලැබෙන තෙත් කලාපීය ශාක ද වැඩී ඇති දැක ගත හැකියි.

අලින්, මුවන්, මීමින්නන්, ගෝනුන්  කැබැල්ලෑවන්, මුගටියන්, කුරුලු විශේෂ ගණනාවකට නවාතැන් සපයන මෙම රක්ෂිතය, සමනලුන්‍ විශේෂ ගණනාවකට ද නවාතැන් සපයන්නක්. රිටිගලටම ආවේණික වූ සුවිශේෂී සත්ත්ව විශේෂ ද මෙම රක්ෂිතයේ ජීවත් වෙනවා. මෑතක දී ඒ අතරට එක් වූ අලුත් සාමජිකයා වනුයේ රිටිගල සුදු හුණා නම් වූ හූනන් විශේෂයයි. 

ශාක විශේෂයන් අතර පළු, වීර, මිල්ල වැනි විශාල ශාක ද දක්නට ලැබෙනවා. තවද ආවේණික වූ ශාක ප්‍රභේද කිහිපයක් පර්යේෂකයන් විසින් හඳුනා ගෙන පවතිනවා. රිටිගලටම ආවේණික ශාක අතර වන මී ප්‍රධාන තැනක් ගන්නා අතර ම ගල්කප්පරවල්ලිය, තම්බිජියා හා උණ විශේෂ ඒ අතර පවතිනවා.

රිටිගල කන්දේ අපිට ගමන් කළ හැක්කේ සීමිත කොටසකට පමණයි. ඖෂධීය වටිනාකමක් මෙන්ම, දුර්ලභ ශාක ප්‍රජාවත්, විවිධත්වයේ අපූර්ව පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට අවැසි නිසාවෙනුයි එවැනි තීරණයක් ගෙන තිබෙන්නේ. එනිසාවෙන් මේ අගනා පරිසරයට කුඩා හෝ හානියක්වත් නොකිරීමට වග බලා ගැනීම අප සැමගේම අවධානය යොමු විය යුතුම කරුණක්.

රිටිගල රක්ෂිතය සිසාරා දුර්ලභ ඖෂධීය ශාක පැවතීම පිළිබඳව ද ගෙතුනු අපූරු ජනප්‍රවාදයක් පවතිනවා. එය ක්‍රිස්තු පූර්ව දාහකටත් පෙර දුරාතීතයේ ලියැවූවක්. එය එකල මෙරට රජ කළ රාවණා රජු සමය දක්වාම ඈතට දිව යනවා. 

දඹදිව රජ කළ රාම කුමරුගේ බිසව වූ  සීතා දේවිය එකල මෙරට රජු වූ රාවණා රජු විසින් මෙරටට රැගෙන එනවා. ඇය සෙවීමට හනුමන් නම් වානරයා සමගින් ලක්ෂ්මන් කුමරු ලක්දිවට එනවා. මෙහි දී මොවුන් ඇයව සඟවා ඇති ස්ථානය සොයා ගන්නවා. ලක්ෂ්මන් කුමරු මෙම ගමන අතරමගදී අනතුරක්ට ලක් වෙනවා. හනුමාන් සීතා කුමරිය පිළිබඳව රාමා කුමරුට දැනුම් දීමටත්, ලක්ෂ්මන් කුමරුට අවශ්‍ය ඖෂධ සෙවීමටත් ආයෙමත් දඹදිවට යනවා. රැගෙන ඒමට කියූ බෙහෙත් පැළෑටිය අමතක වී හනුමාන් දඹදිව ඖෂධ පැළෑටි ඇති හිමාල කන්දෙන් කොටසක් ද රැගෙන නැවත ලක්දිවට පැමිණෙනවා. අතරමග එන ගමනේ දී රිටිගල ද ඉන් කොටසක් තැන්පත් කරනවා. රූමස්සල, දොළුකන්ද ආශ්‍රිතව පවතින ඖෂධීය ශාකයන්ට බෙහෙවින් සමාන ශාක විශේෂ රිටිගල රක්ෂිතයේ ද පවතින බව සොයාගෙන තියෙනවා. රිටිගල ඇති ඖෂධීය ශාක පිළිබඳ ගෙතුනු ජනප්‍රවාදයයි එලෙසින් අදටත් ජනී ජනයාගේ විශ්වාසයේ රැඳී පවතිනවා.

රිටිගල කඳු තරණයේ තවත් ඉහලට යද්දි අපිට හමු වෙන්නේ පුස්තකාලයක්. එහෙමත් නැත්තම් පොත්ගුලක්. පිහිටි ගලෙහි සියුම් වෙනස්කම් සිදු කරමින් තමයි මෙම පොත්ගුල නිර්මාණය කරලා තියෙන්නේ. මනා දර්ශනීය වටපිටාවක, සිහින් දිය පහරවල්වල සිසිලස ගැබ්  වූ කදිම පරිසරයක තමයි මෙම නිර්මාණය සිදුකරලා තියෙන්නේ.

පුස්තකාලය

රිටිගල කන්ද හා සම්බන්ධ අතීතය සොයා බැලීමේ දී දැන ගත හැකියි, අවුරුදු 1500ක පමණ කාලයක් ශ්‍රී ලංකාවේ අගනුවර වූ අනුරාධපුර නගරයේ නිර්මාතෘ වූ පණ්ඩුකාභය රජතුමා හට කුඩා කළ සෙවණ දුන් භූමියක් ලෙස මෙම භූමිය සඳහන් වන බව. එසේම සොළීන්ගෙන් රට බේරා ගැනීම සඳහා රජවරුන් කිහිප දෙනෙකුගේම සේනා සංවිධානය වූ භූමියක් ලෙස ද මහා වංශයේ මෙම රිටිගල භූමිය සඳහන් කර පවතින බව.

රිටිගල කන්ද වටා ගෙතුනු ජනප්‍රවාදයන් අතර තවත් අපූර්ව ජනප්‍රවාදයක් තමයි මේ මහසෝනා ජනප්‍රවාදය. දුටුගැමුණු රාජ්‍ය සමයේ සිටි දස මහ යෝධයන් අතර සිටි ගෝඨයිම්බර හා රිටිගල අරක්ගත් ගෝත්‍රික සෙන්පතියෙකු වූ රිටිගල ජයසේන අතර ඇති වූ සටනේ දී ගෝඨයිම්බර යෝධයාගේ පහරකින් ජයසේනගේ හිස, කඳින් වෙන් වී යනවා. කළ යුත්තේ කුමක්දැයි සිතාගත නොහැකි වූ තැන සෙනසුරු විසින් කඳේ පණ ඇතිබව දැක, පණ රැක ගැනීමට කැළයේ සිටි වලසකුගේ හිස ජයසේනට සවි කළ බවත්, එය ඉදිරිපස හා පිටුපස මාරු කර සවි කළ බවත් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ගැමියන් අතර පවතින මහසෝනා යක්ෂයාගේ උපත් කතාවයි තමයි ඒ.

රිටිගල කියන්නෙ ඓතිහාසික මෙන්ම පාරිසරිකව ලක්දිව වැසියන්ට පවතින වටිනා උරුමයක්. එවන් වූ අපේ වටිනා උරුමයන් රැක ගැනීම ඔබ අප සැම සතු වගකීමක්.

ඉතින්… සිරි අසිරිය විඳ ගන්න යන හැමෝටම කියන්න තියෙන්නේ පා සටහනක්වත් නොතියා මතකයන් පමණක් රැගෙන එන්නට අමතක නොකරන්න කියන එක…

ජනප්‍රවාද, ඓතිහාසික වටිනාකම් මෙන්ම ඖෂධ වටිනාකමින් ද සපිරුණු අපූර්ව පරිසර පද්ධතියක් හිමි රිටිගල කන්දේ සැඟවුනු රසමුසු තැන් සොයා ගිය ගමන අදට මෙතැනින් නිමවන්නම්.

සොබාදම් මාතාවගේ දෑතින් නිම වූ…
ඇගේ විස්මයජනක මැවුම් සොයා…
ඉගිල ගිය මං මාවත් ඔස්සේ…
මතකාවර්ජනයන් කතා බහ කරන්න…
සුන්දරත්වය දෝරෙ ගලා යන,
මුතුධරණියේ සැඟවුනු සොබා ශ්‍රී සොයා යන්න…
අවසරයි මෙතෙකින්…
සතියක විරාමකට…

Resources :

  • මෑකි යන වන පෙත් – ඩග්ලස් බි රණසිංහ
  • https://bit.ly/3ofxhqn

Image Resources :

Design By Nisal Vimukthi

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

උදානි අදිකාරි

විද්‍යා පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment

1 Comment

%d bloggers like this: