ජීවිතය වාසනාව මත පදනම් වෙනවද, ඉරණම මත පදනම් වෙනවද එහෙමත් නැත්තම් උත්සාහය මත පදනම් වෙනවද කියන ප්‍රශ්නය හැම වෙලේම කතාබහට ලක්වෙන මාතෘකාවක්. කෙනෙක් එහෙමයි කියන දෙයක් තව කෙනෙක් නැහැයි කියනවා. වැඩ අතරමග කෑම පැයේදි, බස් එකේ සින්දුවක් අහන ගමන්, කෝච්චියේ ජනේලෙන් පෙනෙන මුහුද දිහා බලන්, විවිද මනෝ ලෝක වල සැරිසරන අපේ සිතුවිලි අතර ඒ සිතුවිල්ලටත් ඉඩකඩ වෙන්වෙන්නෙ විවිද ඇදුම් පැළදුමින් සැරසුනු, විවිද හැසිරීම් වලින් යුක්ත උදවිය අතරමගදී අපිට මුණගැහෙන හින්දයි.
විවිධාකාරයේ සිතුවිලි, එකිනෙකට වෙනස් ජීවිත අරමුණු ඇති පුද්ගලයින් දකින්නට ලැබෙන හොදම තැනක් තමයි දුම්රිය. එතැනදී මිනිස්සු එකීනෙකට වෙනස් වෙන්නේ ඇදුම් පැළදුමින්, makeup වලින් විතරක් නෙමෙයි. හැබැයි ඉතින් ඒවායින් නැතුවමත් නෙවෙයි. මොකෝ කියනවනම් උදේට campus එන්න කෝච්චියට නැග්ගම අමුතුවෙන් fashion shows වලට යන්න ඕනි නෑ. දැනට තියෙන latest fashion trends ඔක්කොම එක වහලක් යටින් ඉදන් free of charge නරඹන්න පුළුවන්. රටේ ලෝකේ නැති මල්, ගස්, මුල්, වැල්වල් වල සාරයෙන් සෑදු සියයට සියයක් ස්වභාවික perfumes, deodrants නාලා, football හිල් කරන්න පුළුවන් තරමට කෙලින් හිටින්න කොන්ඩේ කූරු හදලා, බඹ ගානක් උඩින් යන්න යටි පතුල් වලට ලී අඩි හයි කරන්, ටොකොස් ටොකොස් ගගා උජාරුවට ගියාට මොකෝ , ඔය සමහරක් බවලත් උදවිය හැරුනාම ඔය කට්ටියම හවස කෝච්චියේ එන්නේ උදේට බොන්න ඕනි කැඳ හවසට බීලා වගේ. එතකොට නම් ඉතින් අර ගස් මුල් වල සුවදවල් නැතිවුනාට කෝච්චිය පිරිලා තියෙන්නේ වැඩ ඇරිලා ගෙවල්වලට යන මිනිස්සුන්ගේ දාඩිය සුවදින්. Campus එකේදී එහෙමකට කියල වැඩක් කලේ නැති වුනාට lectures අහගෙන ඉදලම එපා වෙලා, ගෙදර ඇඳ පිලිබඳ වූ අව්‍යාජ ප්‍රේමයෙන් යුතුව කෝච්චියට නගින මටත් ඉතින් ඔය theory එක ඔහෝම්මම අදාලයි.
කෝච්චිවල ගමන් බිමන් යන මගීන් හැරුනාම කෝච්චි නිසාම ජීවිතේ ගැටගහගන්න මිනිස්සු අතරේ වෙළෙන්දෝ, අනුන්ට අතපාලා කීයක් හරි හොයාගන්න මිනිස්සු වගේම අනුන්ගේ අත් වල තියෙන දේවල් බලෙන් අරන් යන මිනිස්සුත් ඉන්නවා. අර කවුදෝ සුද්දෙක් ඇවිත් කිව්වලු ලංකාවේ කෝච්චිවල යන්න කලින් මාරු කාසි පසුම්බියක් ළඟ තියාගෙන යන්න ඕනි කියල. ඔය අතරේ නැතිබැරි කම පැත්තකින් තියලා තමන්ගේ බඩ කට පුරෝගන්නම තමන්ගේ ලෙඩදුක්, තමන්ගේ ළමයින්ගේ ලෙඩදුක් වගේම ළදරුවන්ගේ ළමාකම පවා market කරන අයවලුත් මුණගැහෙනවා. ඕකට මං දැකපු හොදම උදාහරණයක් තමයි උදේට එක අම්මා කෙනෙක් වඩාගෙන යන ළමයව හවසට වෙන අම්මෙක් වඩන් යනවා. අනුකම්පාව දිනාගන්න කියල බේරේ වැවෙන් හෝදලා අරන් වගේ ඇඳුම් අන්දවලා අර සෙනග මැද්දේ, “අනේ කරුණාවන්ත නෝනා මහත්තයා අතේ මිටේ කීයක් හරි තියනවනම් කීයක් හරි දීලා යන්න පින් සිද්ද වෙයි” කිය කිය යනකොට අර දරුවා ගැන තියෙන අනුකම්පාව යට කරගෙන මතුවෙන්නේ අර අම්ම ගැන පුදුම අමනාපයක්. අඩු ගානේ ඒ ළමයටවත් පිරිසිදු ඇදුමක් අන්දවන්න තිබුනනේ!
මෙහෙම දුම්රියේ අනුනට අතපාන මිනිස්සු අතරේ couples පිටින් ගේමට බහින කට්ටියත් ඉන්නවා. සාමාන්‍යයෙන් ඉතින් වයසට ගිය තමන්ගේ මනුස්සයව ඉස්සරහට දාල පිටිපස්සෙන් ගෑනු කෙනෙක් සල්ලි එකතු කරන් එනවා. මේ අය ගොඩක් එන්නේ සෙනග අඩු කෝච්චි වල තමයි.මොකෝ office time කෝච්චියකට නැග්ගොත් එදාට එකතු කරන් යන්න වෙන්නේ සල්ලි නෙමේ මිනිස්සුන්ගේ රැවිලි ගෙරවිලි. දවසක් මං ආපු කෝච්චියේත් මෙහෙම couple එකක් ආවා. හැබැයි මෙයාලා වැරදිලා හරි නැගල තියෙන්නේ office time කෝච්චියකට. කියන්න ඕනි නැනේ ඉතින්.. මෙයාලගේ අපිරිසිදුකමට පින්සිද්දවෙන්න මිනිස්සු ඇගේ ගැවෙන්න අකමැති කම නොවේනම් නියපොත්තක් වත් ගහන්න ඉඩ නැති full packed කෝච්චි පෙට්ටිය ඇතුලේ එක දොරක් ගාව ඉදන් අනික් දොර ගාවට යන එකත් අර මොකාද මන්ද මොකද්ද සිදුරකින් අහස බලනවා වගේ වැඩක්. කොහොම කොහොම හරි පෙට්ටිය මැද්දෙන් ගියා කියමුකෝ. පස්සේ මේ දෙන්නටම වැඩේ තේරිලා ඊට පස්සේ එන station එකකින් බැස්සා. බැහැල අර බවලත් උන්නැහේ අර මනුස්සයට හොදටෝම දෙහි කපනවා.” තමුසේ මොළේ කලඳක් නැති මහ බූරු මිනිහෙක් ඕයි. තමුසෙට තේරෙන්නේ නැද්ද මේකේ ඇඟිල්ලක් ගහන්නවත් ඉඩක් නැහැයි කියල. ඉතින් මිනිස්සු සල්ලි දෙයියැ..ඒකවත් තේරෙන්නේ නැති පොල් බුරුවෙක්.” කිය කිය මේ බනින්නේ අර කෝච්චියේ ඉන්න මිනිස්සු ඉස්සරහමයි. අර මනුස්සයත් ඔලුව නවාගෙන අහන් හිටියා.ඒ අම්මණ්ඩිට අර වාරියපොළ කුමාරිහාමිත් එක්ක දුරින් නෑකමක් වත් තියෙනවද දන්නෑ.
ඒ කොහොම වුනත් ඇත්තම නැති බැරිකම් තියෙන උදවියත් කෝච්චි පෙට්ටි වලට නගිනවා. වයසක අම්මලා එහෙම අපි වගේ අයට අත පානකොට නම් ඉතින් ඒ අයගේ ළමයි ගැන ගොඩක් දේවල් හිතෙනවා. ඒ වගේම කරන්න දෙයක් නැති කමටම කෝච්චියේ වෙලදාම් කරන අයත් මුණගැහෙනවා. දවසක් කපුරු බෝල විකුනන්න කෝච්චියට නැග්ග කෙනෙක් කඩ්ඩෙනුත් වැඩ පෙන්නලයි ගියේ. එයාගේ අම්මා අසනීපෙන්ලු. බෙහෙත් ගන්න විදියක් නැතුව මේ වෙළදාම කරනවා කියලයි කිව්වේ.
මේ අතරේ ලස්සනට සින්දු කියල සල්ලි එකතු කරන අයත් ඉන්නවා. ඉන් සමහර උදවියට නම් තියෙන්නේ පුදුම හැකියාවක්. සින්දු කියන්න විතරක් නෙමේ. කෝච්චි පෙට්ටියේ ඉන්න විවිද වයස් පරතර තියෙන හැම කෙනෙක්ටම රස විඳින්න පුළුවන් වෙන විදියට සින්දු තෝරගන්නත් මෙයාල දක්ෂයි. ගොඩාක් පරණ සින්දු එක දෙකක් එක්ක දැන් කාලේ කොල්ලෝ අඬන සින්දුවකුත් කිව්වම ඉතින් කවුරු කවුරුත් කීයක් හරි දෙන්න අමතක කරන්නේ නැහැ. පොඩ්ඩක් සෙනග අඩු කෝච්චියක එන්න ලැබුනාම හම්බුවෙන තවත් කෙනෙක්, සින්දු කියනවා විතරක් නෙමෙයි ඔර්ගන් එකක් play කරලා buffels දාල හයියෙන් සංගීතෙත් සපයනවා. එයාලත් ඉතින් තාක්ෂණය එක්ක ඉදිරියට යන්න එපැයි. ඒ අයට අවස්ථාවන් හම්බුවෙනවානම් ඇත්තටම යමක් කරන්න පුලුවන් කියලයි මට නම් හිතෙන්නේ. තාක්ෂණය ගැන කතා කරනකොට මතක් වුනේ,
දවසක් මේ කෝච්චියකට නැග්ග මනුස්සයෙක් ඉතින් සුපුරුදු විදියට ඉන්න අයව ආමන්ත්‍රණය කරලා සින්දුවක් කියන්න ගත්තා. මං මෙතන සින්දුවක් ‘කියනවා’ කියන එකෙන් අදහස් කලේ ගායනා කරනවා කියන එක නම් නෙවෙයි. ඉතාම ශ්‍රැති අලංකරණ සහිතව (මෙලෝ රහක් නැතුව) සින්දුව පටන් ගත්තා. කෙනෙක්ගේ දුර්වලකම් සමච්චලයට ලක් කරන එක නම් වැරදියි තමයි. ඒ වුනත් මෙයාගේ එක විශේෂත්වයක් තිබුනා.ඒ තමයි කෝච්චියේ සද්දේ මැද්දේ තමන්ගේ කට හඬ යටපත් නොවෙන්න මෙයා පොඩි fm microphone එකක් අතේ තියාගෙන තමයි සින්දුව පටන් ගත්තේ. Mike එක නම් ඒ රාජකාරිය අකුරටම ඉෂ්ට කළා. එහෙම ඉටු කරපු හන්දම අහල පහල හිටපු මිනිස්සුත් කවදාවත් නොවුණු ආකාරයට yani ගේ symphony එකකට කන් දුන්න වගේ කුල්මත් වෙලා ඒ මනුස්සයගෙන් පුළුවන් තරම් ඈත් වෙන්න try කළා. හැමදාමත් වගේ අහක යන තොප්පි වැටෙන්නෙත් මගේ ඔලුවටම හින්දා මේ මනුස්සයත් තමාගේ සුමිහිරි ගී නාදය පතුරුවන්න තීරණය කලේ මගේ එහා පැත්තේ හිටගෙනමයි. අර තදබද වුනු කෝච්චි පෙට්ටිය ඇතුලේ එහාට වෙන්නත් තැනක් නැතුව මාත් ඒ සවන් පිනවන ගී නාදයට කන් දුන්නා. හැබැයි මං ඒ මනුස්සයව නම් එදායින් පස්සේ ආයේ දැක්කේ නෑ.

සමාජය මගින් රස්තියාදුකාරයා (එහෙම කිව්වට ඉතින් හරිම වචනේ රස්තියාදුකාරයා නෙවෙයි) කියන කෙනාට අන්දවපු ඇදුමක් තියනවා. ආරෝපණය කරපු හැසිරීමක් තියෙනවා. කෙනෙක්ව දැක්ක ගමන් පොඩි එකෙක් වුනත් ඒ මනුස්සයා දිහා අමුතු විදියට බලන්නේ ඒ නිසයි. මේ කියන හැසිරීමෙන් යුක්ත කෙනෙක් එක දවසක් මං ඉඳපු පෙට්ටියටත් නැග්ගා. ඔහුගේ තිබුණු බාහිර පෙනුම හින්දම මිනිස්සු බැලුවේ අමුතු විදියට. ඒක එයාට තදින් වැදෙන්න ඇති. එහෙමත් නැත්තම් වෙන මොකක් හරි හේතුවකට හරි මුළු පෙටියටම ඇහෙන්න තමන්ගේ ජීවිත කතාව කියන්න ගත්තා. සල්ලි එකතු කරන්න නෙමෙයි. කොච්චි පෙට්ටියේ පඩියක් උඩ ඉඳගෙන තමයි මෙහෙම කෑගහන්නේ.
“ මාත් ……. කොල්ලෙක් තමයි මහත්තයෝ මෙහෙම හිටියට.” එහෙම කිව්වේ කොළඹ ලොකු පිරිමි පාසලක නමක් කියලා. “මොන කරන්නද කරුමේ තමයි. කරුමේ!! කරුමේ!!”. ඉස්කෝලේ මිස් කෙනෙක්ට මොකක් හරි වැරදි දෙයක් කියලා තමයි ඉස්කෝලෙන් එලියට දාල තියෙන්නේ.”දැන් ඉතින් හොරකම් කරනවා. මාල කඩනවා.වෙන මොනාද කරන්නේ.. අදත් කරනවා. හෙටත් කරනවා.. මේ කරුම ජීවිතේ ජීවත් කරවන්න! මටත් ඉස්සර ලස්සන හීන තිබුනා.ලොකු ලොකු ගෙවල් වල ඉන්න.. මහත්තයල වගේ ජීවත් වෙන්න…. වැඩක් නෑ කතා කරලා…”
හ්ම්ම්… අධ්‍යාපනයේ කොතැනක හරි හිඩැසක් තියෙනවා කියල ඔය සමහර අය කියන්නේ මේ වගේ අවස්ථා ගැන වෙන්න ඇති. පාසලේ ගුරුවරියකට අපහාස කලාම ඉතින් අස් කරනවා ඇරෙන්න ඉතින් වෙන මොනා කරන්නද? නමුත් ඒ වගේ හැලෙන සිසු සිසුවියන්ට යන කලදසාවක් නැහැ නේද? හරි ඉතින් ඒ ගොල්ලන්ට යන්න ඕනි පැති පෙන්නලා දෙන්න හරි කවුරු හරි ඉන්න එපැයි.මේ විදියට රේල්ලුවෙන් කොළඹට එනකොට යනකොට විවිද දේ දකින්න ලැබෙනවා. මිනිස්සුන්ගේ හොඳ වගේම නරකත්.
සෙනඟ උතුරන කෝච්චිවල යන්න ගියාම කාන්තාවන්ට ගරු කරමු කියල හැම තැනම ගහල තිබුනට සමහරුන් ගැන ගොඩක් කලකිරෙන තැනුත් තියෙනවා. ඒ වගේම මනුස්සකම දෝරෙ ගලන මිනිස්සුන්වත් හම්බුවෙන අවස්ථා තියෙනවා. සමහර අත්දැකීම් ජීවිතේට හොඳ පාඩම් කියලා දෙනවා. ලියන්න නම් තව ගොඩක් දේවල් තියෙනවා. ඒත් මෙතනින් නවතින්නම්. කෝච්චිවල යනකොට ඔයාල මුහුණ දුන්නු අත්දැකීමුත් ලියන්න අපිට. මං එහෙනම් ගිහින් එන්නම්!!!
හැමෝටම සුබ අනාගතයක් හිටං!!!
Leave a Comment