ක්‍රීඩා

ලකඹර රනින් අභිසෙස් ගැන්වූ සිංහයෙක්

“ලෝක වාර්තාවකට තියෙන්නේ තව මීටර් 2.5 වගේ, 2020 ටෝකියෝ පැරාඔලිම්පික් උළෙලේ දී ශ්‍රී ලංකාව රන් පදක්කමින් සැරසීම තමයි මගේ එකම අභිප්‍රාය” මේ… මීට වසර කිහිපයකට පෙර ඔහුගෙ ඉලක්කය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු සැබෑම විරුවෙකි.

අද මුළු රටක් ලෝකයක්ම කතා කරන  “දිනේෂ් ප්‍රියන්ත” කියන්නේ කවුද? අද අප කතා කරන්නේ ඔහු ගැනයි.

අනුරාධපුර කැකිරාව ප්‍රදේශයේ දී 1984 උපත ලබා ඇති මොහු, කාගම ධාතුසේන මහ විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා, 2004 වර්ෂයේ දී යුධ හමුදාවට බැඳී ඇත. එකල අප රට රුදුරු ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට හසුව තිබූ කාල පරිච්ඡේදයයි. ඉතින්, 2008 වසරේ දී කිලිනොච්චිය ප්‍රදේශයේ මානුෂීය මෙහෙයුමේ දී, සතුරාගෙ වෙඩි උණ්ඩයක් වැදී අවුරුදු 4කට ආසන්න කාලයක් හමුදා රෝහලේ ප්‍රතිකාර ලබා ඇත.

තමාට සිදු වූ ආබාධය ජීවිතයේ හැරවුම් ලක්ෂය බවට පත් කරගත් මොහු 2012 වසරේ දී ක්‍රීඩාවට සම්බන්ධ වන්නේ සිය දෛවයට අභියෝග කරමිනි. මොහු උත්සාහවන්ත මෙන්ම ධෛර්යය සම්පන්න සැබෑම ලාංකේය පුත්‍රයෙක්.

“අබාධිත වුනාට පස්සෙ තමයි ක්‍රීඩාව පටන් ගත්තේ… හරි අමාරු වුනා, අපහසුතාවට පත් වුනා, දක්ෂතාවයන් ඉස්මතු කරගන්න විශාල කැපකිරීමක් කරන්න වුනා කියලා, ඒවා කරලා තමයි අද මම මෙතැනට ආවේ…” කියා එක්තරා අවස්ථාවක දී ඔහු තම ගමන් මග පිළිබඳව වචන ගැලපූයේ එලෙසය. 

අත පය හතර හොඳට තියෙන අද සමාජයේ ගොඩාක් අය ගත්තම මොහු සැබැවින්ම ආදර්ශමත් චරිතයක්. අබාධිත වෙලත් මොහු, මේ සා විශාල ජයග්‍රහණයක් අත් කර දුන්නා නම්, අබාධිත නොවුනා නම්?…

ශ්‍රී ලංකා ඉතිහාසයටම දිනාගත් ඔලිම්පික් පදක්කම් දෙකකි. පැරාඔලිම්පික් පදක්කම් දෙකක් දිනාගත් ක්‍රීඩකයෙක් ලංකාවට ඉන්නේ එක් අයෙකු පමණි. ඒ අන්කවරෙකුවත් නොව අපේ කථානායක “දිනේෂ් ප්‍රියන්ත” නම් විරුවායි. ඔහු අවුරුදු 05ක් ඇතුළත සිය දෙවැනි ඔලිම්පික් පදක්කමත් දිනාගත් ඒ අතිදක්ෂ ක්‍රීඩකයෙකි.

2016 රියෝ පැරාඔලිම්පික් උළලේදී F46 හෙල්ල විසි කිරීමේ තරග ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගත් අවස්ථාවේ මොහු පවසනු ලැබුවේ…  “රටේ ජාතික කොඩිය ඔලිම්පික් උළෙලක දී එසැවෙනවිට ඇත්තටම මට කඳුළු ඉනුවා, සතුට දරාගන්න බැරිව. ඒ සතුට කියලා නිම කරන්න බෑ ඇත්තටම…” කියලා. මේ වදන කියවද්දි ඇසෙද්දි පවා අපට අපේ ලංකා මාතාව ගැන ඇති වන ආඩම්බරය අතිමහත් නම්, ඔහුට එදා කෙතරම් සතුටක් ලැබෙන්න ඇත්ද? එතකොට අද සතුට ගැන අටුවා ටීකා කුමටද?

2016 ජයග්‍රහණයෙන් නොනැවතෙන ඔහු,
2016 – 2019 අඛණ්ඩව, ලෝක ශූරතා පැරා මළල ක්‍රීඩා උළෙල වලදී…  හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමත්, 2016 – 2019 අඛණ්ඩව ආසියානු පැරා මළල ක්‍රීඩා උළෙල වලදී හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කමත් දිනාගන්නේ ශ්‍රී ලංකා නාමය තව තවත් ඉහළට ඔසවා තබමිනි.

F46 කාණ්ඩයෙන් තරගයට අවතීර්ණ වූ මොහු පළමු උත්සාහයේ දී 62.5m දුරක් වාර්තා කළ අතර, දෙවැනි උත්සාහයේ දී 62.19m ක දුරක් වාර්තා කළේය. නමුදු තෙවැනි උත්සාහයේ දී ලෝක වාර්තා බිඳ හෙළමින් 67.79m ක් දුරක් වාර්තා කිරීමට සමත් වූයේය. මීට පෙර එම ඉසව්වේ ලෝක වාර්තාව ලෙස දැක්වුනේ 63.97m ක් ලෙසයි.

ඒ සමඟින් ඔහු තරගයේ වැඩි ආධිපත්‍යයක් තමා සතු කරගත් අතර, සිව්වැනි උත්සාහයේ දී ඔහු වාර්තා කළ දුර වූයේ 62.06m ක්.

ඔහුගේ පස්වැනි උත්සාහය නීති විරෝධී උත්සාහයක් වූ අතර, ඔහු සයවැනි අවස්ථාවක් ලබා ගැනීමෙන් වැළකී සිටියේය.

ඒ අනුව සම්පූර්ණ වට හය අවසානයේ දී 67.79m ක දුරක් වාර්තා කරමින් ලක් මව රනින් සරසන්නට අපේ වීරයා සමත් වූයේය.

දක්ෂ ක්‍රීඩයෙක්ට අමතරව මෙතුමා හිටපු යුධ හමුදා විරුවෙක්. ඉතින් අද මේ ජයග්‍රහණය ලබා ගන්න යුධ හමුදාවෙන් ලැබුණ සහයෝගයද එතුමා මතකයට නගා තිබුනේ මෙලෙසිනි. 

“2012 පටන් 2017 දක්වා මට අවශ්‍ය සහයෝගය උපරිමෙන් ලබා දෙන්නේ යුධ හමුදාව. 2017 මම යුධ හමුදාවෙන් විශ්‍රාම ලැබීමෙන් පසුව මට අවශ්‍ය සහයෝගය උපරිම වශයෙන් ලබා දුන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය.” 

එසේම මේ ගමන මෙතෙක් දුර එන්නට ඔහුට නොමද ධෛර්යය දුන් සියල්ලෝම ඔහු මතකයට නගා තිබුනේ මෙලෙසිනි.

“මගේ බිරිඳ දරු දෙදෙනා මේ අවස්ථාවේ දී මා විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ගොඩාක් වෙලාවට මම ගෙදර යන්නේ සති දෙකකට තුනකට පාරක්, ඒකත් සති අන්තයේ. එයාලා එක්ක කාලෙ ගත කරන්න තිබ්බ අවස්ථාව අඩුයි එතකොට. ඒ වගේම මාව උස් මහත් කළ මගේ අම්මා ගැනත් මම මතක් කරන්න ඕනේ. ජාතික පැරාඔලිම්පික් කමිටුව, ක්‍රීඩා අමාත්‍යාංශය, මගේ පුහුණු කරු වන ප්‍රදීප් නිශාන්ත මහතාද මේ අවස්ථාවේ ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඔවුන් නිසා තමයි මට මේ සා දුරක් ඉදිරියට එන්න පුලුවන් වුනේ.”

ඉතින් විකාර බහු බූත වල එල්බගෙන සිටින සුවහසක් අය ඉන්නා අද මේ රටේ මොහු වැනි තරුවක් අප ලක් දෙරණටම අභිමානයකි. මේ ලෙසටම අපේ ලක්මව බබළවන්නට ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියා Colombo Beacon අපි සුභාශිංසන ගෙන එන්නෙමු.

Design By – Bimal Naveen

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

කෝකිලා සනෝජි

විද්‍යා පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment