පරණ කාමරයක කැඩුණු බිඳුණු ලට්ට ලොට්ට ගොඩක් මැද්දෙන් ඔබට පුළුවන්ද ජීවිතේට අරමුණක් හොයාගන්න, එහෙම ලැබෙන අරමුණක් පසුපස හඹා යන්න, අවසානයේ උරුම ප්‍රේමය හොයාගන්න. මායාවක්ද, ෆැන්ටසියක්ද කියලා හිතාගන්න බැරි තරමට අතරමං වෙලා මායාවක්, ෆැන්ටසියක් නොව, ඇත්තටම ලට්ට ලොට්ට මැද්දෙන් ටෙසා ජීවිතේ හොයාගත්තා. මේක ටෙසා එක්ක අමුතු සෙල්ලමක් කරන චාර්ලිගෙ කතාවයි.
භාරතීය සිනමාව තුළ මලයාලම් සිනමාවට හිමිවන්නෙ අද්විතීය ස්ථානයකි. එයට හේතුව ප්‍රේක්ෂකයාගේ මනසේ සියුම් ස්ථාන මනාව ග්‍රහණය කරමින් හැඟීම් සමඟ ගනුදෙනු කිරීමයි. සුන්දර වූ කේරළය වටා ගෙතෙන එක් ෆැන්ටසියක් සැබෑවත් අතර සිනමා කෘතියක් ලෙස “චාර්ලි” ප්‍රේක්ෂකයාගේ අතරට පැමිණෙන්නේ ඒකාකාරී සිනමා රටාවෙන් වෙන් වූ ප්‍රධානම අපගමනයක් ලෙසයි.
පුරා පැය 2 ක් සහ විනාඩි 15 ක් තත්පර 32 ක් පුරා දිවෙන මෙම සිනමා කෘතිය මලයාලම් සිනමාවට පෙම් බඳින ප්‍රේක්ෂකයෙක් කිසි ලෙසක තමන්ගේ නෙත් බැල්මෙන් මිදීමට ඉඩ නොදී රසවිඳින සිනමා පටයකි.
සාම්ප්‍රදායික ආරම්භයක් වෙනුවට මෙහි ඇරඹුමේ ම ප්‍රේක්ෂකයාගේ නෙතට හසු වන්නේ වෙනස්ම දසුනකි. තම සහෝදරයාගේ විවාහයට අවසාන මොහොතේ එන සහෝදරියකි. විශාල ගමන් මල්ලක් ඔසවාගෙන වෙනස්ම ඇඳුමකින් සැරසුණ, මුහුණට වඩා විශාල උපැස් යුවලක් පැළඳගෙන එන තරුණියකි. මෙලෙස ඇරඹෙන සිනමාපටය තුළ ප්‍රේක්ෂකයාට ඇති වන්නේ හාස්‍ය මුසු හැගීමකි. එලෙස ඇරඹෙන කතාංගය තුළ ගෙවෙන ඉදිරි විනාඩි කිහිපය සැබැවින්ම තීරණාත්මක කඩඉමක ඇරඹුමක් වීම විශේෂත්වයකි.
එකවර ප්‍රේක්ෂකයාගේ නෙතට හසුවන්නේ සුන්දර මලයාලම් සාම්ප්‍රදායික ඇඳුමකින් සැරසුණ හඳට යන්න තරම් විශාල ගමන් මළු ඔසවාගෙන යන තරුණියකි. ඒ වගේම තමන්ගෙ විවාහයට දින නියම වූ අවස්ථාවේම ගෙදරින් පැන එන තරුණියකි. කිසිවෙකුත් නොදන්නා පළාතක නොදන්නා මිනිසුන් අතර ඇවිද යන ඇය, එක්වරම මහා මාර්ගයේ ස්කූටරයකින් ගමන් කරන පුද්ගලයෙකුට අතින් කතා කොට තමන්ට ගමන් පහසුව ලබාගන්න ආකාරයි.
එසේ ඇරඹෙන කතා මාලාවේ අවසානයේ ඇය නවාතැන් ගන්නේ කැඩුණු බිඳුණු බඩු බාහිරාදිය පිරුණු පුංචි කාමරයක් තුළ, ඇය නමින් “ටෙසා” විය. සාම්ප්‍රදායික තරුණියක් නොවී තමන්ගේ නිදහස සොයාගෙන කැදැල්ලෙන් ඉගිලී ගිය පුංචි කිරිල්ලියකි. ඇය මෙහි කතා නායිකාව වේ. සුපුරුදු සිනමා රිද්මයෙන් මිදී ගෙවෙන මෙම සිනමාපටය තුළ තවමත් කතා නායකයෙකු නොමැතිව ගෙවෙන මුල් විනාඩි 20 පමණ කාලයයි.
එසේ ඇරඹි සිනමාපටය තුළ තවමත් මෙහි සැබෑ ආරම්භය හෝ කතා නායකයා, නැතිනම් මෙහි නම යෙදුනු අයුරුවත් ප්‍රේක්ෂකයාට සිතා ගැනීමට නොහැකිව අතරමං කරවීම විශේෂත්වයකි.
උස්මාන්ගෙන් ඉල්ලාගත් නවාතැනෙහි ටෙසාට දැන්නෙන්නේ අමුතුම ආකාරයේ එනම්, හොල්මන් සමඟ ජීවත් වෙන්න වුණා වගේ හැඟීමකි. කාමරය තුළ ඇති ලට්ට ලොට්ට ගොඩ අතරින් ටෙසාට හමුවෙන්නේ අමුතුම ආකාරයේ භාණ්ඩ කිහිපයකි. මතක සටහන් විදියට තමන් එක්ක එදිනෙදා මුණගැහුණු මිනිස්සුන්ගෙ මතකසටහන් පිරුණු චිත්‍ර කතා පොතක්, ඒ වගේම ඒ පොතේ අයිතිකරු වූ චාර්ලිගෙ චායාරූපයකි. මේ කිසිම දේකින් ටෙසාට චාර්ලි කවුද කියා ප්‍රතිරූපයක් මවා ගැනීමට හැකියාවක් නැති වුණත්, එක් තීරණාත්මක දුරකථන සංවාදයකින් ටෙසාගේ ජීවිතේ අරමුණ බවට චාර්ලි පත් වෙයි. ඒ චාර්ලිගෙ දුරකථන ඇමතුමෙනි.
චාර්ලි: “ටෙසා, මම ඔය කාමරයේ ජීවත් වෙලා ඉන්නකම් ඔය දේවල් මං එක්ක තිබුණා. දැන් ඒ හැමදේම ඔයා එක්ක තියෙයි.”
ටෙසා කලාකාරිනියක් ලෙස වෙනත් කලාකරුවන්ගේ දේවල් වලට ඉතාම අකමැති චරිතයක් වුවත් චාර්ලිගේ දේවල් හඹා යන්න ඇයට ඇති වෙන්නේ නොනිමි අශාවකි. එතැන් පටන් ආරම්භ වන කතා මාලාව සැබැවින්ම මායාවක් කියා පැවසීම වඩාත්ම උචිත වේ. කාටුන් රූප පිරුණු පොතේ උරුමකරු ලෙස සඳහන් වන චාර්ලි සැබැවින් ජීවත්වන චරිතයක් ද නැතිනම් මායාවක් පමණක් ද යන්නවත් නොදන්න ටෙසා, අරමුණක් නොවූ ජීවිතයේ අරමුණ බවට චාර්ලිව සොයා යෑමට පටන් ගැනීමෙන් ඇරඹෙන චාර්ලිගේ මායාව මෙය නරඹන ඔබත් මාත් සොඳුරු ලොවක් තුළ අතරමං කරනවා නොඅනුමාන ය.
නමුත් සියුම්ව මෙම සිනමාපටය තුළ ජීවත් වූ ප්‍රේක්ෂකයෙක් නම් ඔබට සිහිවන එක් කරුණක් නම් ටෙසාගේ ජීවිතයට චාර්ලි අරමුණක් වූ පළමු වතාව මෙය නොව, දෙවන වතාව බවයි.
චාර්ලිගේ ජීවිත කතාව තුළ සිදු වු සිදුවීම් හඹායන ටෙසාට මුණගැහෙන මිනිසුන් විවිධාකාරයි. වක්‍රාකාරයෙන් චාර්ලිගේ ජීවිත කතාව ටෙසා හරහා ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒමට මෙහි නිර්මාණකරු තුළ වූ හැකියාව අද්විතීය වේ. ටෙසාට මුණගැහෙන චාර්ලිගේ ජීවිතයේ තීරණාත්මක චරිත ලෙස සුරා (හොරා), මාති (ධීවරයා), කානි, කුජ්ජප්පන්, තෙරේසා හැඳින්විය හැකියි. චාර්ලිගේ ජීවිත කතාව හොයාගෙන යන ටෙසාට හැමතැනකම ලැබෙන්නේ අසම්පූර්ණ කතාවකි. ටෙසා මේ අසම්පූර්ණ කතාව හිමි පුද්ගලයාට නිහඬව ආදරය කිරීමට පෙළඹෙයි. අසම්පූර්ණ කතා අතර කිසිවිටක අවසානයක් නොදකින ටෙසා, අවසානයේ චාර්ලිගේ තාත්තා හොයාගෙන යාමට පෙළඹෙන අතර එහි ද ටෙසාට ලැබෙන්නේ අසම්පූර්ණ කතාවකි.
චාර්ලි එන යන වෙලාවක්, ඉන්න තැනක් ඔහුගේ පියාවත් නොදැන සිටීම නිසා ටෙසාට චාර්ලි කියන්නෙ මිරිඟුවක් විතරක්ම වෙන්න යන බව ප්‍රේක්ෂකයාගේ සිත තුළට එඹෙන්නට පටන් ගනියි. නමුත් එක්තරා තීරණාත්මක මොහොතක, ටෙසාට චාර්ලිගේ තාත්තාගෙන් දුරකථන ඇමතුමක් පැමිණෙයි.
“චාර්ලි ඇවිත් ඉන්නෙ. දැන් එන්න.” යැයි පවසයි.
කෙසේ වුවත්, ඒ අවස්ථාව ටෙසාට මගහැරෙයි. ප්‍රේක්ෂයාට පැමිණිය හැකි එක් නිගමයක් ලෙස, ඒ මොහොතේ චාර්ලි ටෙසාව බලාපොරොත්තුවෙන් සිටි බවයි. චාර්ලිගේ තාත්තා ඒ වනවිට ත් ටෙසා ගැන චාර්ලිට කියා තිබු බැවිණි.
නමුත් නොසිතුව මොහොතක ඇති වන ආරවුල නිසා ඒ අවස්ථාව මගහැරී යාමත්, ඒ හරහා සිනමාපටයේ රසවින්දය උච්චතම අවස්ථාවට ගෙන ඒමට නිර්මාණකරු ගත් උත්සාහය සාර්ථක වූ බව හැඟී යන කරුණකි.
තවත් මොහොතක ටෙසාට චාර්ලි මගහැරීම නොවූවත්, චාර්ලි උවමනාවෙන් ටෙසාව මගහැරීමක් සිදුකරයි. ඒ වාහනේ පස්සෙන් ටෙසා දුවගෙන යන රූපරාමුවයි. ටෙසා ඇවිත් ඔලුව දාන මොහොතේම චාර්ලිගේ මුහුණෙහි තිබ්බ ඉරියව් වලින් එය මනාව ප්‍රේක්ෂකයන් අතරට ගෙන ඒමට හැකියාව ලැබී තිබෙයි.
එය තත්පර දශම ගණනක වගේ පුංචිම කොටසක් වුණත්, චාර්ලි හොඳින්ම ටෙසාව දකියි. දකින පලවෙනි මොහොතෙම ගොඩාක් පුදුම වෙන්නේත් නැති, හැබැයි හිතේ තිබ්බ උපකල්පනය හරි ගියා වගේ හැඟීමක් ඒ මුහුණ මත ඇඳෙයි. තමන් හොයපු, පතපු තමන්ගෙ හිතේ රැඳුණු රූපය ටෙසා බවට ස්ථීර නිගමනයට එළඹීමත් සමඟයි. චාර්ලිගේ හිතේ ඇඳුනු ඒ රූපයට උරුමය කියන්නෙත්, තමා පසුපස හඹා එන කෙල්ලත් එක් අයෙකු බවත්, ඊළඟ අවස්ථාවේ චාර්ලිගෙ තාත්තාට පැමිණෙන දුරකථන ඇමතුමෙන් මුලු කතාවම මොහොතකට උඩුයටිකුරු කරන්න හැකියාවක් ලැබීම විශේෂත්වයකි.
“චාර්ලි: මේක නෙවෙයි නියම වෙලාව මුණගැහෙන්න, ඒ කෙල්ලට නියම වෙලාව එනකම් ඉන්න කියන්න.”
නමුත් ඔබට කුතුහලයක් ඇතිවනවා ඇති චාර්ලි ටෙසාව නොදැක අඳුරගන්නෙ කෙසේද? නිර්මාණකරුගේ අසහාය හැකියාව මත එය තීරණය කිරීමට ඔබට මෙම සිනමාපටයේ අවසානය තෙක් රැඳීමට සිදුවෙයි.
චාර්ලිගේ ත් ටෙසාගේ ත් ජීවිතයේ තීරණාත්මක චරිතය ලෙස ප්‍රේක්ෂකයාගේ අතරට පැමිණෙන කානි, ඇගේ චරිතය හරහා ඉටුවන කාර්යය නිසාම තීරණයක් ගැනීමට පසුබටවන චාර්ලිගේ සිතට එක් තීරණයකට එළඹීමට අවස්ථාව උදා කර දී ඇත.
චාර්ලිගේ ජීවිතයට කානි එන්නේ හරි අපූරු ලෙසයි. සියදිවි නසාගන්න යන කානිගේ ජීවිතය බේරගන්න චාර්ලි සමත් වෙයි. ඒ මොහොතෙහි ඇතිවන දෙබස මුළු සිනමාපටයේම අර්ථය එක තැනකට ගොනුකිරීමක් ලෙස දැක්විය හැකිය.
“චාර්ලි: කානි, ඔයා ජීවිතේ එක වතාවක් හරි ඔරායන් දැකල තියනව ද? කොහොමත් ඔයා මැරෙන්න යන්නේ. අර බලන්න ඒක නියමයි.
ඒ වගේම ඔයා හිම වැටෙනව දැකල තියනවද? ඔයා මැජික් හතු දැකල තියනවද? ඉතින් ඒවගෙන් එකක් වත් නොදැක ඇයි ඔච්චර හදිස්සි එහාට යන්න?
පරවෙලා යන්න ගිය කානිගේ ජීවිතේට අලුත් අරමුණක් දෙන්න චාර්ලිට පුළුවන් වුණා වගේම චාර්ලිගේ ජීවිතේ අරමුණට යන්න කානි පාර නිර්මාණය කරයි. නමුත් ඔබට සිතෙන්නට පුළුවන් කානිගේ සිත තුළ චාර්ලි වෙනුවෙන් ප්‍රේමයක් ඉපදුනා ද යන්න. එය හුදෙක් ගෞරවය මුසු ප්‍රේමය අතරමැද හැඟීමක් බව ඔබට හැඟීයනු ඇත. කානිගේ ජීවිතයට එළිය ගෙන ආ ඔරායන් බවට චාර්ලි පත්වීම එයට හේතුව ලෙස ගත හැකිය. අවසානයේ චාර්ලි හොයාගෙන එන ටෙසා නවතින්නේ කඳුකරයේ ඇති මහලු නිවාසයක් තුළ යි. එහි දී කානිව මුණගැහෙන ඇයට අසන්නට වෙන්නෙ පුරුදු අසම්පූර්ණ කතාවමයි.
නමුත් අතරමං වුණ ටෙසාගේ ජීවිතේ තරුව වෙන්න කානිට අවස්ථාව ලැබෙයි. එක මොහොතක ටෙසා කානිගෙන් මෙසේ අසයි.
“ඇත්තටම ඔයාට චාර්ලි නැතිව පාලු ද?”
ඒ වෙලාවෙ කානිගෙ පිළිතුර,
“චාර්ලිව කවදාවත් නොදැකපු ඔයාත් මෙච්චර දුර එයා හොයාගෙන ආවනේ.”
ටෙසාගේ ප්‍රශ්නයට කානිගෙ උත්තරේ නොගැළපුනත් ඒ සමඟ ප්‍රේක්ෂකයන් අතරට එන පණිවිඩය නම් අයිතියක් නොකියාම ප්‍රේමයක් ඉපදීමට මෙන්ම එය දරා ගැනීමටත් හැකියාවක් ඇති බවයි. සිනමාපටය තුළ වඩාත්ම සංවේදී චරිතය ලෙස කානිගේ චරිතය හැඳින්විය හැකියි.
ඒ අතර චාර්ලිගේ හිතට බලපෑම් කරන අනෙක් චරිත ලෙස, මහළු නිවාසයේ දිවි ගෙවන මුලු ජීවිත කාලයම තමන්ගෙ ආදරය හමුවෙන්න උත්සාහ කළ කූන්ජප්පන්, තේරේසා වැනි චරිත දැක්විය හැකිය. තමන්ගේ ආදරය බලාපොරොත්තුවෙන් දිවි ගෙවන කුජ්ජප්පන්, තෙරේසා වැනි චරිත මැද්දට කානි වගේ අතරමැදියෙක් ආවා නම්, වියපත් වන තුරුම ගෙවුණු ඔවුන්ගේ ඒ කාලය මීට වඩා සුන්දර වෙන්න තිබුණා නොවේද?
ඒ පැනය චාර්ලිගේ තීරණයට බලපෑමක් එක් කිරීමට ඒ මොහොතෙ සමත් වෙයි.
කානි චර්ලිගෙන් මෙසේ අසයි.
“ඔයා ආදරේ කරන්න බය ද? නැත්නම් ඇයි ඔයා මේ විදිහට තමන්ව බලාපොරොත්තු වෙන කෙනෙක්ව මුලා කරන්නේ?”
චාර්ලිගේ පිළිතුර,
“මට උණ හැදුන වෙලාවට හිතෙනවා කෙල්ලෙක් ළඟ හිටිය නම් කියලා. මොකද එතකොට මට උණ බෝ කරන්න පුළුවන් තව කෙනෙක්ට.”
මේ උත්තරේ එක්ක කානිගෙ මුහුණ වෙනස් වෙද්දිම, චාර්ලි අහනවා,
“මම කාවවත් මුලා කරලා නෑ. අනික කවුද එහෙම මාව බලාපොරොත්තු වෙන්නේ?”
“කානි: වෙන කවුරුත් නෙවෙයි ටෙසා… ඔයා දන්නවද? එයා මෙහෙටත් ආවා ඔයාව හොයාගෙන…!”
ඒ මොහොතේ සැබවින්ම චාර්ලි පුදුම වෙයි.
“චාර්ලි: මොනවා, කවද්ද මෙහෙ ආවේ? ඔව්, මම ටෙසාව දන්නවා. මාව හොයනවා කියලත් දන්නවා.”
මේ හැමදේම දැනගෙනත් චාර්ලිට තියෙන ලොකුම ප්‍රශ්නෙ ඔහු ගෙවන ජීවිතේට, ඇය කැමති වෙයි ද? යන්නයි. තවත් කෙනෙක් ජීවිතයට එකතු කරගන්න එක වගේම තමන්ගෙ හැසිරීම් රටාවට ගැලපෙනව ද කියන ප්‍රශ්නය. තමගෙ නිදහස් සැහැල්ලු ජීවිතයට ආදරය කියන්නෙ ලොකු බරකි. ඔහු ආදරයට බිය වනවා සේම කුලෑටිගතියක් දක්වයි. නමුත් එක් අවස්ථාවක් ටෙසාට ලබා දෙන්න තීරණය කරන චාර්ලි පවසන්නෙත් අමුතුම කතාවකි.
“ටෙසා ට කියන්න ශාත්‍රි උත්සවයට ඇවිත් පුළුවන් නම් මාව හොයාගන්න කියලා.”
නැවතත් ටෙසාට වෙන්නෙ අසම්පූර්ණ කතාවක් සම්පූර්ණ කරන්න උත්සහ කරන්නයි. නොනවතින ටෙසා අවසානයේ චාර්ලි සොයාගන්න එය අවස්ථාවක් කරගනියි.
සිනමාපටය පුරාවටම චාර්ලි ටෙසා සමඟ කරන්නෙ අමුතුම හැංගිමුත්තම් සෙල්ලමකි. චාර්ලි හැමතැනකම ටෙසාට පේන මානෙ රැඳිලා එකපාරටම අතුරුදහන් වූ නමුත් චාර්ලිගේ කතාව ඇතුළෙ නියම ඇස්බැන්දුම වෙන්නේ අවසාන විනාඩි 15 ක 20 ක කාලය තුළයි.
දහස්ගානක් මිනිස්සු එන උත්සවයට ටෙසාත් අනිවාර්යයෙන් එයි කියන විශ්වාසෙන් ඉන්න චාර්ලිට ඒ තමන්ගෙ හිතේ ඇඳුන රූපය එක මොහොතකින් සියළු දෙනාම මැදින් අඳුනාගන්න පුළුවන් වෙයි. ටෙසාට තමන්ව හඳුන්වා දුන්න මොහොතේ ටෙසා චාර්ලිට තමන්ව හඳුන්වලා දෙන්නේ වෙන නාමයකිනි. ඒ මොහොතේ චාර්ලි තමන්ගෙම සෙල්ලම ඇතුලෙ අතරමං වෙයි. ඒ මොහොතෙහි චාර්ලි නැවතත් ටෙසාගෙන් මෙලෙස අසයි.
“ඇත්තටම ඔයා නේද ටෙසා?”
ඒත් ටෙසා ආයෙමත් කියන්නෙ නෑ කියලා. ඒ වෙලාවෙ චාර්ලි මෙසේ පවසයි.
“කමක් නෑ. ආයෙ දවසක අපි මුණගැහෙයි ද නොගැහෙයි ද නොදන්න නිසා ෆොටෝ එකක් ගමු කියලා.”
ඉතින් ඔතන තමයි මුළු සිනමාපටයේම නියම මැජික් එක වෙන තැන. මේ අවසානය තමයි ප්‍රේක්ෂකයාගේ සිත මොහොතකට නැවත ආරම්භයට ගෙන යන තැන. ඒ පින්තූරය දකින කෙනෙක්ට නැවතත් කාලය හරහා ගියා හා සමාන හැඟීමක් ඇති වෙයි. ඒ පින්තුරයේ තියෙන්නෙ උත්සවයේ චාර්ලි හා ටෙසා ගත් චායාරූපයක් වෙනුවට ටෙසා ගෙදරින් ආව මොහොතෙහි ඇඳන් සිටි ඇඳුම පිටින් චාර්ලි එක්ක ඉන්න චායාරුවකි. මොහොතකට ඔබට ආපසු ආරම්භය සිහි වේවි. ඒ ටෙසා ස්කූටරයකින් නවාතැනට එන මොහොත. ටෙසා අරමුණක් නැතුව එලියට බැස්සත් ටෙසාගෙ ජීවිතය අරමුණට රැගෙන යන්න මුල් අඩිතාලම චාර්ලි බවට ඔබට ඒ මොහොතෙහි තේරුම් ගත හැකිය.
එක් දිනයක උදෑසන තමන්ගේ පුරුදු ඇඳුමෙන් ස්කූටරයට නැගිලා පැළයක් අරගෙන යන චාර්ලිට දකින්න ලැබෙන්නේ සාම්ප්‍රදායික මලයාලම් ඇඳුමකින් සැරසුන විශාල ගමන් මළු ටිකක් ගත්, සාමාන්‍ය සෙරෙප්පු දෙකකුත් දාගෙන ගෙදරින් පැනලා යන තරුණියකි. පාර කොණක සිට වාහනයක් නවත්වා ගන්න මේ කෙල්ල ගන්න උත්සහය දකින චාර්ලි තමන්ගෙ ස්කූටරෙන් ඒ තරුණියව නවාතැනට අරගෙන යන්න ඉදිරිපත් වෙයි. ගෙවාගෙන යන මුළු දුර ප්‍රමාණය පුරාම චාර්ලිගෙ හිතේ ඇඳෙන්න ඇත්තේ මේ තරුණියගේ නිදහස් රූපය හා හැසිරීමයි. ඉතින් නොදැනීම චාර්ලි ප්‍රේම කරන්න පටන් ගත්තා වෙන්න පුළුවනි.
නමුත් නමක් ගමක් නොදන්න කෙල්ලෙක් චාර්ලි හොයාගෙන යන්නෙ කොහොමද? එසේ අවසන් වෙන්න තිබූ කතාවෙහි ඇරඹුමත් එයම බවට පත්වන්නේ චාර්ලිගේ තාවකාලික නවාතැනේ ටෙසා නවාතැන් ගැනීම සමඟයි. ඉතින් එතැන් පටන් චාර්ලි කරන සෙල්ලම ඇතුළේ සැබැවින් ඔහු සොයන්නේ තමන්ගෙ ජීවිතයට ටෙසා ගැළපෙනවා ද යන්නයි.
නැවතත් අවසාන විනාඩි 10 තුළට ගියහොත්, ටෙසා චාර්ලිගෙන් මෙසේ අසයි.
“කවුද ඇත්තටම ඔයා ඔය කියන ටෙසා? ඔයාව මගහැරලා ගිය ආදරේ ද?”
ඒ වෙලාවෙ චාර්ලිගෙ උත්තරේ ඇතුළෙ තියෙන්නෙ වෙනස්ම කතාවකි.
“නෑ. එයා මගේ හිතේ ඉන්න රූපයක්. එක්තරා නිෂ්ඵල උත්සාහයක්.”
ඕනෑම පුද්ගලයෙක්ගෙ සිතක ඇඳුනු රූපයක් ඇත. මෙහෙයි කියලා කියන්න බැරි වුව ද ජීවිතේ බෙදාගන්න තෝරා ගත් රූපයක්. චාර්ලි කියන විදියට ඒ රූපය හිතළුවක් පමණක් විය හැකිය. අවසානයේ ෆොටෝ එක ටෙසාට දී චාර්ලි යන්න හදන අවස්ථාවේ ඔහුගේ මූණෙහි හැඟීම් සුපුරුදු විනෝදකාමී බව වෙනුවට ගැඹුරු, බලාපොරොත්තු කඩ වීමක ස්වරූපයක් ගනියි. ඒ අවස්ථාවේ ටෙසා අවසාන තීරණයට එළඹෙයි. තමන්ගෙ ජීවිතයට ගැළපෙන තමන් වගේම ජීවියෙක් ඉන්නවා නම් ඒ චාර්ලි බව ඇය සිත ගනියි. කවදාවත් නොදැකපු පුද්ගලෙයක් පසුපස හඹායන ටෙසා අවසානයේ නවතින්නේ තමන්ගෙ ජීවිතයට ගැළපෙන සහකරු සොයාගෙනයි. අරමුණක් නොතිබුණු ජීවිතයට අරමුණ චාර්ලි බවට පත්කරගන්න ටෙසා අවසානයේ මිනිස්සු දහස් ගානක් අතරින් චාර්ලිව සොයා ගනියි. එක එල්ලේ ටෙසා චාර්ලි දෙස බලන් ඉන්න ඒ වෙලාවෙ,
” චාර්ලි: ශෘත්‍රි උත්සවය…”
” ටෙසා: නෑ … ටෙසා…
නමුත් ඒ මොහොතේ චාර්ලිගෙ මුහුණේ හැගීම්,
“ඔව් මම කලින්ම දැනගෙන හිටියා.”
ඒත් ටෙසාගෙ මුවින්ම එය අසාගන්න සිටිය බවක් පෙන්නුම් කරයි.
” චාර්ලි: හායි… මම චාර්ලි”
” ටෙසා: හායි …මම ටෙසා”
මේ ආකාරයට පුරා පැය දෙකකට අධික කාලයක් ගෙවෙන මෙම සිනමාපටයේ චාර්ලී නම් චරිතය වටා ගෙවෙන අපූර්වත්වය ප්‍රේක්ෂකයාගේ දෑස ඉදිරියේ සිත්තම් කරන්නේ දුල්කර් සල්මාන් (Dulquer Salmaan) විසිනි. චාර්ලිගේ සැහැල්ලු බව, මිනිසුන් පිලිබඳ දක්වන ආකල්පය මනාව රඟ දක්වමින් ඔහු චාර්ලිගේ චරිතයට උපරිම සාධාරණත්වය ඉටු කර ඇත. ඒ වෙනුවෙන් ඔහු කේරළ ප්‍රාන්ත චිත්‍රපට සම්මාන උළෙලේ දී හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය.
ටෙසාගේ චරිතයට පණ පොවන පාර්වතී ( Parvathy) කිසිවිටෙකත් එය හුදෙක් රඟපෑමක් බවට ප්‍රේක්ෂකයාට දැනෙන්නට නොදී චරිතය තුළ ජීවත් වීමට සමත් විය. මෙහි දැක් වූ කුසලතාවය නිසාම ඇය හොඳම නිළිය සම්මානය හිමිකර ගැනීමට සමත්විය. සිනමාපටයේ උච්චතම අවස්ථාව ලෙස ටෙසාගේ හා චාර්ලිගෙ හමුවීම දැක්විය හැකිය සිනමාපටය පුරාවට අනෙක් සියළු චරිත ද මනාව මෙහෙයවමින් කළ මාර්ටින් ප්‍රක්කට්ගේ ( Martin Prakkat) අධ්‍යක්ෂණය සේම, ප්‍රක්කට්(Prakkat) සහ උන්නි ආර්ගේ(Unni R), චාර්ලි පිටපත තුළ තිබූ මනා සබඳතාවය, කුතුහලය නිසාම ප්‍රේක්ෂකයා ද ටෙසා සමඟම චාර්ලි ලුහු බැඳීමට පෙළඹ වීය. සුන්දර කේරළයේ මනරම් දර්ශන යොදාගනිමින් ජෝමන් ටී ජෝන්ගේ ( Jomon T. John ) විශිෂ්ඨ කැමරාකරණය මෙන්ම ගෝපි සුන්දර්ගේ ( Gopi Sundar) අද්විතීය සංගීතය සමඟ ඉදිරියට ඇදෙන සිනමාපටය අතිසාර්ථක විය.
සිනමාපටය පුරාවට ඔබට ගීත 8ක් රසවිඳීමට හැකිය. ගීත 8 න් 6 ක රචනය රෆීඩ් අහ්මඩ් (Rafeeq Ahammed) විසින් සිදුකර ඇත. ගීත ගායන විජේ ප්‍රකාශ් (Vijay Prakash) විසින් සිදු කරයි.
මෙහි නිෂ්පාදනය Martin Prakkat, Joju George සහ Shebin Becker විසින් සිදුකරන ලදී. චිත්‍රපටිය නිකුත් වුයේ 2015 දෙසැම්බර් 24 වෙනිදා ය. මෙහි ගූගල් පරිශීලක දර්ශකයේ IMDb අගය 8/10 ලෙස සටහන් විය. මෙය 46 වැනි කේරළ ප්‍රාන්ත චිත්‍රපට සම්මාන උළෙලේ දී හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම කැමරාකරණය ඇතුළුව සම්මාන 8 ක් දිනා ගැනීමට සමත් විය. මෙය මරාති භාෂාවට සහ දෙමළ භාෂාවට පිළිවෙලින් දේවා (2017) සහ මාරා (2021) ලෙස නැවත ප්‍රතිනිර්මාණය සිදු විය.
“Charlie කියන නමේ තේරුම නිදහස් කුරුල්ලෙක්. ඉතින් මේ සිනමාපටය රසවිඳින මොහොතේ පටන් අවසාන මොහොත දක්වාම ඔබටත් නිදහස් කුරුල්ලෙක්ගෙ හැඟීමක් විඳගන්න පුළුවන්. ඒකාකාරී ජීවන රටාවෙන් මිදී ස්වභාදහම එක්ක ගනුදෙනු කරන්න, මායාවක් අතරෙ ජීවිතය ගෙවන්න කැමති ඔබ රසවිඳිය යුතුම සිනමාපටයක් ලෙස මෙය දැක්විය හැකිය.”
ලට්ට ලොට්ට පිරුණ කාමරයක් මැද්දෙන් ජීවිතේ හොයාගන්න දඟලන මායාවක් ද සැබෑවක් ද නොදැන චාර්ලි පස්සෙ යන ටෙසා වගේම පරිත්‍යාගයන් අතර ප්‍රේමය නොකියා ඉන්න කානි, අවුරුදු ගණනක් ප්‍රේමයක් පරිස්සම් කරගෙන බලන් ඉන්න කුජ්ජප්පන්, තෙරේසා වගේම නිදහස් සංචාරකයෙක් වෙලා ජීවිතේ ගෙවන චාර්ලි… මේ හැමෝගෙම කතා අතර ඔබත් මොහොතකට අතරමං වෙන්න.
දෛවයේ හිමිවීම් අහිමිවීම් විඳගන්න. ඒ වෙනුවෙන් හෝරා දෙකක මිනිත්තු කීපයක කැපකිරීම ඔබව වෙනස්ම ලොවකට රැගෙන යනවා නොඅනුමානයි.
Design by : Pathum Lakshan
References :
Images :
Leave a Comment