සාමාන්‍ය

ලාංකීය සිනමාව වර්ණවත් කළ සොඳුරු සිනහව

තාත්වික රංගන කෞශල්‍යයෙන් හෙබි ලාංකීය ටෙලි නාට්‍ය හා සිනමාවේ නොමැකෙන සටහනක් තැබූ සුන්දර කලාකාරිනිය ඇයයි.

හෝ ගානා පොකුණ, කන්‍යාවී, තාරකා මල්, කරුමක්කාරයෝ, සුපර්ණා, දස්කොන් වැනි ලාංකේය සිනමාවේ අග්‍රගණ්‍ය නිර්මාණයන් සිය අසහාය රංගන හැකියාවෙන් ඔපවත් කළ නිළි රැජින ඇයයි.

රිදී තිරයේ පමණක් නොව පුංචි තිරයේද විටෙක මවගේ චරිතය, මිත්තණියගේ චරිතය මෙන්ම හාමු නෝනාගේ චරිතය ද අප හමුවට ගෙන ආ ආදරණීය ගැහැණිය ඇයයි. ශ්‍රී ලාංකේය රසික හදවත් දයාර්ද්‍රව වැළඳගත් ඒ සෞම්‍ය සිනහවේ හිමිකාරිනිය,    

        ‘හයසින්ත් විජේරත්න මහත්මිය’

 ප්‍රේක්ෂක ජනතාවගේ සිත්වල යළි කිසිදු දිනක පිරවිය නොහැකි හිඩැසක් ඇතිකරවමින් දිවි ගමන නිමා කළ බව අපි සංවේගයෙන් යුතුව දැනුම් දෙන්නෙමු.

මිය යන විට 75 වන වියෙහි පසු වූ ඇය පිළිබඳ Colombo Beacon අපි තබන සටහනකි මෙය…

හයසින්ත් විජේරත්න වන ඇය දරුවන් සිව්දෙනෙකුගෙන් යුක්ත පවුලේ අනෙකුත් සහෝදර සහෝදරියන්ට අතරමැදිව තම ජීවන ගමන ආරම්භ කළාය. මූලික අධ්‍යාපනය මෝදර ජේම්ස් දේවස්ථානයෙන් හදාරනු ලැබූ ඇය ද්වීතියික අධ්‍යාපන කටයුතු සඳහා කොළඹ ශාන්ත අන්තෝනි බාලිකා විදුහලට ඇතුළත් වූවා ය. කුඩා කල සිටම කදිම රූ සපුවකින් හෙබි වූ ඇය එවකට අවුරුදු කුමාරියක් ලෙස කිරුළු පැළැන්දුවා ය. වයස අවුරුදු 19 දී අයිවන් මහතා සමඟ විවාහ දිවියට එළඹි ඇයට විවාහ වී වසරක් ඉක්මවූ තැන ශිරාෂ් මහින්ද්‍ර නම් වූ තම එකම පුතු ලැබුනා ය.

තම ස්වාමියාගේ මවගේ දැඩි ඉල්ලීම මත විවාහයෙන් පසු රංගන දිවියට එළඹි හයසින්ත් විජේරත්න මහත්මිය අවුරුදු 26 දී තම ප්‍රථම චිත්‍රපටය ‘පෙම්බර මධූ’ චිත්‍රපටයට රංගනයෙන් දායක වූවා ය. එතැන් පටන් ආරම්භ වූ ඇගේ රංගන ජීවිතය රිය අනතුරින් මිය යන මොහොත දක්වාම රසික සිත් සතන් අමන්දානන්දයට පත් කරන්නට නොමඳ දායකත්වයක් සැපයූ බව කිව මනාය.

කලාකාරිනියකට හෝ කලාකරුවෙක්ට ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන OCIC සම්මානය ද හිමිකරගත් ඇය යුගයේ විශිෂ්ටතම රංගන ශිල්පීන් අතළොස්ස අතර ඉහළින්ම වැජඹෙන බව නම් නොරහසකි.

ලාංකීය සිනමා අඹර අඳුරු කළු වළාවකින් වසා දමා සදහටම නික්ම ගිය නුඹේ සිනහව නැවත කිසිදු දිනක පුංචි තිරයේදී හෝ රිදී තිරයේදී අපේ ඇස නොගැටෙනු ඇත.

මෑණියනි, නුඹ සදාකල් සාමයේ සැතපේවා! යැයි පතන අපි Colombo Beacon  ඔබේ රසික දරු කැළයි.

Design By : Bimal Naveen

  • Fascinated
  • Happy
  • Sad
  • Angry
  • Bored
  • Afraid

About the author

තිසරණි නවෝදා දසනායක

ශාස්ත්‍ර පීඨය - දෙවන වසර
කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Comment